පදභාජනීයවණ්ණනා
‘ගාමො නාම’ යන මේආදිය ‘ගාමා වා අරඤ්ඤ වා’ යන මෙහි කියන ලද ගමෙහි හා වනයෙහි ප්‍රභෙද දක්වනු පිණිස වදාරණ ලද්දේය. එහි යම්කිසි ගමක මලයජනපදයෙහි මෙන් එක්ම කිළියක් එක්ක ගෙයක්වේද, මෙය එක්කුටිකගාම නම්වේ. මේනයින් අන්‍ය ග්‍රාමයෝ ද දතයුත්තාහ. යම් ග්‍රාමයක් මිනිසුන්ගේ අභාවයෙන් මුළුමනින් යකුන් විසින් පිරිගා කරන ලද්දේ ද මනුෂ්‍යයෝ යම්කිසි කරුණක් නිසා නැවත එනු කැමතිවම යම්කිසි තැනකින් නික්මගියාහු වෙත්ද, එතැන අමනුස්සගාම නම්වේ. පරික්‍ඛිත්ත නම් ගඩොලින් කළ පවුරු ආදිකොට යටත්පිරිසෙයින් කටු අතුවලින් හෝ වටකරණ ලද්දේය. වීථි පිහිටුවීම් ආදි වසයෙන් නොපිහිටුවා ගසේ ගෙරිහු දෙතුන්දෙන ඒ ඒ තැන ලගිත්ද මෙසේ ඒ ඒ තැන ගෙවල් දෙක තුනක්කොට විසූතැන ගොනිසාදිනිවිට්ඨගාම නම්වේ. ‘සත්‍ථො’ පා ගමනින් යන වෙළඳ සමූහය. ගැල්නැග යන වෙළඳ සමූහය යන මොවුන් අතුරෙහි යම්කිසි වෙළෙඳ සමූහයක් සත්‍ථ නම් වේ. මේ ශික්‍ෂාපදයෙහිද නිගම හා නගරද ග්‍රාමග්‍රහණයෙන් ගන්නා ලදැයි දතයුතුය.
‘ගාමූපචාරො’ යනාදිය වනයෙහි සීමාව දක්වනු පිණිස වදාරණ ලද්දේය. ‘ඉන්‍දඛීලෙ ඨිතස්ස’ අනුරාධපුරයෙහි මෙන් යම් ගමක දොරටු, එලිපත්, කණු දෙකක්වේද, එහි ඇතුල්එලිපත වෙත සිටියාවූ එහි පිටතඑලිපත් කණුව වනාහි අභිධර්‍ම නයින්වන සඞ්ක්‍ෂෙපයට යන්නේය. යම් ගමක එක් එලිපත් කණුවක් නැත්තේද එහි ගම් දොරබා මැදම ඉන්‍දඛීලයි කියනු ලැබේ. ‘ගාමද්වාරබාහානං වෙමජ්ඣෙ ඨිතස්ස’ යනු එහෙයින් කියනලදී. ‘මජ්ඣිමස්ස’ මැදුම්බල ඇති පුරුෂයක්හුගේ ප්‍රමාණයෙන් මද්ධ්‍යම පුරුෂයක්හුගේ නොවේ. අල්පශක්ති ඇත්තහුගේ නොවේ. මහත්ශක්ති ඇත්තහුගේ නොවේ. මද්ධ්‍යමශක්ති ඇත්තහුගේය’යි කියන ලද්දේ වේ. ‘ලෙඩ්ඩූපාතො’ යම්සේ මාගමක් කවුඩන් පලවාහැරීමට කෙලින්ම අත ඔසොවා කැටක් දමාගසාද, යම්සේ උදකුක්‍ඛෙපයෙහිදී දිය දමාගසත්ද, මෙසේ දමා නොගසා යම්සේ තරුණ මනුෂ්‍යයෝ තමන්ගේ ශක්තිය දක්වමින් අත දිගුකොට කැටය දමාගසත්ද, මෙසේ දමාගැසූ කැටය වැටුනු තැනය. වැටුනු තැනින් පෙරැළීගොස් යම් තැනක රැඳේද, එතැන නොගතයුතුය.
‘අපරික්‍ඛිත්තස්ස ගාමස්ස ඝරූපචාරෙ ඨිතස්ස මජ්ඣිමස්ස පුරිසස්ස ලෙඩ්ඩූපාතො’ යන මෙහි වනාහි පියසි කෙළවරින් දියවැටෙන තැන සිටි බලමැදුම් පුරුෂයකු විසින් දැමූ කුල්ල වැටුනුතැන හෝ මොහොල වැටුනු තැන හෝ ඝරූපචාර නම්වේ. ඒ ඝරූපචාරයෙහි සිටියහු විසින් දමා ගැසූ කැටය වැටුනු තැන ගාමූපචාරයි කුරින්‍දි අටුවාවෙහි කියන ලදී. මහාපච්චරියෙහිද කියන ලද්ද එබඳුමය. මහාඅර්‍ත්‍ථකථාවෙහි වනාහි ‘ඝර, ඝරූපචාර, ගම, ගාමූපචාරයි මාතෘකා තබා පියසි අගින් දියවැටෙන තැනින් ඇතුළත ඝර නමැයිද, පියසි අගින් දියවැටෙන තැනින් ඇතුළත දොරකඩසිටි මාගමක් බඳුන් සේදූ යම්දියක් දමාද, ඒ දිය වැටුනුතැනද, ඇතුළතගෙයි සිටි මාගමක විසින්ම පියවිගතියෙන් පිටතට දමා කුල්ල හෝ මුස්න හෝ වැටුනු තැනද, ගෙරින්ගේ ඇතුල්වීම වළකනු පිණිස ගේ ඉදිරියෙහි දෙකෙන් සම්බන්‍ධකොට මැද කඩොලක් තබා කළ වැටෙන් පරික්‍ෂෙපයද යන මේ සියලු තැන් ඝරූපචාර නමි. ඒ ඝරූපචාරයෙහි සිටි බල මැදුම් පුරුෂයෙකු විසින් දමාගැසූ කැටය වැටුනු තැනින් ඇතුළත ගාමනමි. එතැන්හි සිට දමා ගැසූ අන් කැටක් වැටුනු තැනින් ඇතුළත ගාමූපචාර නමැයිද කියන ලද්දේය. මේ මෙහි පමණ වේ. මෙහි යම්සේද එසේ සියලු තන්හි යම් යම් අර්‍ත්‍ථකථාවාදයක් හෝ ස්ථවිරවාදයක් හෝ පසුව කියනු ලැබේ, එම ප්‍රමාණ වශයෙන් දතයුතුය.
