නිමිත්තකම්මකථා
‘නිමිත්තකම්මං’ යනු කල්පනා උපදවනු පිණිස වර්ණසංස්ථානාදි වශයෙන් කිසි නිමිත්තක් කිරීමය. ඒ නිමිති කිරීම ‘අක්ඛිං වා නිඛණිස්සාමි’ යනාදි නයින් තෙපරිද්දෙකින් වදාරණ ලද්දේය. මෙහි අන්යවූද අත එසවීම අප්පුඩි ගැසීම අසුරු ගැසීම බෙල්ල එසවීම කෑරීම යනාදී වූ අන්අයුරුද සඞ්ග්රහ කටයුතුය. මෙහි සෙස්ස සඞ්කෙත කර්මයෙහි කියූනය ඇත්තේය.
නිමිත්තකම්මකථා නිමි.
ආණත්තිකථා
දැන් මෙම සඞ්කෙතකර්ම - නිමිත්තකර්මයන්හි නොමුළාබව පිණිස ‘භික්ඛු භික්ඛුං ආණාපෙති’ යනාදිය වදාළ සේක. එහි ‘සො තං මඤ්ඤමානො තං’ යනු, ඒ අවහාරක අණවන්නහු විසින් යම්නිමිති හැඟවීමක්කොට කියන ලද්ද, ‘ඒ මේය’යි සිතමින් ඒ භාණ්ඩයම සොරකම්කොට ගනීද, දෙදෙනාහට පාරාජිකය වේ. ‘සො තං මඤ්ඤමානො අඤ්ඤං’ යමක් සොරකම්කොට ගනුවයි කියන ලද්දේ ‘ඒ මේය’යි සිතමින් එතැන්හිම තැබූ අනිකක් සොරකම්කොට ගනීද, මූලස්ථ වූ ඇණවූවහුට ඇවැත් නැත්තේය. ‘අඤ්ඤං මඤ්ඤමානො තං’ ඇණවුවහු විසින් නිමිති හඟවා කියූ භාණ්ඩය මදක් අගනේය, ඒ භාණ්ඩයාගේ සමීපයෙහි තැබූ මේ අනික් භාණ්ඩය සාරභාණ්ඩයකැයි මෙසේ අනිකක් සිතමින් ඒ භාණ්ඩයම සොරකම් කොට ගනීද දෙදෙනාහටම පාරාජිකය වේ. ‘අඤ්ඤං මඤ්ඤමානො අඤ්ඤං’ පෙර කියූ නයින්ම මෙය ඒ භාණ්ඩය සමීපයෙහි තැබූ අනික් සාරභාණ්ඩයයි සලකාද, එද අනෙකක්මවේද, ඒ සොරකම්කොට ගත්තහුටම පාරාජිකය වේ.
‘ඉත්ථන්තාමස්ස පාවද’ යනාදිතන්හි එකෙක් ආචාර්ය්ය වේ. බුද්ධරක්ඛිත - ධම්මරක්ඛිත සඞ්ඝරක්ඛිත යන නම් ඇති තිදෙන අතැවැසියෝයි දතයුත්තාහ. එහි ‘භික්ඛු භික්ඛුං ආණාපෙති’ ආචාර්ය්ය තෙමේ කිසි භාණ්ඩයක් කිසි තැනෙකැයි සලකා ඒ භාණ්ඩය ගෙනඊම පිණිස බුද්ධරක්ඛිත හට අණවයි: ‘ඉත්ථන්තාමස්ස පාවද’යි බුද්ධරක්ඛිත! යව, තෝ මේ කාරණය ධම්මරක්ඛිත හට ‘මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහුට කියාවා’යි කියව. ධම්මරක්ඛිත තෙමේද ‘මෙනම් ඇත්තේ මෙනම් ඇති භාණ්ඩය අවහරණය කෙරේවා’යි සඞ්ඝරක්ඛිතහට කියාවායි මෙසේ තා විසින් අණවන ලද ධම්මරක්ඛිත, ධම්මරක්ඛිත විසින්, අණවන ලද සඞ්ඝරක්ඛිත තෙමේ මෙනම් ඇති භාණ්ඩය අවහරණය කෙරේවා, හෙතෙමේ මේ කර්මයෙහි අප අතර වීර ස්වභාවය ඇත්තේ ප්රතිබලයි කියාද, ‘ආපත්ති දුක්කටස්ස’ මෙසේ අණවන්නා වූ ආචාර්ය්යයාහට පළමුකොට දුක්කටය වේ. ඉදින්වනාහි ඒ අණකිරීම අදහස්කළ ලෙසින් සිදුවේද, පසුව යමකට ථුල්ලච්චය කියන ලද්දේද, අණකළ මොහොතෙහිම එම ථුල්ලච්චය වේ. නැවත ඒ භාණ්ඩය ඒකාන්තයෙන් සොරකම්කොට ගෙනයායුතුවේද, පසුව ‘සබ්බෙසං ආපත්ති පාරාජිකස්ස’යි යමක් කියන ලද්දේද, එයින් මොහුට එකෙණෙහිම පාරාජිකය වේ. මේ යුක්තිය සියලු තන්හි දතයුතුය.
