භූමට්ඨකථා
එහි මේ නොපැහැදිලි පදයන්ගේ වර්‍ණනාව සමග විනිශ්චය කථාය: ‘නිඛාතං’ බිම කැන තබන ලද්දය. ‘පටිච්ඡන්නං’ පස්, ගඩොල් ආදියෙන් වසන ලද්දය. ‘භුම්මට්ඨං භණ්ඩං -පෙ- ගච්ඡති වා ආපත්ති දුක්කටස්ස’ මෙසේ බිම කැන හෝ වසා හෝ තුබූ බැවින් බිම තුබූ ඒ භාණ්ඩය යම් මහණෙක් කිසියම් උපායකින් දැනගෙන එන්නෙමියි සොරසිත් ඇත්තේ රාත්‍රි කාලයෙහි නැගිටයේද, හෙතෙමේ ඒ භාණ්ඩය තුබූතැනට නොපැමිණද සියලු කායවාක් විකාරයන්හි දුක්කටයට පැමිණේ. කෙසේදයත්: හෙතෙමේ වනාහි එය ගෙනෙනු පිණිස නැගී සිටිනුයේ යම් යම් අඟපසඟක් සොලොවාද ඒ සියලු තැන දුක්කටය වේ. අඳනය පොරෝණය හඳීද, පොරොවාද, අත්වරක් අත්වරක් පාසා දුක්කටය වේ. මහත් නිධානයක් එකෙකු විසින් ගෙනඑනු නොහැකිය. ඒ පිණිස දෙවැන්නෙකු සොයන්නෙමියි කිසියම් යහළුවෙකුගේ සමීපයට යනු කැමැත්තේ දොර හරීද, පියවරෙහිද අත්වරෙහිද දුක්කටය වේ. දොරවැසීම නිමිතිකොටද අන්තන්හි යෑමට උපකාර නොකිරීම නිමිතිකොටද ඇවැත් නොවේ. ඔහු හොත්තැනට ගොස් ‘මෙනම් ඇත්තේ’යි කැඳවාද, එබව සැලකොට ‘එව යමු’යි කියාද, වචනයක් වචනයක් පාසා දුක්කටය වේ. නැගිට ඔහු වෙතට යනු කැමැත්තේ අඳනය පොරෝණය අඳීද, පොරොවාද දොර හැර ඔහු වෙතටයේද, අත්වර පියවර දෙක්හි සියලු තැන දුක්කටය වේ. ඔහු ‘අසුවල් තැනැත්තේ කොහිද, අසුවල් තැනැත්තේ කොහිදැ’යි ඔහුගෙන් විචාරයි. ‘අසුවලාත් අසුවලාත් කැඳවා’යි කියන වචනයක් වචනයක් පාසා දුක්කටය වේ. රැස්වූ සියලුදෙනා දැක ‘මා විසින් අසුවල්තැන මෙබඳු නිධානයක් දන්නා ලද්දේය, යමු එය ගෙන පින්ද කරන්නෙමු, සුවසේ ජීවත්ද වන්නෙමු’යි කියාද, වචනයක් වචනයක් පාසා දුක්කටයම වේ.
