ඛෙත්තට්ඨකථා
ඛෙත්තට්ඨ කථාවෙහිද කෙත පළමුකොට දක්වන්නේ ‘ඛෙත්තං නාම යත්‍ථ පුබ්බන්නං වා අපරන්නං වා ජායති’ යනු කීයේය. එහි ‘පුබ්බන්නං’ යනු සාලි ආදි සප්තවිධ ධාන්‍යයෝය. ‘අපරන්නං’ යනු මුං, මෑ ආදීහුය. උක්, කෙත් ආදියද මෙහිම ඇතුළත්ය. මෙහිද සිවු තැනින් තබන ලද්ද කියූනය ඇත්තේමය. එහි හටගත්තෙහි වනාහි ඇට පමණක් අතට එන ලෙසින් හැල්කරල් ආදිය සූරාගෙන හෝ එකෙකක් අතින්ම සිඳ හෝ දෑකැත්තෙන් ලියා හෝ බොහෝ කරල් එකට උපුටා හෝ ගන්නහුට, යම් බිජුවටක හෝ කරලෙක හෝ මිටෙක හෝ මුං, මෑ, ඈපලයක හෝ පාරාජික වස්තුව පිරේද, එය බැඳුමෙන් මිදුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. දණ්ඩ හෝ පට්ටය හෝ සිවිය හෝ ස්වල්පමාත්‍ර වූයේ නොසිඳුනේනම් රකියි.
වී නටුව දිග්වූයේවේද, යම්තාක් ඇතුල් නළින් වී කරලෙහි දඬුව නොනික්මේද, ඒතාක් රකියි. කෙසගක් පමණ නමුදු නළින් දඬුවෙහි යටතලය නික්මුනු කල්හි භාණ්ඩයාගේ අගය වසයෙන් කරවිය යුතුය. දෑකැත්තෙන් සිඳගැනීමෙන් වනාහි මිටින් අල්ලාගත්තවුන් යටින් සිඳිකල්හිද, ඉදින් කරල් නොසිඳීසිටි කරල් සමග අවුල් වූයේද, බැඳුනේද ඒතාක් රකියි. අවුල් හැර කෙසගක් පමණකුදු ඔසවන්නහුට පාරාජික වස්තුව පුරාද, පාරාජිකය වේ. හිමියන් විසින් දෑකැත්තෙන් සිඳතබන ලද්දක් බොල් සහිතකොට හෝ බොල් රහිතකොට හෝ ගන්නහුට යමකින් පාරාජික වස්තුව පුරාද, එය ගත්කල්හි පාරාජිකය වේ. ‘මේ වී කරල් මැඩ බොල්ආදිය පොළාහැර හරබිජු ගන්නෙමි’යි කල්පනාකෙරේද, ඒ තාක් රකියි. මැඩීම් පොළාලීම්හි තුබූ තැනින් පහකරන්නහුටද පාරාජිකයක් නැත්තේය. පසුව ඒ වී බඳුනට දැමූ ඇසිල්ලෙහි පාරාජිකය වේ. මෙහි අභියොගය කියූනය ඇත්තේමය.
හුල් සිටුවීම් ආදියෙහිලා පොළොව වනාහි අගය නොකටහැකිය. එහෙයින් එක්ම හුලින් කෙසගක් පමණ නමුදු පෘථිවි ප්‍රදේශය හිමියන් බලාසිටියදී හෝ නොබලා සිටියදී තමන් සතුකෙරේද ඒ හුලෙහි නමකොටා හෝ නම නොකොටා හෝ පොළොව කැන හුල පිහිටුවාලූ ඇසිල්ලෙහි ඔහුටද, මෙහිදී යම්කෙනෙක් එකච්ඡන්‍ද වෙයිද, ඒ සියල්ලන්ටද පාරාජිකය වේ. ඉදින් හුල් දෙකකින් ගතයුතුවේනම්, පළමු හුල නිමිතිකොට ථුල්ලච්චය වේ. දෙවන හුල නිමිතිකොට පාරාජිකය වේ. ඉදින් හුල් තුනකින් ගතයුතුවේනම්, පළමු හුල නිමිතිකොට දුක්කටය වේ. දෙවන හුල නිමිතිකොට ථුල්ලච්චය වේ. තෙවන හුල නිමිතිකොට පාරාජිකය වේ. මෙසේ බොහෝ මුල් පිහිටුවාලූකල්හිද අවසන්හිවූ හුල් දෙක හැර, පළමු හුල් නිමිතිකොට දුක්කට වේ. අවසන්හිවූ හුල් දෙකින් එකකින් ථුල්ලච්චය වේ. අනිකෙන් පාරාජිකය වේයයි දතයුතුය. හෙදවනාහි හිමියන්ගේ ධුරනිඃක්‍ෂෙපයෙන් වේ. සියලු තන්හි මෙසේය.
‘රජ්ජුං වා’ ‘මෙය මාසතුය’යි හඟවනු කැමැත්තේ රැහණක් හෝ අදීද, මනිනයටක් හෝ හෙළාද, දුක්කටය වේ. දැන් ප්‍රයොග දෙකකින් තමන්සතු කරන්නෙමියි යෙදූ ඔවුන් අතුරෙහි පළමුවැන්න නිමිතිකොට ථුල්ලච්චය වේ. දෙවැන්න නිමිතිකොට පාරාජිකය වේ.
