පාණකථා
මෙයින් මත්තෙහි එකාන්තයෙන් අවහාරයට පොහෝනා ප්රාණියෙකු දක්වන්නේ ‘මනුස්සපාණො’ යනු වදාළ සේක. දාසකමින් නිදහස්වූ ඔහුද සොරසිතින් ගෙනයන්නහුට අවහාරයක් නැත්තේය. යමෙක්වනාහි නිදහස්වූයේද, මව විසින් හෝ පියා විසින් හෝ ණය ගන්නා කාලයෙහි යම්තාක් කලකින් ණය ආපසු දෙන්නෙම්ද, ඒතාක්කල් මෙතෙමේ තොප සතු වේවායි ණය දෙන්නවුන්ට පාවාදෙන ලද්දේවේද, තමන් විසින් හෝ තමන්ගේ මත්තෙහි කොට පණසක් හෝ සැටක් ගන්නේද ඔහුද සොරසිතින් ගෙනයන්නහුට අවහාරයක් නැත්තේය. පාවාදී ගත් ධනය ගියතන්හිම වැඩේ. ගෙයි දාසියගේ කුස දාසයා හට දාව උපන්නහු, ධනයෙන් විකිණී ගන්නා ලද්දහු, පරවිෂය විලොපනයකොට ගෙනවුත් දාසභාවයට පමුණුවා ගන්නා ලද්දාහු යන ප්රභෙද ඇති දාසයාම සොරසිතින් ගෙනයන්නහුටම අවහාරය වේ. ඒ සඳහාම ‘පාණොනාම මනුස්සපාණො වුච්චති’ යනු වදාරණ ලදී. මෙහිද ගෙයි සිටි දාසියගේ කුසෙහි දාසයාහට දාව උපන්නේ අන්තොජාතක නම්වේ. ධනයෙන් මිලදී ගන්නා ලද්දේ ධනක්කීත නම්වේ. පරදෙශය විලොපනයකොට ගෙනවුත් දාසභාවයට පමුණුවන ලද්දේ කරමරාතීතයි දතයුතුය. මෙබඳු ප්රාණියෙකු ගෙනයන්නෙමියි පහසාද දුක්කටය වේ. අත් හෝ පා හෝ ගෙන ඔසවමින් සොලොවාද ථුල්ලච්චය වේ. ඔසවා පලායනු කැමැතිව කෙසගක් පමණකුදු සිටිතැනින් අන්තැනකට පමුණුවාද පාරාජිකය වේ. කෙසේ හෝ අත් හෝ ගෙන අදීද, පදවාරයෙන් කටයුත්තේය.
පයින් ගෙනයන්නෙමියි තර්ජනය කරන්නේ හෝ පහරදෙන්නේ හෝ ‘මෙතැනින් යව’යි කියාද, ඔහු විසින් කියූ දිසාභාගට යන්නහුගේ දෙවන පියවර නිමිතිකොට පාරාජිකය වේ. යම් මහණ කෙනෙක් ඔහු හා සමාන අදහස් ඇත්තාහු වෙත්ද, සියලුදෙනාහට එකෙණෙහි පාරාජිකය වේ. මහණෙක් දාසයෙකු දැක සුවදුක් විචාරා හෝ නොවිචාරා යව පලාගොස් සුවසේ ජීවත්වෙව’යි හිමියන්ගේ සමීපයෙන් පහකරනු කැමතිව සොරසිතින් කියාද, ඉදින් ඔහු පලායද, දෙවන පියවර නිමිතිකොට පාරාජිකය වේ. තමන්ගේ සමීපයට ආවාවූ ඔහුට අනිකෙක් ‘පලායව’යි කියාද, ඉදින් මහණුන් සියයක් පිළිවෙළින් තමතමන්ගේ සමීපයට ආවහුට කියාද, සියල්ලන්ට පාරාජිකය වේ. යමෙක්වනාහි වේගයෙන් පලායන්නහුටම ‘හිමියෝ තා නොඅල්ලා ගනිත්ද, එයට පෙර තෝ පලායව’යි කියාද පාරාජිකයෙන් ඇවැත් නොවේ. ඉදින්වනාහි හිමින් යන්නහුට කියාද, ඔහුද ඔහුගේ වචනයෙන් වහායේද පාරාජිකය වේ. පලාගොස් අන්ගමකට හෝ දෙශයකට ගියහු දැක එතැනිනුදු පලවා යවන්නහුට පාරාජිකයම වේ.
