වත්ථුට්ඨකථා
වත්‍ථුට්ඨ කථායෙහිද වාස්තුව පළමුකොට දක්වන්නේ ‘වත්‍ථු නාම ආරාමවත්‍ථු විහාරවත්‍ථු’ යනු කීයේය. එහි බිජුවට හෝ රොපණය කටයුතු පැල හෝ රොපණය නොකොටම හුදෙක් බිම පිරිසිදුකොට ගඩොල් ගල් දැව යන මෙයින් කළ තෙවැදැරුම් පවුරු අතුරෙන් යම්කිසි පවුරකින් වටකොට හෝ වටනොකොට හෝ මල්වතු ආදිය පිණිස තැබූ බිම්පෙදෙස ආරාමවත්‍ථු නම්වේ. මේ නයින්ම එක් විහාරයක් එක් පිරිවෙණක් එක් ආවාසයක් යන මොවුන් සඳහා තැබූබිම්පෙදෙස විහාරවත්‍ථු නම්වේ. යම් බිම් පෙදෙසක් පෙර ආරාමයක්ව විහාරයක්ව තුබුනේ, පසුව නැසීගොස් බිම පමණක් සිටියේ ආරාම විහාර කෘත්‍යය නොකෙරේද, ඒ බිම්පෙදෙසද ආරාම විහාරවාස්තු සඞ්ග්‍රහයෙන්ම සඞ්ග්‍රහ කරන ලද්දේය. මෙහි විනිශ්චය ඛෙත්තට්ඨයෙහි කියනලද්ද සමානවේමය.
වත්‍ථුට්ඨකථා නිමි.
ගාමට්ඨ කථාවෙහි යමක් කියයුතුද, එය කියන ලද්දේමය.
අරඤ්ඤට්ඨකථා
අරඤ්ඤට්ඨ කථාවෙහි අරණ්‍යය පළමුකොට දක්වන්නේය. ‘අරඤ්ඤං නාම යං මනුස්සානං පරිග්ගහිතං හොති තං අරඤ්ඤං’යි කීයේය. එහි යම්හෙයකින් මිනිසුන් විසින් අයත් කරගත් අරණ්‍ය ඇත්තේද, මිනිසුන් විසින් අයත්කර නොගත් අරණ්‍ය ඇත්තේද, මෙහි වනාහි මිනිසුන් විසින් අයකර ගත් ආරක්‍ෂා සහිතවූ යම් අරණ්‍යයක්වේද, යම් තැනකින් මිල නොදී දැව වැල් ආදිය ගන්නට නොලබත්ද ඒ අරණ්‍යය අදහස් කරන ලදය. එහෙයින් ‘යං මනුස්සානං පරිග්ගහිතං හොති’ කියා නැවත ‘අරඤ්ඤං’ යනු කියන ලද්දේය. එයින් මේ අර්‍ත්‍ථය දක්වාලන්නේය: මිනිසුන් විසින් අයත්කරගත්බව අරණ්‍යයය පිළිබඳ ලක්‍ෂණය නොවේ. යම් තැනක් තමන්ගේ අරණ්‍ය ලක්‍ෂණයෙන් අරණ්‍යවේද, මිනිසුන් විසිනුදු අයත්කරගන්නා ලද්දේද, එතැන මේ අර්‍ත්‍ථයෙහි අරණ්‍යයවේය. එහි විනිශ්චය ආරාමට්ඨාදියෙහි කියන ලද්ද සමාන වේ.
එහි හටගත් ගස්කොළන් අතුරෙහි වනාහි මෙහි එකද මාහැඟි රුකක් සිඳලූ කල්හි පාරාජිකය වේ. ‘ලතං වා’ යන මෙහි වේවැලද ලියද ලතාමය. එහි යම් වේවැලක් හෝ ලියක් හෝ දිග්වේද, මහරුක් හා ගස්ද විනිවිද හෝ වෙළා හෝ ගියාවේද, ඒ ලිය මුලින් සිඳින ලද්දී වේද, අවහාරය නොද උපදවයි. අගින් සිඳින ලද්දීද, අවහාරය නොද උපදවයි. යම්කලෙක්හි අගත් මුලත් සිඳින ලද්දීවේද, එකල්හි අවහාරය උපදවයි. ඉදින් වනාහි මහරුක් ඈ වෙළාගෙන සිටියාවේද, එසේ වෙළාගෙන සිටි ලිය, රුකෙන් මිදූ පමණ ඇත්තී අවහාරය උපදවයි.
