වෙහාසට්ඨකථා
වෙහාසට්ඨ කථාවෙහි - ඇඳ පුටු ආදියෙහි තැබූ භාණ්ඩයක් පැහැසියයුතු හෝ වේවා නොපැහැසියයුතු හෝ වේවා, එය සොරසිතින් පහසන්නහුට දුක්කටය වේ. ඇඳ පුටුවල තැබූ භාණ්ඩයන්හිද මෙහි ථලට්ඨයෙහි කියූලෙසින්ම විනිශ්චය දතයුතුය. මේ වනාහි විශේෂය වේ: ඉදින් පිටිතලපයෙන් බැඳි සළුව ඇඳක හෝ පුටුවක හෝ එලන ලද්දේ මැදින් ඇඳෙහි තට්ටුව නොපහසාද ඇඳපාම පහසාද ඔවුන්ගේ වසයෙන් ස්ථානය දතයුතුය. මා මතුවෙහි පැහැසූ අවකාශයම ඉක්මවූ ඇසිල්ලකින් එහි පාරාජිකය වේ. ඇඳ පුටු සමග ගෙන යන්නහුට වනාහි ඇඳ පුටුවල පා පිහිටි අවකාශයාගේ වසයෙන් ස්ථානය දතයුතුය.
‘චීවරවංසෙ’ සිවුරු තැබීම පිණිස බැඳතැබු හුණදඬුවෙහි හෝ දැවදඬුවෙහි හෝ එහි සිවුර හකුළා හුණදඬුවෙන් පරභාගයෙහි නමා එක්කළ නුවා කෙළවරද, තමා සිටිපසෙහි, නැමූ සිවුරෙහි මැද කොටසද කොටතැබූ සිවුර පිහිටි අවකාශයෙන් පැහැසූ අවකාශයම ස්ථාන වේ. සිවුරුලන සියලු හුණදඬුවම ස්ථාන නොවේ. එහෙයින් සොරසිතින් නවාතුබූ සිවුරෙහි මැද කොටස අල්ලාගෙන සිවුර අදින හුණදඬුවෙහි පරභාගයෙන් හුණදඬුවෙහි පිහිටි අවකාශයද, නමාසිටි දිශාවෙන් සිවුරෙන් හුණදඬුවෙහි පහසලද අවකාශයද ඉක්මවන්නහුටද එකඟුල් පමණ ඇදීමෙන්ම පාරාජිකය වේ. කෙළවර ගෙන අදින්නහුටද මෙම නයවේ. එහිම සිවුරලන හුණදඬුවෙහි වමින් හෝ දකුණෙන් හෝ ඈතමෑත කරන්නහුට වම් කෙළවරින් දකුණු කෙළවර, දකුණු කෙළවරින් හෝ වම්කෙළවර ඉක්මනු ඇසිල්ලෙහි දසදොළොස් අඟුල් පමණ ඈතමෑත හැසිරවීමෙන්ම පාරාජිකය වේ. උඩට ඔසවන්නහුට කෙසගක් පමණ එසවීමෙන් පාරාජිකය වේ. සිවුරලන හුණදඬුව පහසන්නාවූ හෝ නොපහසන්නාවූ හෝ රැහණින් බැඳ තැබූ සිවුර එයින් මුදන්නහුට ථුල්ලච්චය වේ. මිදුනුකල්හි පාරාජිකය වේ. මිදුනු ඇසිල්ලම ඒ සිවුර ස්ථානයෙන් ගිලිහුනේය යන ගිණීමට යන්නේය. හුණදඬුවෙහි වෙළා තබන ලද්ද වෙළුම හරින්නහුට ථුල්ලච්චය වේ. වෙළීම හළ ඇසිල්ලෙහි පාරාජිකය වේ. වලල්ලක්කොට තැබූකල්හි වලල්ල සිඳියි හෝ මුදයි හෝ එක් වලල්ලක් හෝ හුණදඬුකෙළවරින් මුදා බැහැරට ගනීද, ථුල්ලච්චය වේ. සුන්ඇසිල්ලෙහි මිදුනු ඇසිල්ලෙහි බැහැරටගත් ඇසිල්ලෙහි පාරාජිකය වේ. එසේ නොකොටම සිවුරුලන හුණදඬුවෙහි ඈතමෑත හසුරුවාද, ඒතාක් රකින්නේය. වලල්ලට වනාහි සියලු හුණදඬුව ස්ථාන වේ. කුමක්හෙයින්දයත්: එහි හැසිරෙන සැහැවි ඇති බැවිනි. ඉදින්වනාහි ඒ වලල්ල අතින්ගෙන අහස්ගතවූවක් කෙරේද, පාරාජිකය වේ. දිගහැර තැබූ සිවුරට පිහිටි අවකාශයෙන් පැහැසු අවකාශයම ස්ථාන වේ. එහි හකුළා තැබූකල්හි විනිශ්චයතෙමේ කියූනයින් දතයුතුය. යම් සිවුරක් වනාහි එක් කෙළවරකින් බිම පහසා සිටියේද ඒ සිවුරට හුණදඬුවෙහිද පොළොවෙහි ද පිහිටි අවකාශ වශයෙන් ස්ථාන දෙකක් වේ. එහි පොළොවෙහි එක් කෙළවරකින් පිහිටි කල්හි අබද්ධසාටකයෙහි කියූ ලෙසින්ම විනිශ්චය දතයුතුය. සිවුරුලන රැ හණෙහිද මේ විනිශ්චය වේ.
