පඤ්චවීසතිඅවහාරකථා
අනෙකක් වේ: මේ පදසය වර්‍ණනා කරන්නහු විසින් පඤ්චක පස එක්කොට පස්විසි අවහාරද දැක්විය යුතුය. මෙසේ වර්‍ණනා කරන්නහු විසින්ම මේ අදින්නාදාන පාරාජිකය මැනවින් වර්‍ණනා කරන ලද්දේ වේ. මෙතැනද සියලු අර්‍ත්‍ථකථා අවුල්වූවාහු කැළඹීගියාහු දැනගත නොහැකි විනිශ්චය ඇත්තාහ. ඒ එසේමය. සියලු අර්‍ත්‍ථකතාවන්හි පෙළෙහි ‘පඤ්චහි ආකාරහි අදින්නං ආදියන්තස්ස ආපත්ති පාරාජිකස්ස පරපරිග්ගහිතඤ්ච හොති’ යනාදි ක්‍රමයෙන් යම් ඒ අවහාරඞ්ග දක්වන ලද්දේද, ඒ අවහාරාඞ්ගද ගෙන කිසිතැනක එක් පඤ්චකයක් දක්වන ලද්දේය කිසිතැනක ‘ඡහාකාරෙහි’යි ආවුන් සමග පඤ්චක දෙකක් දක්වන ලද්දේය. මොවුහුම පඤ්චකයෝ නොවෙත්. යම්තැනෙක වනාහි එක්එක් පදයකින් අවහාරය සිදුවේද, එය පඤ්චක නමැයි කියනු ලැබේ. ‘පඤ්චහාකාරෙහි’ යන මෙහි වනාහි ‘පරපරිග්ගහිතං’ යනාදී වූ සියලු පදයන්ගෙන්ම එක්ම අවහාරයක් ගැනේ. එහි ලැබෙන යම්ම පඤ්චක කෙනෙක් දක්වන ලද්දාහුද, ඒ සියලුම පඤ්චකයන්ගේද අර්‍ත්‍ථය නොදක්වන ලද්දේය. මෙසේ මෙතන්හි සියලු අර්‍ත්‍ථකථාවෝ අවුල් වූවාහු කැළඹී ගියාහු දැනගත නොහැකි විනිශ්චය ඇත්තාහුද එහෙයින් පඤ්චකපස එක්කොට දක්වන මේ පස්විසිඅවහාරයෝ මනාකොට සලකා බැලිය යුත්තාහ.
පස්පඤ්චක නම්: නානාභණ්ඩපඤ්චක - එකභණ්ඩපඤ්චක - සාහත්‍ථිකපඤ්චක - පුබ්බපයොගපඤ්චක - ථෙය්‍යාවහාරපඤ්චක යන මේය. එහි නානාභණ්ඩ පඤ්චකය හා එකභණ්ඩපඤ්චකයද, ආදියෙය්‍ය, හරෙය්‍ය, අවහරෙය්‍ය, ඉරියාපථං විකොපෙය්‍ය, ඨානාචාවෙය්‍ය’ යන මේ පදයන්ගේ වසයෙන් ලැබෙන්නේය. ඔවුහු පෙර යොදා දැක්වු ලෙසින්ම දතයුත්තාහ. යම් මේ ‘සංකෙතං වීතිනාමෙය්‍ය’ යන මේ සවනපදයක්වේද, එය පරිකප්පාවහාරයටද, නිස්සග්ගියාවහාරයටද සාධාරණ වේ. එහෙයින් ඒ සවන පදය තෙවන පස්වන සාහත්‍ථික - ථෙය්‍යවහාර පඤ්චකයන්හි ලැබෙන පදයන්ගේ වසයෙන් යෙදිය යුතුය. නානාභණ්ඩපඤ්චකය හා එකභණ්ඩපඤ්චකය කියන ලද්දේය.
