සඞ්කෙතකම්මකථා
‘සඞ්කෙතං කම්මං’ හැඳින ගැනීම පිණිස කරන කර්මයයි. කාලපරිච්ඡෙද වසයෙන් සලකුණු කිරීමය යන අර්ත්ථයි. මෙහිදී ‘පෙරබත සොරකම්කොට ගෙන එව’යි කියන ලද්දේ, අද හෝ පෙරබත ගෙන ඒවා, හෙට හෝ අනාගත සංවත්සරයෙහි හෝ ගෙන ඒවායි කියන ලද්දේද කාලයාගේ පිරිසිඳීම් වසයෙන් සලකුණු කිරීමෙහි විසඞ්කෙතයක් නැත්තේය. දෙදෙනාහටම ඔවරක කථාවෙහි කියූනයින්ම පාරාජිකය වේ. ඉදින්වනාහි ‘අද පෙරබත ගෙනඑව’යි කියන ලද්දේ, හෙට ගෙනඒද, ‘අද’යි නියම කරනලද ඒ සලකුණ ඉක්මවා පසුව ගෙනඑන ලද්දේවේද, ඉදින් ‘හෙට පෙරබත ගෙනඑව’යි කියන ලද්දේ, හෙටගෙන ඒද, ‘අද’යි නියමකරනලද ඒ සලකුණ ඉක්මවා පසුව ගෙන එන ලද්දේවේද, ඉදින් ‘හෙට පෙරබත ගෙන එව’යි කියන ලද්දේ අද පෙරබත ගෙන ඒද, ‘සෙටැ’යි නියමකරනලද ඒ සලකුණට නොපැමිණ එයට පෙර ගෙනඑන ලද්දේවේද, මෙසේ අවහරණය කරන අවහාරකයාහටම පාරාජිකය වේ. ඇණවූවහුට ඇවැත් නොවේ. ‘හෙට පෙරබතැ’යි කියූකල්හි එදවසම හෝ හෙට පසුබත හෝ ගන්නේද, ඒ සලකුණට පෙරද පසුද ගෙනේයයි දතයුතුය. පසුබත රෑදාවලද මෙම නයවේ. පෙරයම මැදුම්යම පැසුළුයම අවපුර දෙපස මාස උතු අවුරුදු යනාදීන්ගේ වසයෙන්ද මෙහි කාලය පිරිසිඳීම් වසයෙන් සඞ්කෙත විසඞ්කෙත භාවය දතයුතුය. ‘පෙරබත ගෙන එව’යි කියූ කල්හි ‘පෙරබතම ගන්නෙමි’යි ව්යායාම කරන්නහුට පසු බතවේද, යන මෙහිලා කෙසේවේද යන ප්රශ්නයෙහි මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ මෙය පුරෙභත්තප්රයොගයම වේ. එහෙයින් මූලස්ථතෙමේ නොමිදේයයි කීහ. මහාපදුම ස්ථවිරයන් වහන්සේ වනාහි කාලයාගේ පිරිසිඳීම ඉක්මවූ බැවින් විසඞ්කෙතය වේ. එහෙයින් මූලස්ථතෙමේ මිදේයයි කීහ.
සඞ්කෙතකම්මකථා නිමි.
නිමිත්තකම්මකථා
‘නිමිත්තකම්මං’ යනු කල්පනා උපදවනු පිණිස වර්ණසංස්ථානාදි වශයෙන් කිසි නිමිත්තක් කිරීමය. ඒ නිමිති කිරීම ‘අක්ඛිං වා නිඛණිස්සාමි’ යනාදි නයින් තෙපරිද්දෙකින් වදාරණ ලද්දේය. මෙහි අන්යවූද අත එසවීම අප්පුඩි ගැසීම අසුරු ගැසීම බෙල්ල එසවීම කෑරීම යනාදී වූ අන්අයුරුද සඞ්ග්රහ කටයුතුය. මෙහි සෙස්ස සඞ්කෙත කර්මයෙහි කියූනය ඇත්තේය.
නිමිත්තකම්මකථා නිමි.
