ථලට්ඨකථා
ථලට්ඨ කථාවෙහි ‘ථලෙ නික්‍ඛිත්තං’ බිම්තෙලෙහි හෝ ප්‍රාසාද පර්‍වත තලාදීන් අතුරෙහි වැසුනු හෝ නොවැසුනු යම්කිසි තැනක තැබු භාණ්ඩය ථලට්ඨ යයි දතයුතුය. ඉදින් ඒ භාණ්ඩය රැස්කරන ලද්දක්වේද, සැළිය තුළ භාණ්ඩය, බඳුන් ගතකරන, මිට සිඳින විනිශ්චයෙන් විනිශ්චය කටයුත්තේය. ඉදින් එකාබද්ධ වූයේනම් සිලෙස නීය්‍යාසාදි පක්කමධුඵාණිත විනිශ්චයෙන් විනිශ්චය කටයුතුය. ලෝපිඬු ගුළපිඬු තෙල් මී කළ ආදීවූ ගරුසාර භාණ්ඩයක්වේද, එය සැළිය පිළිබඳ ඨානාචාවන විනිශ්චයෙන් විනිශ්චය කටයුතුය. හැකිල්ලෙන් බැඳුනු භාණ්ඩයාගේ ස්ථානභෙදයද සැලකිය යුතුය. අතුරාතැබූ උතුරුසළු ආදිය සෘජුව ගෙන අදීද, ඈත කෙළවර මෑත කෙළවරින් පැහැසූ අවකාශය ඉක්මවූකල්හි පාරාජිකය වේ. සියලු දිශාවන්හි මෙසේ සැලකිය යුතුය. වෙළා උදුරාද, කෙසගක් පමණ අහස්ගත කරන්නහුට පාරාජිකය වේ. සෙස්ස කියූනය ඇත්තේමය.
ථලට්ඨකථා නිමි.
ආකාසට්ඨකථා
ආකාසට්ඨාවෙහි - ඉදිරිපසින් මුවතුඩින් පසුපසින් පිල්කලප් අගින් දෙපසෙහි පියාපත් කෙළවරින් යට පානිය සිළුවෙන් මතුවෙහි සිළුඅගින්යි මොනරාගේ ස්ථාන පරිච්ඡෙදය සයයුරකින් දතයුතුය. මහණතෙමේ අහස්හි සිටි සස්වාමික වූ මොනරෙකු අල්ලා ගන්නෙමියි ඉදිරියෙහි හෝ සිටීද, අත හෝ දිගු කෙරේද, මොනරා අහසෙහිම පියාපත් සලාද, හුළං ගන්වා ගමන් හැර සිටීද, ඒ මහණහුට දුක්කටය වේ. ඒ මොනරු සිටිතැනින් නොසොල්වෙමින් අතින් පහසානම් දුක්කටයම වේ. සිටිතැනින් පහනොකරමින් සොලවාද, ථුල්ලච්චය වේ. අතින් අල්වාගෙන හෝ අල්වානොගෙන හෝ මුවදඩ කෙළවරින් පැහැසූ අවකාශය වූ පිල්කලබ් කෙළවර, පිල්කලබ් කෙළවරින් පැහැසූ අවකාශය වූ මුවතුඩ ඉක්මවාද පාරාජිකය වේ. එසේ වම්පස පියාපත් කෙලවරින් පැහැසූ අවකාශය වූ දකුණුපස පියාපත් කෙළවර, දකුණුපස පියාපත් කෙළවරින් පැහැසූ අවකාශය වූ වම්පස පියාපත් කෙළවර ඉක්මවාද, පාරාජිකය වේ. එසේ පානිය සිළුවෙන් පැහැසූ අවකාශය වූ සිළුඅග, සිළුඅගින් පැහැසූ අවකාශය වූ පානිය සිළුව ඉක්මවාද පාරාජිකය වේ.
අහසින් යන මොනරා ශීර්‍ෂාදීන් අතුරෙහි යම් අවයවයෙක සැඟවේද, ඒ මොනරුගේ ස්ථානය ඒය. එහෙයින් අතෙහි ලැගුනු ඒ මොනරු ඒ අතින්ම ඈත් මෑත් කරනුයේද සොලවාමය. ඉදින්වනාහි අනික් අතින් ගෙන හුන් තැනින් පහකෙරේද, පාරාජිකය වේ. අනික් අත ලංකෙරේද මොනරා තමාම අහසට නැග ඒ අතෙහි සැඟවේද ඇවැත් නොවේ. අවයවයෙහි ලැගුනු බව දැන සොරසිතින් එක් පියවරක් යේද, ථුල්ලච්චය වේ. දෙවන පියවරෙහිදී පාරාජිකය වේ.