‘තිණං වා’ යන මෙහි තණ හෝ වේවා පත් හෝ වේවා, ඒ සියල්ල තෘණග්‍රහණයෙන් සඞ්ග්‍රහ කරන ලද්දේය. ගෙවල් සෙවනි ආදිය කරනු පිණිස ඒ තණ අන්හු විසින් සිඳින ලද්දේ හෝ තෙමේ සිඳ හෝ ගන්නේ භාණ්ඩයාගේ අගය වසයෙන් කරවිය යුත්තේය. හුදෙක් තණපත්ම නොවේ. අනිකුදු යම්කිසි වැහැරිසුඹුලු ආදියක් වේද, යම්තැනෙක හිමියෝ ආලය සහිතවෙත්ද එය ගන්නේ බඩු අගය විසින් කරවිය යුත්තේය. සැසතැබූ කල්ගිය රුකද නොගත යුතුය. යම්රුකක් අගින්ද මුලින්ද සිඳින ලද්දේවේද, මේ රුකෙහි අතුද කුණුවී ගියාද සුඹුලුද ගිලිහී වැටුනාද මේ රුක හිමියන් විසින් හැර දැමුයේද ගන්නට වටියි. අකුරු ඇඳ ලකුණු කැපූ රුකක්හුගේද යම්කලෙක ඒ ලකුණු සුඹුලුයෙන් වැසී නොපෙනී ගියේවේද, එකල්හි ගැනීම වටියි. ගෙවල් ගොඩනැගීම පිණිස රුක්සිඳ, යම්කලෙක ගෙවල් ගොඩනගන ලද්දාහු මිනිසුන් වසන ලද්දාහු වෙත්ද, දැවද අරණ්‍යයෙහි වැස්සෙන් හා අව්වෙන් නැසීයන්නාහුද, මෙබඳු දැව දැක හැරදමන ලදහයි ගැනීම වටියි. කුමක්හෙයින්දයත්: යම්හෙයකින් අරණ්‍ය ස්වාමීහු මේ දැවට ස්වාමීහු නොවෙත්ද එහෙයිනි. යම්කෙනකු විසින් වන හිමියන්ට දියයුතු මිල දී සිඳින ලදද, ඔවුහුම එහි ස්වාමීහුය. ඔවුන් විසිනුදු ඒ දැව හැරදමන ලදහ. ඔවුහු එහි ආලය නැත්තෝ වූහ.
යම් මහණෙක් පළමුකොටම වනපල්ලන්ට දියයුතු මිල දී වනයට පිවිස තමන් කැමති රුක් ගන්වාද, ඔහුට ඒ වනපල්ලන්ගේ ආරක්‍ෂා ස්ථානයට නොගොස් තමන් කැමති මගකින් යන්නට වටීද, තවද වනයට පිවිසෙන්නේ ඔවුන්ට දියයුතුමිල දී යේද, වටීමය. තවද ‘දෙව’යි කියූකල්හි දියයුතුමය. ඉදින් කිසිවෙක් තමන්ගේ ධනය දී මහණහුට යන්නට දෙවු’යි කියානම් ලද දෙය කැපමය. යෑම වටියි. ඉදින්වනාහි කිසියම් ඉසුරුද ඇතියෙක් ධනය නොදීම ‘මහණුන්ගේ කොටස නොගනිවු’යි වළකානම් වනපල්ලෝද ‘අපි මහණුන්ගේ හා තවුසන්ගේ කොටස නොගන්නමෝ නම්, කොතැනින් ලබමුද, වහන්ස! දෙවු’යි කියත්නම් දියයුත්තේමය.