මෙසේ ලැබූ සහායයක් ඇත්තේ උදැල්ලක් සොයාද, ඉදින් වනාහි මොහුට තමන්ට අයත් උදැල්ලක් ඇත්තේද එය ගෙන එන්නෙමියි යන්නේද, ගන්නේද, ගෙන එන්නේද සියලු තන්හි අත්වර පියවරෙහි දුක්කටයට පැමිණේ. ඉදින් උදැල්ලක් නැත්තේනම් අන් මහණෙකු කරා හෝ ගිහියෙකු කරා හෝ ගොස් ඉල්ලාද, ඉල්ලනුයේද ‘මට උදැල්ලක් දෙව, උදැල්ලෙන් මට ප්‍රයෝජන ඇත්තේය, කිසි කටයුත්තක් ඇත්තේය, ඒ කටයුත්තකොට නැවත ගෙන එන්නෙමි’යි බොරු නොකියමින් ඉල්ලාද, වචනයක් වචනයක් පාසා දුක්කටය වේ. ඉදින් පිරිසිදු කළයුතු දිය අගලක් ඇත්තේය, විහාරයෙහි භූමිකර්‍මාන්තයක් ඇත්තේය’යි බොරු කියානම්, එහි යම් යම් වචනයක් අසත්‍යවේද, ඒ ඒ හැම වචනය නිමිතිකොට පාචිත්තිය වේ. මහාඅර්‍ත්‍ථකථාවෙහි වනාහි සත්‍ය වචනය හා අසත්‍ය වචනය නිමිතිකොට දුක්කටයම කියන ලද්දේය. එය ප්‍රමාද ලිඛිතයෙකැයි දතයුතුය. අදින්නාදානය පිළිබඳ පූර්‍වප්‍රයොගයෙහි පාචිත්තිය ස්ථානයෙහි දුක්කටයක්නම් නැත්තේය. ඉදින් උදැල්ලට මිටක් නැත්තේනම් මිටක් කරන්නෙමියි වෑයක් හෝ පොරොවක් මුවහත් තබාද, ඒ පිණිසයේද, ගොස් වියලි දරකඩක් සිඳීද, සසීද, තළාද, සියලු තැන අත්වර පියවරෙහි දුක්කටය වේ. අමුරුකක් සිඳීනම් පාචිත්තිය වේ. එයින්පසු සියලු ප්‍රයොගයන්හි දුක්කටය වේ. සඞ්ක්‍ෂෙපාර්‍ත්‍ථකථාවෙහි හා මහාපච්චරියෙහිද එහි හටගත් දැවවැල් කැපීම පිණිස වෑ පොරෝ සොයන්නවුන්ටද දුක්කටය කියන ලද්දේය. ඉදින්වනාහි ‘අපි යමක්හු වෙතින් වෑ පොරෝ උදලු ඉල්ලන්නමෝ නම්, ඔවුන් විසින් අපි සැකකරන ලද්දමෝ වන්නෙමු. එහෙයින් ලොහයක් නගාගෙන කරමු’යි ඔවුන්ට මෙබඳු අදහසක්වේද, එතැනින් ලොහ උපදින තැනකට ගොස් ලොහබීජ නගාගැනීම පිණිස පොළොව කනිත්, එකල්හි අකැප පොළොව කනින්නා වූ ඔවුන්ට දුක්කට සමග පාචිත්තියාපත්තීහු වෙතියි මහාපච්චරියෙහි කියන ලදී. මෙහි යම්සේද මෙසේ සියලු පාචිත්තිය ස්ථානයෙහි දුක්කටයෝම වෙත්. ලොහබීජ ගෙන ඉන්පසු කරන සියලු ක්‍රියාවන්හි ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කටය වේ.
මුසාවාදය නිමිතිකොට පාචිත්තිය වේ. පැසක් කරනු කැමැත්තෙන් වැල් කැපීම නිමිතිකොට පාචිත්තිය වේ. සියල්ල පෙර කියූනයින්ම දතයුතුය. ‘ගච්ඡති වා ආපත්ති දුක්කටස්ස’ මෙසේ සොයාගත් යහළු උදලු - පැස් ඇතිව නිධානය තිබෙන තැනට යේද, පියවරක් පියවරක් සාසා දුක්කට වේ. ඉදින් යන්නේ වනාහි මේ නිධානය ගෙන බුද්ධ පූජාවක් හෝ ධර්‍මපූජාවක් හෝ සඟබතක් හෝ කරන්නෙමි’යි කුසල්සිත් උපදවානම්, කුසල් සිතින් යෑමෙහි අනාපත්ති වේ. කුමක් හෙයින්දයත්: ‘ථෙය්‍යචිත්තො දුතියං වා -පෙ- ගච්ඡති වා ආපත්ති දුක්කටස්ස’යි වදාළ බැවිනි. මෙහි යම්සේද, එසේ සියලු තන්හි සොරසිත් නැත්තහුට අනාපත්ති වේ. මගින් ඉවත්ව නිධානය තිබෙන තැනට යනු පිණිස මග පිළියෙල කරනුයේ රුක්ලිය ආදිය කපාහරීද, පාචිත්තිය වේ. වියලි දරකඩ කපාද, දුක්කටය වේ.