‘සො ඉතරස්ස ආරොචෙති’ බුද්ධරක්ඛිතතෙමේ ධම්මරක්ඛිතහට, ධම්මරක්ඛිත තෙමේද සඞ්ඝරක්ඛිතහට ‘අපගේ ආචාර්ය්යතෙමේ ‘මෙනම් ඇති භාණ්ඩය සොරකම් කොට ගනුව, තෝ අප අතර වීරපුරුෂ’යි මෙසේකියායි සැලකෙරේද, මෙසේ ඔවුන්ටද දුක්කටය වේ. ‘අවහාරකො පතිගණ්හාති’ ‘මැනව ගන්නෙමි’යි සඞ්ඝරක්ඛිත තෙමේ පිළිගනීද, ‘මූලට්ඨස්ස ආපත්ති ථුල්ලච්චයස්ස’ සඞ්ඝරක්ඛිත විසින් පිළිගත් ඇසිල්ලෙහි ආචාර්ය්යයාහට ථුල්ලච්චය වේ. ඔහු විසින් මහාජනතෙමේ පාපයෙහි යොදන ලද්දේය. මෙහි ‘මහාජනො’ යනු බුද්ධරක්ඛිත - ධම්මරක්ඛිත - සඞ්ඝරක්ඛිතයන් සඳහා කියන ලද්දේය. ‘සො තං භාණ්ඩං’ ඒ සඞ්ඝරක්ඛිත තෙමේ ඒ භාණ්ඩය සොරාගනීද, සියලු සිවුදෙනාහටම පාරාජිකය වේ. හුදෙක් සිවුදෙනාහටම පාරාජිකය නොවේ. මේ උපායෙහි විසඞ්කෙතය නොකොට පරම්පරාවෙන් අණවන්නා වූ ශ්රමණයන් සියයක්වේවා, ශ්රමණයන් දහසක්වේවා, සියල්ලන්හටම පාරාජිකය වේ.
ද්විතීය වාරයෙහි - ‘සො අඤ්ඤං ආණාපෙති’ ආචාර්ය්යයා විසින් අණවනලද ඒ බුද්ධරක්ඛිත තෙමේ ධම්මරක්ඛිත නොදැන හෝ නොකියනු කැමතිව හෝ සඞ්ඝරක්ඛිතයන් කරාම එළැඹ අපගේ ආචාර්ය්යතෙමේ මෙසේ කීයේය: ‘මෙනම් ඇති භාණ්ඩය සොරාගනුව’යි අණකරවාද, ‘ආපත්ති දුක්කටස්ස’ ඇණවීම හේතුකොට පළමුව බුද්ධරක්ඛිතහට දුක්කටය වේ. ‘පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස’ සඞ්ඝරක්ඛිත විසින් පිළිගත්කල්හි මූලස්ථයාහටම දුක්කටයයි දතයුතුය. ඉදින් මෙතෙමේ ඒ භාණ්ඩය සොරකම් කෙරේද, ඇණවූ බුද්ධරක්ඛිතහට ද සොරාගත් සඞ්ඝරක්ඛිතහටද යන දෙදෙනාහටම පාරාජිකය වේ. මූලස්ථ වූ ආචාර්ය්යයාහට නියමය වෙනස්වූ බැවින් පාරාජිකයෙන් ඇවැත් නොවේ. ධම්මරක්ඛිත හට නොදන්නා බැවින් මුළුමනින් ඇවැත් නොවේ. බුද්ධරක්ඛිත තෙමේ දෙදෙනාහට සොත්ථිභාවයකොට තෙමේ නැසුනේය.
මෙයින් මතු සිවුවැදෑරුම් වූ ආණත්ති වාරයන්හි ප්රථම වාරයෙහි පළමු කොට ‘සො ගනත්වා පුන පච්චාගච්ඡති’ බඩු තිබෙන තැනට ගොස් ඇතුළත හා පිටත කළ ආරක්ෂා දැක සොරකම්කොට ගන්නට නොහැකිවනුයේ පෙරළා ඒද, ‘යදා සක්කොසි තදා’ ‘අදම ගන්නා ලද්දේ කුමක්වේද, යව, යම්කලෙක හැක්කේවෙහිද, එකල්හි ඒ භාණ්ඩය සොරකම් කොට ගණුව’යි. ‘ආපත්ති දුක්කටස්ස’ මෙසේ නැවත ඇණවීම හෙතුකොටද දුක්කටයම වේ. ඉදින් ඒ භාණ්ඩය අවශ්යයෙන් ගතහැකිවේද, අර්ත්ථසාධකචෙතනා නම් මාර්ගයට අනතුරුව ලබන ඵලය සමාන වන්නීද, එහෙයින් මෙතෙමේ ඇණවූ කෙණෙහිම පාරාජික වේ. ඉදිනුදු අවහාරකතෙමේ සැට අවුරුද්දක් ඉක්ම ගිය පසු ඒ භාණ්ඩය සොරකම් කෙරේද ඇණවූ තැනැත්තේද අතරදීම කලුරිය හෝ කෙරේද, ගිහිබවට හෝ පෙරළේද, අශ්රමණයෙක්ම කලුරිය හෝ කරන්නේද, ගිහිබවට හෝ පෙරළෙන්නේද අවහාරකයාහට භාණ්ඩය සොරාගත් කෙණෙහිම පාරාජිකය වේ.