අකුස්සෙහි එල්වා තැබූ භාණ්ඩය වනාහි බෙහෙත් කළයක් හෝ වේවා, බෙහෙත් පසුම්බියක් හෝ වේවා, ඉදින් බිත්තිය හෝ පොළොව හෝ නොපහසා සිටි එල්බෙන්නක් ගටමින් පහකරන්නහුට අකුස් කෙළවරින් ගිලිහුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. එල්බෙන්නක් බැඳුනක්වේද, මුලින් ඔසොවා අහස්ගතවූවක් කරන්නහුට අකුස් කෙළවරින් නොමිදුනු කල්හිද පාරාජිකය වේ. බිත්තියෙහි ලැගීසිටි එය පළමුකොට අකුස් කෙළවරින් පහකෙරේද, ථුල්ලච්චය වේ. පසුව බිත්තිය මුදාද, පාරාජිකය වේ. පළමුකොට බිත්තිය මුදා පසුව අකුස්සෙන් බැහැර කරන්නහුටද මේ ක්‍රමය වේ. ඉදින්වනාහි බර ඇති භාණ්ඩයක් බැහැරට ගන්නට නොහැක්කේ, තෙමේ බිත්තිය ඇසුරුකළ එකක්කොට අකුස්සෙන් බැහැර කෙරේද, නැවත බිත්තිය නොමුදාම අකුස්සෙන් බැහැරට ගත් ඇසිල්ලෙහිම පාරාජිකය වේ. තමන් කළතැන වනාහි ස්ථානය නොවේ. බිම පහසාසිටි භාණ්ඩයට ස්ථාන දෙකක් වේ. එහි විනිශ්චය කියන ලද්දේමය. යම් භාණ්ඩයක් වනාහි සහල්ලෙකලා එල්වන ලද්දේවේද, ඒ භාණ්ඩය සහල්ලෙන් බැහැරට ගන්නහුටද සහල්ල සමග අකුස්සෙන් බැහැරට ගන්නහුටද පාරාජිකය වේ. භික්තිභූමිනිශ්ශ්‍රිත වශයෙන්ද මෙහි ස්ථානභෙදයද දතයුතුය,
‘භිත්තිඛීලො’ යනු සෘජුකොට බිත්තියෙහි ගසන ලද්දක් හෝ එහි හටගත්තේම හෝ වේ. ‘නාගදන්තො’ නාගදන්තය වනාහි වක්ව ගසන ලද්දක්මය. ඒ තන්හි එල්වා තැබූ භාණ්ඩය අකුස්සෙහි කියූනයින්ම විනිශ්චය කටයුතුය. දෙකක් තුනක් පිළිවෙළින් තැබූ නාදැතිවල නගා තැබූ කුන්තයක් හෝ භිණ්ඩිවාලයක් හෝ අග හෝ මුල ගෙන අදීද, එකක් එකක්හුගේ පැහැසූ අවකාශමාත්‍රය ඉක්මනු කල්හි පාරාජිකය වේ. පැහැසූ අවකාශමාත්‍රයම ඔවුනට ස්ථාන වේ. සියලු හුල් හෝ නාදැති හෝ ස්ථාන නොවේ. බිත්තියට අභිමුඛව සිට මැද අල්ලාගෙන අදීද, මෑත කෙළවරින් පැහැසූ අවකාශය ඈත කෙළවරින් ඉක්මුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. බිත්ති දෙසට මූණදී පරභාගයෙන් පෙළන්නහුටද මෙම ක්‍රමය වේ. අතින් අල්ලාගෙන සෘජුව ඔසොවනුයේ කෙසගක් පමණකුදු අහස්ගත වූවක් කෙරේද, පාරාජිකය වේ. බිත්තිය ඇසුරුකොට තබන ලද්දක් බිත්තිය ගටමින් අදීද, අගින් පැහැසූ අවකාශය වූ මූල හෝ මුලින් පැහැසූ අවකාශය වූ අග හෝ ඉක්මවන්නහුට පාරාජිකය වේ. බිත්තියට අභිමුඛව සිට අදිනුයේ එක් කෙළවරකින් පැහැසූ අවකාශය අනික් කෙළවර ඉක්මවාද, පාරාජිකය වේ. සෘජුව ඔසොවනුයේ කෙසඟක් පමණ අහස්ගතවූවක් කෙරේද, පාරාජිකය වේ.
‘රුක්‍ඛෙ වා ලග්ගිතං’ තල්රුක් ආදියෙහි නගා එල්වා තබන ලද්දෙහි. විනිශ්චය අකුස් ආදියෙහි කියූ ලෙසින්ම දතයුතුය. එහි හටගන්නා වූ තල්ගෙඩිවල්ල වනාහි සොලවන්නහුට ථුල්ලච්චය වේ. යම් ඵලයකින් පාරාජික වස්තුව පිරේද, ඒ ඵලය නටුවෙන් ගිලිහුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. ගෙඩිවල්ල කපාහරීද, පාරාජිකය වේ. අගින් කොළ අතරෙහි නගා තබන ලද්දේ, තැබූතැනද නටුවදැයි දෙතැනක් ලබයි. එහි විනිශ්චය කියූනයින් දතයුතුය. යමෙක් වනාහි සිඳි පමණ ඇති තල්ගෙඩිවල්ල බිම වැටෙන්නේ හඬ නගන්නේයයි බියෙන්, තෙමේ එය අගින්ගෙන කොළ අතරට නගා කපාහරීද, කැපූ ඇසිල්ලෙහි පාරාජිකය වේ. තමන් කළ තැනම ස්ථාන නොවේ. මේ උපායෙන් සියලු වෘක්‍ෂයන්ගේ පුෂ්ප ඵලයන්හි විනිශ්චය දතයුතුය.