අපදකථා
පා නැත්තවුන් අතුරෙහි - අහි නම් සස්වාමිකව අභිගුණ්ඨිකාදීන් විසින් ගන්නාලද සර්පතෙමේය. යම් සර්පයෙකු ක්රීඩා කරවන්නාහු අඩක්ද පාදයක්ද කහවණුවක්ද ලබත්ද, මුදාහරින්නාහු අමුරන් හෝ රන් හෝ ගෙනම මුදාහරිත්ද, ඔවුහු කිසියම් මහණෙකු හුන්තැනට ගොස් නයිපෙට්ටිය තබා නිදත් හෝ කොතැනක හෝ යෙද, එහිදී ඒ මහණ සොරසිතින් ඒ පෙට්ටිය පහසාද, දුක්කටය වේ. සොලවාද, ථුල්ලච්චය වේ. තුබූ තැනින් පහකෙරේද පාරාජිකය වේ. ඉදින්වනාහි පෙට්ටිය හැර සර්පයා බෙල්ලෙන් අල්ලාගනීද, දුක්කටය වේ. එයින් නගාගනීද, ථුල්ලච්චය වේ. කෙලින් නගාගන්නහුට පෙට්ටියේ යටතලින් සර්පයාගේ නගුට කෙසගක් පමණ මිදුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. පෙට්ටියෙහි මූණත මදක් ඇර පහරක් හෝ දී ‘කොල! එව’යි නාමයෙන් කැඳවා නික්මවාද, පාරාජිකය වේ. එසේම පෙට්ටිය ඇර මැඩිහඬක් හෝ මීහඬක් හෝ විලඳ විසිරීම හෝ කොට නමින් කැඳවාද, අසුරක් හෝ ගසාද, මෙසේ නික්මුනු කල්හිද පාරාජිකය වේ. පෙට්ටියෙහි මූණත නොඇරද මෙසේ කළකල්හි බඩසයින් පෙරළුණු සර්පයා හිසින් පෙට්ටියෙහි පියනට පැහැර ඉඩලබාගෙන පලායේද පාරාජිකයම වේ. ඉදින්වනාහි පෙට්ටියෙහි මූණත විවෘත කළකල්හි සර්පයා, තෙමේම පලායේද, භණ්ඩදෙය්ය වේ. නැවතද මුඛය විවෘතකොට හෝ විවෘත නොකොට හෝ හුදෙක් මැඩිහඬ මීහඬ හෝ විලඳ විසිරීම හෝ කෙරේද, නම කියා නොකැඳවාද, අසුර හෝ නොගසාද, සර්පයා බඩසයින් පෙළුනු බැවින් මැඩි ආදීන් කන්නෙමියි පිටතට නික්ම පලායේද, භණ්ඩදෙය්යම වේ. මත්ස්යයා හුදෙක් මෙහි අපදග්රහණයෙන් ආයේය. මෙහි යමක් කියයුතුනම් එය උදකට්ඨකථාවෙහි කියන ලද්දේමය.
අපදකථා නිමි.
ද්විපදකථා
දෙපා ඇත්තවුන් අතුරෙහි යම්කෙනෙකු අවහරණය කරන්නට හැක්කේද, ඔවුන් දක්වන්නෝ ‘මනුස්සා පක්ඛජාතා’ යනු වදාළ සේක. දෙවියන් අවහරණය කරන්නට නොහැකිය. මොවුනට පක්ෂයෝ හටගත්හයි පක්ඛජාත නම්වූහ. ඔවුහු ලොමපක්ෂ - චර්මපක්ෂ - අස්ථි පක්ෂයි තෙපරිදි වෙත්. ඔවුන් අතුරෙහි මොනර, කුකුළු ආදීහු ලොමපක්ෂයෝය. වවුළු ආදීහු චර්මපක්ෂයෝය. භ්රමරාදීහු අස්ථි පක්ෂයෝයයි දතයුත්තාහ. ඒ සියල්ලෝද මනුෂ්යයෝද පක්ෂජාතීහුද හුදෙක් මෙහි ද්විපදග්රහණයෙන් ආවාහුය. මෙහි යමක් කියයුත්තේනම් එය ආකාසට්ඨ කථාවෙහිද ප්රාණිකථාවෙහිද කියනලදනය ඇත්තේමය.
ද්විපදකථා නිමි.
