පකිණ්ණකකථා
‘සමුට්ඨානඤ්ච කිරියා - අථො සඤ්ඤා සචිත්තකං,
ලොකවජ්ජඤ්ච කම්මඤ්ච - කුසලං වෙදනාය චාති’
ලොකවජ්ජඤ්ච කම්මඤ්ච - කුසලං වෙදනාය චාති’
මේ මිශ්රකනයෙහි මේ ශික්ෂාපදය ත්රිසමුත්ථානිකය. සාහර්ත්ථික ප්රයොගයෙන් නිපන්නේය. කයින්ද සිතින්ද හටගනියි. ආණත්තිකයෙන් නිපන්නේය. වචනයෙන්ද සිතින්ද හටගනියි. සාහර්ත්ථක ආණත්තිකයෙන් නිපන්නේය. කයින්ද වචනයෙන්ද සිතින්ද හටගනියි. ක්රියාසමුත්ථානද වේ. කරන්නේම මේ ඇවතට පැමිණේ. නොකරන්නේ මේ ඇවතට නොපැමිණේ. ‘නොදුන් දෙය ගනිමි’යි යන සංඥාවගේ අභාවයෙන් මිදෙන බැවින් සංඥාවිමොක්ෂ වේ. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශල චිත්තයි. තුටුවූයේ හෝ බියවූයේ හෝ මැදහත්වූයේ හෝ එයට පැමිණේ යයි ත්රිවේදන වේ. සියල්ල ප්රථම ශික්ෂාපදයෙහි කියූනයින්ම දතයුතුය.
විනිශ්චිත කථාවස්තු
විනීතවස්තුකථා අතුරෙහි - ෂට්වර්ගිකවස්තුව අනුප්රඥප්තියෙහි කියන ලද්දේමය.
ද්වීතීය වස්තුවෙහි - පෘථග්ජනයන්ගේ සිතවනාහි රාගාදීන්ගේ වසයෙන් පියවි ගතිය හැරපියා දුවයි. තදින් දුවයි. නොයෙක් අයුරින් දුවයි. ඉදින් භාග්යවතුන් වහන්සේ කායවචීද්වාර භෙදය හැරද චිත්තොත්පාද මාත්රයෙන් ඇවැත් පණවන සේක්නම්, කවරෙක් තමන් අනාපත්තියෙකු කරන්නට සමර්ත්ථ වන්නේද එහෙයින් ‘අනාපත්ති භික්ඛු චිත්තුප්පාදෙ’ යනු වදාළ සේක. සිතට වසඟ වූවකු නොවිය යුතුය. මේ චිත්තොත්පාදයෙහි ආදීනව ප්රත්යවෙක්ෂා බලයෙන් සිත වළකාගත යුතුමය.
ආමසන - ඵන්දාපන - ඨානාචාවන වස්තු ප්රකට අර්ත්ථ ඇත්තේමය. එයින් අන්යවූවෝද ‘ථෙය්යචිත්තො භුමිතො අග්ගහෙසි’ යන වස්තු කෙළවරකොට ඇත්තාහුය.
නිරුක්තිපථ වස්තුවෙහි - ‘ආදියි’ යනු ගත්තේය. ‘තෝ සොරෙහි’යි පැහසීය. අන්යයා වනාහි ‘කවරක්හු විසින් ගන්නා ලදදැ’යි විචාළ කල්හි මා විසින් සොයාගන්නා ලද්දේය’යි පිළිවිසීමට සභාග වසයෙන් ප්රතිඥා දුන්නේය. ඉදින් අන්යයා විසින් ‘කවරෙකු විසින් සොරාගන්නා ලදද, කවරකු විසින් බැහැර කරන ලදද, කවරකු විසින් තබන ලදදැ’යි කියන ලද්දේ වන්නේනම්, නැවත මෙතෙමේද ‘මා විසින් ගන්නා ලදය, බැහැර කරන ලදය, තබන ලදැ’යි හෝ කියන්නේය. මුඛය වනාහි අනුභවය පිණිසත් කථා කරනු පිණිසත් කරන ලද්දේය. සොරසිත හැර අවහාරයක් නැත්තේය. එහෙයින් භාග්යවතුන් වහන්සේ ‘අනාපත්ති භික්ඛු නිරුත්තිපථෙ’ යනු වදාළ සේක. ව්යවහාරවචන මාත්රයෙහි ඇවැත් නොවේය යන අර්ත්ථයි. එයින් අන්ය වූ වෙඨන වස්තුව කෙළවරකොට ඇති සියලු වස්තු කියනලද අර්ත්ථ ඇත්තේමය.