ආණත්තිකථා
දැන් මෙම සඞ්කෙතකර්ම - නිමිත්තකර්මයන්හි නොමුළාබව පිණිස ‘භික්ඛු භික්ඛුං ආණාපෙති’ යනාදිය වදාළ සේක. එහි ‘සො තං මඤ්ඤමානො තං’ යනු, ඒ අවහාරක අණවන්නහු විසින් යම්නිමිති හැඟවීමක්කොට කියන ලද්ද, ‘ඒ මේය’යි සිතමින් ඒ භාණ්ඩයම සොරකම්කොට ගනීද, දෙදෙනාහට පාරාජිකය වේ. ‘සො තං මඤ්ඤමානො අඤ්ඤං’ යමක් සොරකම්කොට ගනුවයි කියන ලද්දේ ‘ඒ මේය’යි සිතමින් එතැන්හිම තැබූ අනිකක් සොරකම්කොට ගනීද, මූලස්ථ වූ ඇණවූවහුට ඇවැත් නැත්තේය. ‘අඤ්ඤං මඤ්ඤමානො තං’ ඇණවුවහු විසින් නිමිති හඟවා කියූ භාණ්ඩය මදක් අගනේය, ඒ භාණ්ඩයාගේ සමීපයෙහි තැබූ මේ අනික් භාණ්ඩය සාරභාණ්ඩයකැයි මෙසේ අනිකක් සිතමින් ඒ භාණ්ඩයම සොරකම් කොට ගනීද දෙදෙනාහටම පාරාජිකය වේ. ‘අඤ්ඤං මඤ්ඤමානො අඤ්ඤං’ පෙර කියූ නයින්ම මෙය ඒ භාණ්ඩය සමීපයෙහි තැබූ අනික් සාරභාණ්ඩයයි සලකාද, එද අනෙකක්මවේද, ඒ සොරකම්කොට ගත්තහුටම පාරාජිකය වේ.
‘ඉත්ථන්තාමස්ස පාවද’ යනාදිතන්හි එකෙක් ආචාර්ය්ය වේ. බුද්ධරක්ඛිත - ධම්මරක්ඛිත සඞ්ඝරක්ඛිත යන නම් ඇති තිදෙන අතැවැසියෝයි දතයුත්තාහ. එහි ‘භික්ඛු භික්ඛුං ආණාපෙති’ ආචාර්ය්ය තෙමේ කිසි භාණ්ඩයක් කිසි තැනෙකැයි සලකා ඒ භාණ්ඩය ගෙනඊම පිණිස බුද්ධරක්ඛිත හට අණවයි: ‘ඉත්ථන්තාමස්ස පාවද’යි බුද්ධරක්ඛිත! යව, තෝ මේ කාරණය ධම්මරක්ඛිත හට ‘මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහුට කියාවා’යි කියව. ධම්මරක්ඛිත තෙමේද ‘මෙනම් ඇත්තේ මෙනම් ඇති භාණ්ඩය අවහරණය කෙරේවා’යි සඞ්ඝරක්ඛිතහට කියාවායි මෙසේ තා විසින් අණවන ලද ධම්මරක්ඛිත, ධම්මරක්ඛිත විසින්, අණවන ලද සඞ්ඝරක්ඛිත තෙමේ මෙනම් ඇති භාණ්ඩය අවහරණය කෙරේවා, හෙතෙමේ මේ කර්මයෙහි අප අතර වීර ස්වභාවය ඇත්තේ ප්රතිබලයි කියාද, ‘ආපත්ති දුක්කටස්ස’ මෙසේ අණවන්නා වූ ආචාර්ය්යයාහට පළමුකොට දුක්කටය වේ. ඉදින්වනාහි ඒ අණකිරීම අදහස්කළ ලෙසින් සිදුවේද, පසුව යමකට ථුල්ලච්චය කියන ලද්දේද, අණකළ මොහොතෙහිම එම ථුල්ලච්චය වේ. නැවත ඒ භාණ්ඩය ඒකාන්තයෙන් සොරකම්කොට ගෙනයායුතුවේද, පසුව ‘සබ්බෙසං ආපත්ති පාරාජිකස්ස’යි යමක් කියන ලද්දේද, එයින් මොහුට එකෙණෙහිම පාරාජිකය වේ. මේ යුක්තිය සියලු තන්හි දතයුතුය.