චතුප්පදකථා
සිවුපා ඇත්තවුන් අතුරෙහි - පසුකා යන මෙයින් පෙළෙහි ආවාවූ සෙසු සියල්ලෝ සිවුපා ජාතිහයි දතයුත්තාහ. හස්ති ආදීහු ප්රකටයෝමය. එහි සොරසිතින් ඇතෙකු පහසන්නහුට දුක්කටය වේ. සොලවන්නහුට ථුල්ලච්චය වේ. මහත් ශක්ති ඇති යමෙක් බලමදය කරණකොට තරුණ වූ භිඞ්ක, භිඞ්කයි හඬනගන බැවින් එනම්ලද ඇත්පැටවෙකු නැබමුල හිසින් උඩට නගාගන්නේ පාසතර හා සොඬය බිමින් කෙසගක් පමණ නමුදු මුදාද පාරාජිකය වේ. කිසි ඇතෙක් වනාහි ඇත්හලෙහි බැඳ තබන ලද්දේවේද, කිසි ඇතෙක් නොබඳින ලදුවම සිටීද, කිසි ඇතෙක් වත්ත තුළ සිටීද, කිසි ඇතෙක් රජමිදුලෙහි සිටීද, එහි ඇත්හලෙහි බෙල්ලෙන් බැඳතැබූ ඇතුගේ බෙල්ල බැඳීමද පාසතරදැයි පස්තැනක් ලැබේ. බෙල්ලෙන්ද එක් පාදයක් යකඩ හැකිල්ලෙන්ද බඳිනලද ඇතුට සතැනක් ලැබේ. බෙල්ලෙන් හා දෙපාදයෙන් බඳිනලද ඇතුට සත්තැනක් ලැබේ. ඒ ස්ථානයන්ගේ වසයෙන් සෙලවීම් හුන්තැනින් පහකිරීම් ආදිය දතයුතුය. නොබඳිනලද ඇතුට මුළු ඇත්හලම තැන් වේ. ඒ ඇත්හලින් ඉක්මවාද පාරාජිකය වේ. වත්ත තුළ සිටි ඇතුට සියලු ඇතුල්වත්තම තැන් වේ. ඒ ඇතු වත්තදොර ඉක්මීමෙහිදී පාරාජිකය වේ. රජ මිදුලෙහි සිටියහුට සියලු නගරය ස්ථාන වේ. ඒ ඇතු නුවරදොරින් ඉක්මීමෙහිදී පාරාජිකය වේ. පිටනුවරෙහි සිටියහුට සිටිතැනම ස්ථාන වේ. ඔහු ගෙනයන්නේ පදවාරයෙන් කරවිය යුත්තේය. හොත්තහුට එක්ම ස්ථානයක් වේ. ඔහු සොරසිතින් නගාසිටුවන්නහුට නැගීසිටි ඇසිල්ලෙහි පාරාජිකය වේ. අසුකෙරෙහිද මේ විනිශ්චය වේ. ඉදින්වනාහි ඒ අසු පාසතරින් බඳින ලද්දේවේද ඔහු පිළිබඳව අටතැනක් දතයුතුය. ඔටුවා කෙරෙහිද මේ නයම වේ.
කිසි ගොනෙක් ගෙයි බැඳ තබන ලද්දේ වේ. එකෙක් නොබඳින ලදුවම සිටියි. කිසි ගොනෙක් ගාලෙහි බැඳතබන ලද්දේ වේ. කිසි ගොනෙක් නොබඳින ලදුවම සිටියි. එහි ගෙයි බැඳතැබූ ගොනු පිළිබඳව පාසතර හා බැඳීමයි ස්ථාන පසක් වේ. නොබඳිනලද ගොනුට මුළු ගෙයම ස්ථාන වේ. ගාලෙහි බැඳතබන ලද්දාහුට පස්තැනක් ලැබේ. නොබඳින ලද්දහුට මුළු ගාලම ස්ථාන වේ. ඒ ගාල්දොර ඉක්මවාද පාරාජිකය වේ. ගාල බිඳගෙන යන්නේ තමන් කැඩූදොර ඉක්මවාද පාරාජිකය වේ. දොර විවෘතකොට හෝ ගාල බිඳ හෝ පිටත සිටියේ නම කියා කැඳවා නික්මවාද, පාරාජිකය වේ. අතුකඩක් හෝ දක්වා කැඳවන්නහුටද මෙම නයවේ. දොර නොඇර ගාල නොබිඳ හුදෙක් අතුකඩක් සොලවා නොකැඳවාද, ගොනාට බඩසා ඇති බැවින් ගාලෙන් පැන නික්මේද, පාරාජිකයම වේ. ඉදින්වනාහි දොර ඇරියකල්හි, ගාල හෝ බිඳි කල්හි තෙමේම නික්මේද, භණ්ඩදෙය්ය වේ. දොර විවෘත කොට හෝ විවෘත නොකොට හෝ ගාල බිඳ හෝ නොබිඳ හෝ හුදෙක් අතුකඩක් සොලවාද, නොකැඳවාද, ගොන් තෙමේ බඩසා ඇති බැවින් පයින් හෝ උඩපැන හෝ නික්මේද, භණ්ඩදෙය්යම වේ. එක් ගොනෙක් ගමමැද බඳිනලදුව සිටියේවේද, එකෙක් හොත්තේවේද, සිටි ගොන්හට පස්තැනක් ලැබේ. හොත්තහුට දෙතැනක් ලැබේ. ඔවුන්ගේ වසයෙන් සෙලවීම් හුන්තැනින් පහකිරීම් දතයුතුය.