අදින්නාදානය නම් පරියාය වචනය කරනකොට මිදේ. යමෙක්වනාහි ‘තෝ මෙහි කුමක් කරන්නෙහිද? පලායෑම තට නොවටීදැ’යි හෝ කිම, කොතැනක හෝ ගොස් සුවසේ ජීවත්වීම නොවටීදැයි හෝ දැසිදස්සෝ පලාගොස් අසුවල් පෙදෙසට පැමිණ සුවසේ ජීවත්වෙතියි හෝ මෙසේකියාද, හෙතෙමේද ඔහුගේ වචනය අසා පලායේද, අවහාරයක් නැත්තේය. යමෙක් ‘අපි අසුවල් පෙදෙසට යමු, එහි ගියාහු සුවසේ ජීවත්වෙත්, අප සමග යන්නවුන්ටද අතර මගදී මාර්ගොපකරණාදියෙන් පීඩාවක් නැත්තේය’යි කියා සුවසේ තමන් සමග එන්නහු ගෙනයේද, මග යෑම් වසයෙන්මුත් සොරසිත කරනකොට නොවේද, එහෙයින් අවහාරයක් නැත්තේමය. අතරමගද සොරු නැගීසිටි කල්හි ‘කොල! සොරු නැගීසිටියාහුය, වේගයෙන් පලායව, එව, යව’යි කියන්නහුටද සොරුන්ගෙන් වන අනතුරුවලින් මිදීම පිණිස කියූබැවින් අවහාරයක් නොකියත්.
පාණකථා නිමි.
අපදකථා
පා නැත්තවුන් අතුරෙහි - අහි නම් සස්වාමිකව අභිගුණ්ඨිකාදීන් විසින් ගන්නාලද සර්පතෙමේය. යම් සර්පයෙකු ක්රීඩා කරවන්නාහු අඩක්ද පාදයක්ද කහවණුවක්ද ලබත්ද, මුදාහරින්නාහු අමුරන් හෝ රන් හෝ ගෙනම මුදාහරිත්ද, ඔවුහු කිසියම් මහණෙකු හුන්තැනට ගොස් නයිපෙට්ටිය තබා නිදත් හෝ කොතැනක හෝ යෙද, එහිදී ඒ මහණ සොරසිතින් ඒ පෙට්ටිය පහසාද, දුක්කටය වේ. සොලවාද, ථුල්ලච්චය වේ. තුබූ තැනින් පහකෙරේද පාරාජිකය වේ. ඉදින්වනාහි පෙට්ටිය හැර සර්පයා බෙල්ලෙන් අල්ලාගනීද, දුක්කටය වේ. එයින් නගාගනීද, ථුල්ලච්චය වේ. කෙලින් නගාගන්නහුට පෙට්ටියේ යටතලින් සර්පයාගේ නගුට කෙසගක් පමණ මිදුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. පෙට්ටියෙහි මූණත මදක් ඇර පහරක් හෝ දී ‘කොල! එව’යි නාමයෙන් කැඳවා නික්මවාද, පාරාජිකය වේ. එසේම පෙට්ටිය ඇර මැඩිහඬක් හෝ මීහඬක් හෝ විලඳ විසිරීම හෝ කොට නමින් කැඳවාද, අසුරක් හෝ ගසාද, මෙසේ නික්මුනු කල්හිද පාරාජිකය වේ. පෙට්ටියෙහි මූණත නොඇරද මෙසේ කළකල්හි බඩසයින් පෙරළුණු සර්පයා හිසින් පෙට්ටියෙහි පියනට පැහැර ඉඩලබාගෙන පලායේද පාරාජිකයම වේ. ඉදින්වනාහි පෙට්ටියෙහි මූණත විවෘත කළකල්හි සර්පයා, තෙමේම පලායේද, භණ්ඩදෙය්ය වේ. නැවතද මුඛය විවෘතකොට හෝ විවෘත නොකොට හෝ හුදෙක් මැඩිහඬ මීහඬ හෝ විලඳ විසිරීම හෝ කෙරේද, නම කියා නොකැඳවාද, අසුර හෝ නොගසාද, සර්පයා බඩසයින් පෙළුනු බැවින් මැඩි ආදීන් කන්නෙමියි පිටතට නික්ම පලායේද, භණ්ඩදෙය්යම වේ. මත්ස්යයා හුදෙක් මෙහි අපදග්රහණයෙන් ආයේය. මෙහි යමක් කියයුතුනම් එය උදකට්ඨකථාවෙහි කියන ලද්දේමය.