බිම සිටි මොනරා දෙපාදයන්ගේ හා පිල් කලාපයේ වසයෙන් තුන්තැනක් ලබයි. ඒ මොනරු ඔසොවන මහණහුට යම්තාක් ඒ මොනරාගේ එක් තැනෙකුදු පොළොව පහසාද, ඒතාක් ථුල්ලච්චය වේ. කෙසගක් පමණකුදු පොළොවෙන් මිදී ගිය කල්හි පාරාජිකය වේ. මැදිරියෙහි සිටි මොනරු මැදිරිය සමග ඔසොවාද, පාරාජිකය වේ. ඉදින් පාදයක් නොඅගීනම් සියලු තැන ඇගීම් වසයෙන් විනිශ්චය කටයුතුය. පවුරු ඈ යමකින් වටකළ වත්ත තුළ හැසිරෙන මොනරෙකු සොරසිතින් පා ගමනින් පිටත වත්තකට ගෙන යන්නේ දොර ඉම ඉක්මවාද පාරාජිකය වේ. ගොවුදෙහි සිටි ගොනුට ගොවුද මෙන් ඔහුට වත්ත ඇතුළ ස්ථාන වේ. අතින් ගෙන වත්ත ඇතුළතදීම අහස්ගත කරන්නහුට පාරාජිකයම වේ. ගම තුළ හැසිරෙන්නෙකු දැක ගම්පවුර ඉක්මවා යන්නහුට පාරාජිකය වේ. මොනරුම නික්මගොස් පිටත ග්‍රාමොපචාරයෙහි වස්තූපචාරයෙහි හෝ හැසිරෙන්නහු වනාහි සොරසිත් ඇත්තේ දරකඩකින් කැටකින් හෝ තැතිගන්වා වන මුඛයට අභිමුඛ කෙරේද, මොනරා පියාහඹා ගොස් ගම තුළ හෝ වත්ත තුළ හෝ සෙවෙනිපිටක හෝ සැඟවී ගනීද, ඒ තාක් රකියි. ඉදින් වනාහි වනයට අභිමුඛව පියාහඹාද, ගමන් හෝ කෙරේද, ‘වනයට ඇතුල්කොට ගන්නෙමි’යි අදහසක් නැති කල්හිද පොළොවෙන් කෙසගක් පමණකුදු අහසට නැගීගත් ඇසිල්ලෙහි හෝ දෙවන පියවරෙහි හෝ පාරාජිකය වේ. කුමක් හෙයින්ද යත්: යම්හෙයකින් ගමින් නික්මුනහුට සිටිතැනම ස්ථානයවේද, එහෙයිනි. ඔවුනොවුන් කොටවනු පිණිස නුවණ නැති මිනිසුන් විසින් වැඩූ වටු ආදීවූ පක්‍ෂි ජාතීන් අතුරෙහිද මෙම විනිශ්චය වේ.
‘සාටකං වා’ පොළෝතෙලෙහි අතුරා තබන ලද්දක් මෙන් වාත වේගයෙන් නගන ලදුව අහසින් යන පිටිතලපයෙන් බැඳි ඉදිරියට පැමිණ සළුවක් එක් කෙළවරකින් අතින් ගනීද, ඈතින් මෑතින් තුබූතැන වෙනස් නොකරනුයේම සොලොවාද, ගමන් වැළකීම නිමිතිකොට දුක්කටය වේ. තුබූතැනින් පහනොකරනුයේ සොලොවාද සෙලවීම නිමිතිකොට ථුල්ලච්චය වේ. තුබූතැනින් පහකෙරේද, පාරාජිකය වේ. මේ සළුවෙහි ස්ථාන පරිච්ඡෙදය මොනරු පිළිබඳ ස්ථාන පරිච්ඡෙදය මෙන් සයයුරකින් දතයුතුය.
නොබඳිනලද සළුව වනාහි එක්කෙළවරක් ගත්ඇසිල්ලෙහිම දෙවන කෙළවරින් වැටී බිම පිහිටාද, අතද, බිමදැයි එයට දෙතැනක් වේ. ඒ සළුව අල්ලාගත් පරිදිම අල්ලා ගත් පෙදෙසින් අල්ලාගෙන සොලොවාද ථුල්ලච්චය වේ. පසුව දෙවන අතින් හෝ පයින් පොළොවෙන් ඔසොවාගනීද පාරාජිකය වේ. පළමුකොට හෝ පොළොවෙන් නගාගනීද ථුල්ලච්චය වේ. පසුව අල්ලාගත් අවකාශ ප්‍රදේශයෙන් පහකෙරේද පාරාජිකය වේ. ගැනීම නොමුදමින් හෝ සෘජුවම අතනවා බිමවූවක්කොට ඒ අතින්ම ඔසොවාද, පාරාජිකය වේ. වෙළුමෙහිද මේ විනිශ්චය වේ.