එහි ‘ජාතකං’ බොහෝකල් තබනලද නිදන්සැලිය මතුවෙහි හටගත් ‘කට්ඨා වා ලතා වා’ හුදෙක් දරකඩ වැල්ම නොවේ. තෙත්වූ හෝ වියලුනු යම්කිසි තණරුක්වැල් ආදියක් සිඳින මහණහුට සහප්‍රයොග බැවින් දුක්කටම වේ.
අටවැදෑරුම්වූම මේ දුක්කටය ධර්‍මසඞ්ග්‍රාහක ස්ථවිරයන් වහන්සේලා විසින් මෙතැන එක්කොට දක්වන ලදී: පුබ්බපයොග දුක්කට - සහපයොගදුක්කට - අනාමාසදුක්කට -දුරුපචිණ්ණදුක්කට - විනයදුක්කට - ඤාතදුක්කට - ඤත්තිදුක්කට - පටිස්සවදුක්කටයි. එහි ‘ථෙය්‍යචිත්තො දුතියං වා පරියෙසති කුද්දාලං වා පිටකං වා පරියෙසති, ගච්ඡති වා ආපත්ති දුක්කටස්ස’ යන මෙය පුබ්බපයොග දුක්කට නම්වේ. මෙහි දුක්කටතන්හි දුක්කටය වේ. පාචිත්තියතන්හි පාචිත්තියම වේ. ‘තත්‍ථ ජාතකං කට්ඨං වා ලතං වා ඡින්‍දති ආපත්ති දුක්කටස්ස’ යන මෙය සහපයොගදුක්කට නම්වේ. මෙහි වනාහි පාචිත්තිය වස්තුව හා දුක්කට වස්තුව දුක්කට තන්හිම සිටියි. කුමක් හෙයින්දයත්: අවහාරය තමා සහප්‍රයොග බැවිනි. දශවිධරත්න, සප්තවිධධාන්‍ය, සියලු ආවුධ භාණ්ඩාදිය පහසන මහණහුට යම් දුක්කටයක් වදාරණ ලද්දේද, මෙය අනාමාසදුක්කට නම්වේ. කෙහෙල් පොල් ආදීන්ගේ එහි හටගත් ඵල පහසක මහණහුට යම් දුක්කටයක් වදාරණ ලද්දේද, මෙය දුරුපචිණ්ණදුක්කට නම්වේ. පිඬුපිණිස හැසිරෙන මහණහුගේ පාත්‍රයෙහි රජස වැටුනු කල්හි පාත්‍රය නොපිළිගෙන හෝ නොසෝදා හෝ එහි භික්‍ෂාව ගන්නා මහණහුට යම් දුක්කටයක් වදාරණ ලද්දේද, මෙය විනයදුක්කට නම්වේ. ‘සුත්‍වා න වදන්ති ආපත්ති දුක්කටස්ස’ යන මෙය ඤාතදුක්කට නම්වේ. ‘එකාදස්සු සමනුභාසනාසු ඤත්තියා දුක්කටං’යි යම් දුක්කටයක් වදාරණ ලද්දේද, මෙය ඤත්තිදුක්කට නම්වේ. ‘තස්ස භික්‍‍‍ඛවෙ භික්‍‍‍ඛුනො පුරිමිකා ච න පඤ්ඤායති, පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස’ යන මෙය පටිස්සවදුක්කට නම්වේ. මේවනාහි සහපයොගදුක්කටයයි. එහෙයින් ‘යං කිඤ්චි අල්ලං වා සුක්‍ඛං වා තිණරුක්‍ඛලතාදිං ජින්‍දන්තස්ස සහපයොගත්තා දුක්කටමෙව හොති’යි වදාරණ ලද්දේය.