අනාපත්තිභෙදං
මෙසේ වස්තු වශයෙන්ද චිත්ත වශයෙන්ද ආපත්තිභෙදය වදාරා දැන් අනාපත්තිය දක්වනසේක් ‘අනාපත්ති සසඤ්ඤිස්ස’ යනාදිය වදාළ සේක. එහි ‘සසඤ්ඤිස්ස’ යනු සකසංඥා ඇත්තහුට. ‘මේ භාණ්ඩය මා සතුය’යි මෙසේ තමාගේය යන හැඟීම් ඇතිව අන්සතු භාණ්ඩයක් ගන්නහුට ගැනීම නිමිතිකොට ඇවැත් නොවේ. ගන්නා ලද්ද වනාහි දියයුතුය. ඉදින් හිමියන් විසින් ‘දෙව’යි කියන ලද්දේ, නොදේනම් ඔවුන්ගේ ධුරනිඃක්ෂෙපය නිමිතිකොට පාරාජිකය වේ.
‘විස්සාසගාහෙ’ විශ්වාසයෙන් ගැනීමෙහිද ඇවැත් නොවේ. විශ්වාසයෙන් ගැනීමෙහි ලක්ෂණ ‘අනුජානාමි භික්ඛවෙ පඤ්චභඞ්ගෙහි සමන්නාගතස්ස විස්සාසං ගහෙතුං, සන්දිට්ඨො ච හොති සම්භත්තො ච ආලපිතො ච ජීවති ච ගහිතෙ ච අත්තමනො’ යන මේ සූත්රයෙන් දතයුතුය. එහි ‘සන්දිට්ඨො’ දුටුපමණින් මිත්ර වූයේය. ‘සම්භත්තො’ දැඩි මිත්රතෙමේය. ‘ආලපිතො’ ‘මාසතු යමක් කැමැත්තෙහිද, එය ගනුව’යි විචාරා ගැනීමෙහි කාරණයක් නැත්තේයයි කියන ලද්දේය. ‘ජිවති’ නොනැගී සිටි සෙය්යාවෙන් සයනය කරණ ලද්දේද, යම්තාක් ජීවිතේන්ද්රිය සිඳීමට නොපැමිණේද, ඒතාක් සිටියේය. ‘ගහිතෙ ච අත්තමනො’ ගත්කල්හි තුටු සිත් ඇත්තේවේද, එබඳු වූවහුගේ සන්තකය මා ගත්කල්හි තුටු සිත් ඇත්තේ වන්නේයයි දන්නහු විසින් ගැනීම වටියි. ඉතිරි නොකොට සියල්ල ගැනීම් වසයෙන්ද මේ අඞ්ගපස වදාරණ ලද්දේය. විශ්වාසයෙන් ගැනීම කරුණු තුනකින් රූහණය වේ. සන්දිට්ඨ මිත්රයෙක්වේද, ජීවත්වේද, ගත්කල්හි සතුටුවේද, සම්භක්ත මිත්රයෙක්වේද, ජීවත්වේද, ගත්කල්හි සතුටුවේද, ආලපිත මිත්රයෙක්වේද, ජීවත්වේද, ගත්කල්හි සතුටුවේ යන මේ කරුණු තුනය.
යමෙක් වනාහි ජීවත්වේද, ගත්කල්හි සතුටුවූයේ නොවේද, ඔහු සතුවූවක් විශ්වාස ග්රහණයෙන් ගන්නා ලද්දේද නැවත දිය යුතුය. දෙන්නහු විසින්ද මළහුගේ ධනය වනාහි ඔහුගේ ධනයෙහි ගෘහස්ථ වූ හෝ ප්රව්රජිත වූ හෝ යම්කෙනෙක් අධිපතිවෙත්ද ඔවුන්ට දියයුතුය. නොසතුටු සිත්ඇත්තහු සතු ධනය ඔහුටම දියයුතුය. යමෙක්වනාහි පළමුකොටම ‘මා සන්තකය ගන්නා වූ තා විසින් කරණ ලද්දේ යහපතැ’යි වාග්භෙදයෙන් හෝ විත්තොත්පාද මාත්රයකින් හෝ අනුමෝදන්ව පසුව කිසි කරුණක් හේතුකොට කිපියේ පෙරළා ගෙන්වන්නට නොලබන්නේය. යමෙක් නොදෙනු කැමැත්තේ සිතින් ඉවසාද, කිසිවක් නොකියාද, ඔහුද නැවත ගෙන්වීම නොලබයි. යමෙක් වනාහි ‘මා විසින් තොපගේ සන්තකය ගන්නා ලද්දේ යයි හෝ පරිභොග කරන ලද්දේ යයි හෝ කියූකල්හි ගන්නා ලද්දේ හෝ වේවා, පරිභොග කරන ලද්දේ හෝ වේවා, මා විසින් එය කිසි කටයුත්තක් හෙතුකොට තබන ලද්දේය, එය ප්රකෘතිමත් කරන්නට වටීය’යි කියාද, මෙතෙමේ පෙරළා ගෙන්වීම ලබයි.
‘තාවකාලිකෙ’ නැවත දෙන්නෙමි, නැවත කරන්නෙමියි මෙසේ ගන්නනහුට තාවකාලිකය ගැනීමෙහිද ඇවැත් නැත්තේය. ඉදින් ගන්නා ලද්ද වනාහි භාණ්ඩ ස්වාමි වූ පුද්ගලයෙක් හෝ ගණයෙක් හෝ මෙය තටම වේවායි අනුදනීනම් මෙසේ මේ අනුදැනීම මැනවි, ඉදින් නොඅනුදනීනම් ගෙන්වන කල්හි දියයුතුය. සඞ්ඝසන්තකය වනාහි පෙරළා දීමම වටීයි.
‘පෙතපරිග්ගහෙ’ මෙහි වනාහි ප්රේතවිෂයයෙහි උපදින්නාහුද කාලක්රියාකොට එම ආත්මභාවයෙහිම උපන්නාහුද චාතුර්මහාරාජිකාදී වූ සියලු දෙවියෝද ප්රේතයෝමයි ගිනීමට ගියාහුය. ඔවුන් අයත් භාණ්ඩයෙහි අනාපත්ති වේ. ඉදින් වනාහි සක්දෙව්රජතෙමේ අවන්හලක් විවෘතකොට හුන්නේවේද, දිවැස් ඇති මහණෙක්තෙමේ එය දැන තමන්ට සිවුරු පිණිස සියදහසක් අගනා සළුවක් ඔහු ‘නොගනුව, නොගනුව’යි මොරගා කියනකල්හිත් ගෙනයේද වටියි. දෙවතාවක උදෙසා බිලියම් කරන්නන් විසින් ගස්, වැල් ආදියෙහි එල්ලා තැබූ සළුවෙහි කියයුත්තක් නැත්තේමය.