අභින්න සරීර වස්තුවෙහි - ‘අධිවත්ථො’ යනු සළුව කෙරෙහි කළ තෘෂ්ණාව හේතුකොට එම සිරුරෙහිම උපන්නේය. ‘අනාදියන්තො’ ඒ ප්රේතයාගේ වචනය නොගන්නේ ආදරය හෝ නොකරන්නේ. ‘තං සරීරං උට්ඨහිත්වා’ ප්රෙතතෙමේ තමන්ගේ ආනුභාවයෙන් ඒ ශරීරය නැගුටුවාලූයේය. ‘තං සරීරං උට්ඨහිත්වා’ යනු එහෙයින් වදාරණ ලද්දේය. ‘ද්වාරං ථකෙසි’ මහණහුගේ විහාරය සොහොන සමීපයෙහිම වූයේද එහෙයින් බියසුලු සැහැවි ඇති මහණතෙමේ වහාම එහි පිවිස දොර වැසුයේය. ‘තත්ථෙව පරිපටි’ දොර වැසූ කල්හි ප්රෙතතෙමේ සළුවෙහි ආලය රහිතව ඒ මළසිරුර හැරපියා කම්වූපරිදි ගියේය. එහෙයින් ඒ ශරීරය එහිම වැටුනේය. වැටෙන ලදැයි කියන ලද්දේ වේ.
‘අභින්නෙ සරීරෙ’ ඉතා උණුසුම් වූ තෙත් සිරුරෙහි පාංශුකුලය නොගත යුතුය. ගන්නහුට මෙබඳු වූ උවදුරු වේ. දුක්කටයටද පැමිණේ. සිරුර බිඳීගිය කල්හි ගැනීම වටියි. කොපමණකින් බිඳුනේදයත්: කවුඩු උකුසු බලු හිවල් ආදීන් විසින් මුවතුඩින් හෝ දළින් හෝ මදක් පැළු පමණින්ද බිඳුනේ වේ. ඒ මත යමක්හුගේ වැටීමෙන්වූ ගැටීමෙන් සිවිය පමණකුත් සිඳුනේවේද, සම නොසිඳුනේවේද, මෙය නොබිඳුනේම වේ. සම සිඳීගිය කල්හි බිඳුනේ වේ. යමක්හුගේ දිවි සහිත කාලයෙහිම බිඳුනු ගණ්ඩ කුෂ්ට පිළිකාවෝ හෝ වෙයිද, වණයක් හෝ වේද, මේ සිරුර ද බිඳුනේ වේ. සිරුර තෙවනදින පටන් ඉදිමීම් ආදියට පැමිණීමෙන් කුණපබවට පැමිණියේවේද, බිඳුනේම වේ. මුළුමනින් නොබිඳුනු කල්හිද සොහොන් ගොව්වන් ලවා හෝ අන් මිනිසුන් ලවා හෝ ගැන්වීම සුදුසු වේ. ඒ පිණිස අනිකෙකු නොලබානම්, සැතකින් හෝ අන්කිසිවකින් හෝ වණයක්කොට ගතයුතුය. විසභාග සරීරයෙහි වනාහි සිහිඑළවා ශ්රමණ සංඥාව උපදවා හිසෙහි හෝ අත්පා පිටෙහි හෝ වණයක් කොටගැනීම වටියි.
කුසසඞ්කාමනවත්ථුකථා
එයට අනතුරු වස්තුවෙහි - ‘කුසං සඞ්කාමෙත්වා චීවරං අග්ගහෙසි’ පෙර ‘ආදියෙය්ය’ යන මේ පදයාගේ අර්ත්ථ වර්ණනාවෙහි නාමමාත්රයෙන් දක්වනලද ථෙය්යාවහාර - පසය්හාවහාර - පරිකප්පාවහාර - පටිච්ඡන්නාවහාර - කුසාවහාර යන මේ අතුරෙහි කුසාවහාරයෙන් සොරකම් කෙළේය යන අර්ත්ථයි.