විහාරට්ඨකථා
විහාරට්ඨ කථාවෙහිද - සිවු තැනින් බහා තැබූ භාණ්ඩය කියූනය ඇත්තේමය. යුක්ති කියා පෑමෙහිදී සිවුදිසා වැසි සඞ්ඝයා උදෙසා භික්ෂූන්ට දෙනලද මහත්වූද කුඩාවූද විහාරයකට හෝ විහාරය තුළ වෙන් වෙන්ව පවුරින් වටකළ තැනකට හෝ මහත්වූද කුඩාවූද ආවාසයකට හෝ යුක්තිය කියාපාන්නහුගේ යුක්තිය කියාපෑම නොනගියි. අසිඳ ගන්නටද නොහැකි වේ. කුමහෙයින්දයත්: සියල්ලන් පිළිබඳ ධුරනිඃක්ෂෙපය නොකෙරෙත් යයි දීර්ඝභාණකාදි භෙද ඇති ගණයක් සතුවූවකට හෝ එක් පුද්ගලයක් හට සතුවූවකට හෝ යුක්තිය කියා පාන්නේ ඔවුන්ලවා ධුරනිඃක්ෂෙප කරවන්නට හැකිවේද, එහෙයින් එහි ආරාමයෙහි කියූනයින් විනිශ්චය දතයුතුය.
විහාරට්ඨකථා නිමි.
ඛෙත්තට්ඨකථා
ඛෙත්තට්ඨ කථාවෙහිද කෙත පළමුකොට දක්වන්නේ ‘ඛෙත්තං නාම යත්ථ පුබ්බන්නං වා අපරන්නං වා ජායති’ යනු කීයේය. එහි ‘පුබ්බන්නං’ යනු සාලි ආදි සප්තවිධ ධාන්යයෝය. ‘අපරන්නං’ යනු මුං, මෑ ආදීහුය. උක්, කෙත් ආදියද මෙහිම ඇතුළත්ය. මෙහිද සිවු තැනින් තබන ලද්ද කියූනය ඇත්තේමය. එහි හටගත්තෙහි වනාහි ඇට පමණක් අතට එන ලෙසින් හැල්කරල් ආදිය සූරාගෙන හෝ එකෙකක් අතින්ම සිඳ හෝ දෑකැත්තෙන් ලියා හෝ බොහෝ කරල් එකට උපුටා හෝ ගන්නහුට, යම් බිජුවටක හෝ කරලෙක හෝ මිටෙක හෝ මුං, මෑ, ඈපලයක හෝ පාරාජික වස්තුව පිරේද, එය බැඳුමෙන් මිදුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. දණ්ඩ හෝ පට්ටය හෝ සිවිය හෝ ස්වල්පමාත්ර වූයේ නොසිඳුනේනම් රකියි.
වී නටුව දිග්වූයේවේද, යම්තාක් ඇතුල් නළින් වී කරලෙහි දඬුව නොනික්මේද, ඒතාක් රකියි. කෙසගක් පමණ නමුදු නළින් දඬුවෙහි යටතලය නික්මුනු කල්හි භාණ්ඩයාගේ අගය වසයෙන් කරවිය යුතුය. දෑකැත්තෙන් සිඳගැනීමෙන් වනාහි මිටින් අල්ලාගත්තවුන් යටින් සිඳිකල්හිද, ඉදින් කරල් නොසිඳීසිටි කරල් සමග අවුල් වූයේද, බැඳුනේද ඒතාක් රකියි. අවුල් හැර කෙසගක් පමණකුදු ඔසවන්නහුට පාරාජික වස්තුව පුරාද, පාරාජිකය වේ. හිමියන් විසින් දෑකැත්තෙන් සිඳතබන ලද්දක් බොල් සහිතකොට හෝ බොල් රහිතකොට හෝ ගන්නහුට යමකින් පාරාජික වස්තුව පුරාද, එය ගත්කල්හි පාරාජිකය වේ. ‘මේ වී කරල් මැඩ බොල්ආදිය පොළාහැර හරබිජු ගන්නෙමි’යි කල්පනාකෙරේද, ඒ තාක් රකියි. මැඩීම් පොළාලීම්හි තුබූ තැනින් පහකරන්නහුටද පාරාජිකයක් නැත්තේය. පසුව ඒ වී බඳුනට දැමූ ඇසිල්ලෙහි පාරාජිකය වේ. මෙහි අභියොගය කියූනය ඇත්තේමය.
හුල් සිටුවීම් ආදියෙහිලා පොළොව වනාහි අගය නොකටහැකිය. එහෙයින් එක්ම හුලින් කෙසගක් පමණ නමුදු පෘථිවි ප්රදේශය හිමියන් බලාසිටියදී හෝ නොබලා සිටියදී තමන් සතුකෙරේද ඒ හුලෙහි නමකොටා හෝ නම නොකොටා හෝ පොළොව කැන හුල පිහිටුවාලූ ඇසිල්ලෙහි ඔහුටද, මෙහිදී යම්කෙනෙක් එකච්ඡන්ද වෙයිද, ඒ සියල්ලන්ටද පාරාජිකය වේ. ඉදින් හුල් දෙකකින් ගතයුතුවේනම්, පළමු හුල නිමිතිකොට ථුල්ලච්චය වේ. දෙවන හුල නිමිතිකොට පාරාජිකය වේ. ඉදින් හුල් තුනකින් ගතයුතුවේනම්, පළමු හුල නිමිතිකොට දුක්කටය වේ. දෙවන හුල නිමිතිකොට ථුල්ලච්චය වේ. තෙවන හුල නිමිතිකොට පාරාජිකය වේ. මෙසේ බොහෝ මුල් පිහිටුවාලූකල්හිද අවසන්හිවූ හුල් දෙක හැර, පළමු හුල් නිමිතිකොට දුක්කට වේ. අවසන්හිවූ හුල් දෙකින් එකකින් ථුල්ලච්චය වේ. අනිකෙන් පාරාජිකය වේයයි දතයුතුය. හෙදවනාහි හිමියන්ගේ ධුරනිඃක්ෂෙපයෙන් වේ. සියලු තන්හි මෙසේය.