සාහත්‍ථිකපඤ්චකය කවරේද යත්:- සාහත්‍ථික - ආණත්තික - නිස්සග්ගිය අත්‍ථසාධක - ධුරනික්‍ඛෙපයි අවහාර පසක් වේ. එහි සාභර්‍ත්‍ථිකනම්, අන්හු අයත් භාණ්ඩයක් සියතින් ගැනීමය. ආණත්තිකනම්, අසුවල් තැනැත්තහුගේ භාණ්ඩය ගනුවයි ඇණවීමය. නිස්සග්ගියනම්, අයබදු ගන්නා තැන ඇතුළත සිටියේ පාරාජිකයට පමණවන භාණ්ඩයක් අයබදු ගන්නා තැනින් පිටතට හෙළාද, පාරාජිකාපත්තිය වන්නීය, යන මේ සමග ‘සඞ්කෙතං වීතිනාමෙය්‍ය’ යන මේ පදය යෙදීම ලබාද ඒ ය. අත්‍ථසාධකනම්, ‘අසුවල් භාණ්ඩය යම් කලක ගතහැක්කේද එකල්හි ගණුවයි අණ කෙරේද ඒ ය. එහි අණ ලදුයේ අන්තරායක් නැතිව එය ගනීද, අණකළ තැනැත්තේ ඇණවූ කෙණෙහිම පාරාජික වේ. අවහාරකතෙමේ සොරාගත් කල්හි පාරාජික වේ. මේ අත්‍ථසාධකයයි. ධුරනික්‍ඛෙපය වනාහි රැකීම පිණිස තමන් වෙත තැබූ භාණ්ඩය වසයෙන් දතයුතුය. මේ සාහර්‍ත්‍ථක පඤ්චකයයි.
පුබ්බපයොගපඤ්චකය කවරේදයත්: පුබ්බපයොග - සහපයොග - සංවිදාවහාර - සඞ්කෙතකම්ම - නිමිත්තකම්මයි අන්‍යවූද අවහාර පසක් වේ. එහි අණකිරීම් වසයෙන් පුබ්බපයොගය දතයුතුය. තුබූතැනින් පහකිරීම් ආදීහුද මෙහි ඇතුළත් වෙත්. සංවිදාවහාරාදී වූ අන්‍ය වූ ත්‍රිවිධ ප්‍රයොග පෙළෙහි ආලෙසින් දතයුත්තේය. මේ පූර්‍වප්‍රයොගපඤ්චකයයි.
ථෙය්‍යාවහාරපඤ්චකය කවරේද යත්: ථෙය්‍යාවහාර - පස්යහාව හාර - පරිකප්පාවහාර - පටිච්ඡන්නාවහාර - කුසාවහාර යි අන්‍යවූද අවහාරපසක් වේ. එහි යමෙක් ගෘහසන්‍ධි බිඳීම් ආදියකොට අන්හු විසින් නොදක්නා ලද්දේ ගනීද, තුලාකූට - මානකූට - කහවණු ආදියෙන් අන්හු රවටා හෝ ගනීද, මෙසේ ගැනීම ථෙය්‍යාවහාර නමි. මැඩලා බලාත්කාරකම් කොට ගැනීම පසය්හාවහාර නමි. භාණ්ඩ වසයෙන් හා අවකාස වසයෙන් කල්පනා කොට ගැණීම පරිකප්පාවහාර නමි. තණපත් ආදියෙන් ඇඟිලි මුදු ආදිය වසාදමා පසුව ගැනීම පටිච්ඡන්නාවහාර නමි. කුසපත්කොට පෙරළා ගැනීම කුසාවහාර නමි. ඒ අවහාරපසද ‘අඤ්ඤතරො භික්‍‍‍ඛු සඞ්ඝස්ස චීවරෙ භාජීයමානෙ ථෙය්‍යචිත්තො කුසං සඞ්කාමෙත්‍වා චීවරං අග්ගහෙසි’ යන මේ කුසසඞ්කාමණ වස්තුවෙහිදී විස්තර වශයෙන් කියන්නෙමු. මේ ථෙය්‍යාවහාර පඤ්චකයයි. මෙසේ මේ පඤ්චකපස එක්කොට පස්විසිඅවහාර දතයුතුය.