‘වතිං වා’ අන්හු අයත් කෙතක් වටකිරීම් වසයෙන් තමන්ට අයත්කරනු කැමැත්තේ දැව කැන සිටුවාද, ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කට වේ. එක් ප්‍රයොගයක් නොයෙදුනු කල්හි ථුල්ලච්චය වේ. එද යෙදුනු කල්හි පාරාජිකය වේ. ඉදින් එපමණකින් නොහැකිවන්නේ ශාඛාපරිවාරයෙන්ම තමාට කරන්නට හැකිවේදැයි සිතා කොළ අතු කපා හෙළීමෙහිද මේනයම වේ. මෙසේ යමකින් යමකින් වටකොට තමන්ට අයත්කරන්නට හැකිවේද, ඒ ඒ තන්හි ප්‍රථම ප්‍රයොගයන්ගෙන් දුක්කටය වේ. අවසන්හි ප්‍රයොග දෙක අතුරෙහි එකකින් ථුල්ලච්චය වේ. අනිකෙන් පාරාජිකය වේයයි දතයුතුය.
‘මරියාදං වා’ අන්හු අයත් කෙතක් ‘මේ මාගේය’යි හඟවනු කැමැතිව තමන්ගේ කෙතෙහි ඉමවූ කෙත් නියර, යම්සේ අන්හු අයත් කෙත ඉක්මවායේද, මෙසේ හුල් සිටුවාද, පස් මැටි ආදියෙන් වඩාපළල් කෙරේද, පෙර නොකළ ඉමක් පිහිටුවාද, පළමු ප්‍රයොගයන්ගෙන් දුක්කට වේ. පැසුළු ප්‍රයොග දෙකින් එකකින් ථුල්ලච්චය වේ. අනිකෙන් පාරාජිකය වේ.
ඛෙත්තට්ඨකථා නිමි.
වත්ථුට්ඨකථා
වත්‍ථුට්ඨ කථායෙහිද වාස්තුව පළමුකොට දක්වන්නේ ‘වත්‍ථු නාම ආරාමවත්‍ථු විහාරවත්‍ථු’ යනු කීයේය. එහි බිජුවට හෝ රොපණය කටයුතු පැල හෝ රොපණය නොකොටම හුදෙක් බිම පිරිසිදුකොට ගඩොල් ගල් දැව යන මෙයින් කළ තෙවැදැරුම් පවුරු අතුරෙන් යම්කිසි පවුරකින් වටකොට හෝ වටනොකොට හෝ මල්වතු ආදිය පිණිස තැබූ බිම්පෙදෙස ආරාමවත්‍ථු නම්වේ. මේ නයින්ම එක් විහාරයක් එක් පිරිවෙණක් එක් ආවාසයක් යන මොවුන් සඳහා තැබූබිම්පෙදෙස විහාරවත්‍ථු නම්වේ. යම් බිම් පෙදෙසක් පෙර ආරාමයක්ව විහාරයක්ව තුබුනේ, පසුව නැසීගොස් බිම පමණක් සිටියේ ආරාම විහාර කෘත්‍යය නොකෙරේද, ඒ බිම්පෙදෙසද ආරාම විහාරවාස්තු සඞ්ග්‍රහයෙන්ම සඞ්ග්‍රහ කරන ලද්දේය. මෙහි විනිශ්චය ඛෙත්තට්ඨයෙහි කියනලද්ද සමානවේමය.
වත්‍ථුට්ඨකථා නිමි.
ගාමට්ඨ කථාවෙහි යමක් කියයුතුද, එය කියන ලද්දේමය.
අරඤ්ඤට්ඨකථා
අරඤ්ඤට්ඨ කථාවෙහි අරණ්‍යය පළමුකොට දක්වන්නේය. ‘අරඤ්ඤං නාම යං මනුස්සානං පරිග්ගහිතං හොති තං අරඤ්ඤං’යි කීයේය. එහි යම්හෙයකින් මිනිසුන් විසින් අයත් කරගත් අරණ්‍ය ඇත්තේද, මිනිසුන් විසින් අයත්කර නොගත් අරණ්‍ය ඇත්තේද, මෙහි වනාහි මිනිසුන් විසින් අයකර ගත් ආරක්‍ෂා සහිතවූ යම් අරණ්‍යයක්වේද, යම් තැනකින් මිල නොදී දැව වැල් ආදිය ගන්නට නොලබත්ද ඒ අරණ්‍යය අදහස් කරන ලදය. එහෙයින් ‘යං මනුස්සානං පරිග්ගහිතං හොති’ කියා නැවත ‘අරඤ්ඤං’ යනු කියන ලද්දේය. එයින් මේ අර්‍ත්‍ථය දක්වාලන්නේය: මිනිසුන් විසින් අයත්කරගත්බව අරණ්‍යයය පිළිබඳ ලක්‍ෂණය නොවේ. යම් තැනක් තමන්ගේ අරණ්‍ය ලක්‍ෂණයෙන් අරණ්‍යවේද, මිනිසුන් විසිනුදු අයත්කරගන්නා ලද්දේද, එතැන මේ අර්‍ත්‍ථයෙහි අරණ්‍යයවේය. එහි විනිශ්චය ආරාමට්ඨාදියෙහි කියන ලද්ද සමාන වේ.