මහාඅර්‍ත්‍ථකථාවෙහි යම් මේ ප්‍රමාණයක් කියන ලද්දේද, එය පෙළට විරුද්ධ වූවක් සේ පෙණේ. පෙළෙහි ‘ඝරූපචාරයෙහි සිටි බලමැදුම් පුරුෂයෙකු විසින් දමාගැසූ කැටය වැටුනු තැනැ’යි මෙපමණක්ම දක්වන ලද්දේය. අර්‍ත්‍ථකථාවෙහි වනාහි ඒ කැටය වැටුනු තැන, ග්‍රාමසඞ්ක්‍ෂෙපයකොට එයින් ඔබ්බ ගාමුපචාරයි කියන ලදය. මේ සියල්ල පෙළෙහි වදාරණ ලදැයි කියනු ලැබේ. මෙහි අදහස දතයුතුය. හෙද අර්‍ත්‍ථකථාචාර්‍ය්‍යයන් විසින්ම දන්නා ලද්දේය. එහෙයින් යම්සේ ‘ඝරූපචාරෙ ඨිතස්ස’යි ඝරූපචාරලක්‍ෂණය පෙළෙහි නොවදාරණ ලද්දේ නමුත් අර්‍ත්‍ථකථාවෙහි කියූලෙසින් ගන්නා ලද්දේය. සෙස්සද මෙසේ ගතයුතුය.
එහි මේ ක්‍රමය වේ. මෙහි පවුරු ආදියෙන් වටකළ ගම, වටනොකළ ගමැයි ගම දෙවැදැරුම් වේ. එහි වටකළ ගමෙහි වටකිරීමම පිරිසිඳීම වේ. එහෙයින් ඒ ගමෙහි පිරිසිඳීම වෙනම නොකියා ‘ගාමූපචාරයනම් වටකළ ගමෙහි එල්පත් කණුවෙහි සිටි බලමැදුම් පුරුෂයෙකු විසින් දමාගැසූ කැටය වැටුනු තැනැ’යි පෙළෙහි වදාරණ ලද්දේය. වටනොකළ ගමෙහි ග්‍රාමපරිච්ඡෙදය කියයුතු වන්නේය. එහෙයින් ඒ ගමෙහි පරිච්ඡෙදය දක්වනු පිණිස ‘වටනොකළ ගමෙහි ඝරුපචාරයෙහි සිටි බලමැදුම් පුරුෂයෙකු විසින් දමාගැසූ කැටය වැටුනු තැනැ’යි පෙළෙහි වදාරණ ලද්දේය. වටනොකළ ගමෙහි පරිච්ඡේදය දක්වනු පිණිස ‘වටනොකළ ගමෙහි ඝරුපචාරයෙහි සිටි බලමැදුම් පුරුෂයෙකු විසින් දමාගැසූ කැටය වැටුනු තැනැ’යි පෙළෙහි වදාරණ ලද්දේය. ගමෙහි පිරිසිඳීම දැක්වූ කල්හි ගාමූපචාර ලක්‍ෂණය පෙර කියූ ලෙසින්ම දතහැකියයි නැවත ‘එහි සිටි මැදුම්බලැති පුරුෂයෙකු විසින් දමාගැසූ කැටය වැටුනු තැනැ’යි නොවදාරණ ලද්දේය. යමෙක් වනාහි ඝරූපචාරයෙහි සිටියහුගේ ලෙඩ්ඩුපාතයම ගාමූපචාරයයි කියාද, ඔහුට ඝරූපචාරය ගමවන්නේය. එහෙයින් ඝර - ඝරූපචාර - ගාමූපචාර යන මේ විභාගය මිශ්‍රකරණු ලැබේ. අමිශ්‍ර වශයෙන්ම මෙහි නොකල්හි ගම්වැදීම් ආදියෙහි විනිශ්චය දතයුතුය. එහෙයින් පෙළද අටුවාවද සසඳා කියූ ලෙසින්ම මෙහි ගාම - ගාමූපචාර දතයුතුය. යම් ගමක් පෙර මහත්ව තුබුයේ පසුකාලයෙහි කුලයන් නැසීගියකල්හි කුඩාවේද, ඒ ගම ඝරූපචාරයෙහි සිට දමාගැසූ කැටය වැටුනු තැන සිටම පිරිසිඳිය යුතුය. වටකළ නොකළ මේ ගමෙහි පළමු පිරිසිඳීම පමණනොවේමය.