පඤ්චකපසෙහි දක්‍ෂ වූ විනයධරයා විසින් අවතීර්‍ණ වස්තුව වහා විනිශ්චය නොකොට කරුණු පසක් බැලිය යුතුය. ඒ කරුණුපස පුරාණයෝ මෙසේකීහු:
‘වත්‍ථුං කාලඤ්ච දෙසඤ්ච - අග්ඝං පරිභොගපඤ්චමං,
තුලයිත්‍වා පඤ්චඨානාති - ධාරෙය්‍යත්‍ථං විචක්‍ඛණො’යි
විචක්‍ෂණතෙමේ වස්තුවද කාලයද දෙශයද අගයද පස්වනපරිභොගයද යන කරුණුපස පරීක්‍ෂාකොට බලා අර්‍ත්‍ථය දරන්නේය.
එහි වත්‍ථු නම් භාණ්ඩයයි. අවහාරකයා විසින් වනාහි ‘මා විසින් මෙනම් භාණ්ඩය පැහැරගන්නා ලදැ’යි කියූකල්හිද ඇවැත නොනගාම ‘ඒ භාණ්ඩය සස්වාමිකද අස්වාමිකදැ’යි පරීක්‍ෂා කටයුතුය. සස්වාමික භාණ්ඩයෙහිද හිමියන්ගේ ආලය සහිතබව හා ආලය රහිතබව පරීක්‍ෂා කටයුතුය. ඉදින් හිමියන්ගේ ආලය තුබූකාලයෙහි ඒ භාණ්ඩය පැහැරගන්නා ලද්දේනම් භාණ්ඩයෙහි වටිනාකම සොයාබලා හාණ්ඩය අගයකරවා ඇවැත නැගිය යුතුය. ඉදින් නිරාලය කාලයෙහි ගන්නා ලද්දේ නම් පාරාජිකාපත්තියෙන් ඇවැත් නොනැගිය යුතුය. භාණ්ඩ හිමියන් භාණ්ඩය ඉල්ලා සිටි කල්හි භාණ්ඩය ගෙවනකල්හි භාණ්ඩය ඔවුනට දියයුතුය. මේ මෙහි වතයි.
මේ අර්‍ත්‍ථය පැහැදිලි කරනු පිණිස මේ වස්තුව දතයුතුය. භාතිය රජුගේ කාලයෙහි මහසෑය පුදනු පිණිස දකුණුදිගින් එක්මහණෙක් සත්රියනක් පමණ වූ කසාවතක් කරගෙන සෑමිදුලට පැමිණියේය. එකෙණෙහිම රජතෙමේද සෑය වඳිනු පිණිස එහි පැමිණියේය. එහෙයින් එහි මිනිසුන් ඈත් මෑත් කරන කල්හි මහජනයාගේ මහත් කැළඹීමක් වූයේය. එකල්හි ඒ මහණතෙමේ මහජනයාගේ කැළඹීමෙන් පෙළුනේ කරින් ඇදවැටෙන කසාවත නොදැකම එතැනින් නික්මුනේය. නික්මගොස්ද කසාවත නොදක්නේ ‘කවරෙක් මෙබඳු මහජන කැළඹීමක් පවත්නා කල්හි කසාවත ලබාද, දැන් ඒ වස්ත්‍රය මාගේ නොවේය’යි බලාපොරොත්තුව අතහැර ගියේය. එහිම අන් මහණෙක් පසුව එනුයේ ඒ කසාවත දැක සොරසිතින් එය ගෙන නැවත එහි විපිළිසරව ‘මම දැන් අශ්‍රමණයෙක් වෙමි, සිවුරු හැර යන්නෙමි’යි සිත් උපන්කල්හි විනයධරයන් විචාරා දැනගන්නෙමියි සිතුයේය.