සුඞ්කඝාතකථා
එතැනින් අයබද්ද නසත්නුයි සුඞ්කඝාත නමි. අයබදු අයකරන තැනට මේ නමෙකි. යම්හෙයකින් එතැනින් අයබදු දීමට සුදුසු වූ ඒ භාණ්ඩය, අයබදු නොදී ගෙනයන්නාහු රජුගේ අයබද්ද නසත්ද, වනසත්ද එහෙයින් සුඞ්කඝාතයි කියන ලද්දේය. එහි ‘පවිසිත්වා’ යනු එහි පර්වතඛණ්ඩාදීන් අතුරෙහි රජු විසින් පරිසිඳීමකොට තබනලද අයබදු ගන්නාතැනට පිවිස. ‘රාජග්ඝං භණ්ඩං’ රජුට සුදුසුවූ භාණ්ඩයක්. යම් භාණ්ඩයකින් රජුට පස්මස්සක් හෝ පස්මස්සට වැඩිතරම්වූ හෝ අගනා අයබද්ද දියයුතුවේද, ඒ භාණ්ඩය යන අර්ත්ථයි. ‘රාජකං’යිද පාඨයක් වේ. එය මේ අර්ත්ථයම වේ. ‘ථෙය්යචිත්තො’ මේ භාණ්ඩයෙන් රජුට අයබදු නොදෙන්නෙමි’යි සොරසිත් උපදවා ඒ භාණ්ඩය පහසාද, දුක්කටය වේ. තැබූ තැනින් ගෙන ථවිකයක හෝ බහාද, වැසීතිබූ තැනකදී හෝ කලවය බඳීද ථුල්ලච්චය වේ. අයබදු ගන්නා තැනින් පිරිසිඳි බැවින් ඨානාචාවනයෙක් නොවේ. සුඞ්කස්ථානය පිරිසිඳි තැනින් දෙවනපය ඉක්මවාද පාරාජිකය වේ.
‘ඛහි සුඞ්කඝාතං පාතෙති’ රාජපුරුෂයන්ගේ අන්යවිහිතභාවය දැක ඇතුළත සිටියේම පිටතට වැටෙනු පිණිස ගෙනෙන ලද යමක් බහාද, එකාන්තයෙන් පිටතට වැටෙන එය අතින්මිදුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. ඉදින් ඒ භාණ්ඩය රුකක හෝ කණුවක හෝ වැදුනේ බලවත් වාතවේගයෙන් නගන ලද්දක්ව හෝ නැවත ඇතුළටම වැටේද, රකියි. නැවත ගෙන බහාද, පෙර කියූ නයින්ම පාරාජිකය වේ. බිමවැටී පෙරළෙන්නේ නැවත ඇතුළට පිවිසේද, පාරාජිකයම වේ. කුරුන්දි සඞ්ක්ෂෙපාර්ත්ථකථාවන්හි වනාහි පිටත වැටුනක් සිට සිට පෙරළෙමින් පිවිසේද පාරාජිකය වේ. ඉදින් රැඳී නොසිටින්නේම පෙරළී පිවිසේද, රකීයි කියන ලදී.
ඇතුළෙහි සිට අතින් හෝ පයින් හෝ යටින් හෝ පෙරළාද, අනිකෙකුලවා හෝ පෙරළවාද, ඉදින්නොසිට පෙරළෙමින් ගියේද, පාරාජිකය වේ. ඇතුළත සිට පිටතට යන්නේ රකියි. පෙරළීයන්නේයයි හෝ අනිකෙක් එය පෙරළන්නේයයි හෝ ඇතුළත තැබූ භාණ්ඩයක් පසුව තමන් විසින් හෝ පෙරළනු ලබන්නේ අනිකෙකු විසින් හෝ පෙරළන ලද්දේ පිටතටද යේද, රකීමය. පිරිසිදු සිතින් තැබූ භාණ්ඩය එසේ පෙරළී යනකල්හි කියයුත්තෙක්ම නැත්තේය. ගොටුදෙකක් ඒකාබද්ධකොට අයබදුගන්නා ස්ථාන සීමාව තුළ තබාද කොයිලෙසකින් නමුත් එහි පිටත ගොටුවෙහි අයබද්ද පාදයක් අගීද, ඒ සමග ඒකාබද්ධබැවින් ඇතුළතතුබූ ගොටුව රකියි. ඉදින්වනාහි පෙරළා ඇතුළතතුබූ ගොටුව පිටත තබාද, පාරාජිකය වේ. කදෙහිද කදකෙළවර රැහණින් බැඳ ඒකාබද්ධකොට තැබූ කල්හි මේනයම වේ. ඉදින්වනාහි නොබැඳ කදකෙළවර තැබූ මාත්රයෙක්මවේද, පාරාජිකය වේ.
සොරහුගේ ප්රයෝගයක් නැතිව තමන් යන්නාවූ යානාවක හෝ එසේ යන අසුන්ගේ පිට ආදියෙහි හෝ පිටතට ගෙනයන්නේනුයි තබාද, ගෙනගියකල්හිද අවහාරයක් නැත්තේය. භණ්ඩදෙය්යද නොවේ. කුමක් හෙයින්දයත්: මෙතන්හි පිවිසියහුගේ අයබද්ද ගනිත්වායි කියූ බැවිනි. මෙද අයබදු ගන්නා ස්ථානයෙන් පිටත තබන ලද්දේද ඔහු විසින් ගෙනයන ලද්දේ නොවේද, එහෙයින් භණ්ඩදෙය්ය නොමවේ. පාරාජිකය නොවේ.
නැවතී සිටි යානාවන්හි තැබූ කල්හි ඔහුගේ ප්රයෝගයක් නැතිවගිය කල්හි සොරසිත ඇතිකල්හිදු අවහාරයක් නැත්තේමය. ඉදින්වනාහි යානාදියෙහි භාණ්ඩ තබා පදවන්නේ අයබදු ගන්නා තැන ඉක්මවාද, හස්තිශික්ෂාදියෙහි හෝ කළපුරුද්ද ඇති බැවින් ඉදිරියෙහි සිට ‘බොල එව’යි කැඳවාද, සීමාව ඉක්මීමෙහිදී පාරාජිකය වේ. එළකලොම් ශික්ෂාපදයෙහි යටකියූ යනාදිය කරණකොට කියූලෙසින් යන මෙතැන්හි අනිකෙකුලවා ගෙන යවාද ඇවැත් නොවේ. මේ අදත්තාදාන ශික්ෂාපදයෙහි පාරාජිකය වේ. ඒ එළකලොම ශික්ෂාපදයෙහි නොදන්නා වූ අනිකෙක්හුගේ යානයක හෝ භාණ්ඩයක හෝ බහා තුන්යොදුනක් ඉක්මවාද, යමක් හේතුකොට එළුලොම් නිසගීහු වෙත්නුයි පාචිත්තිය වේ. මේ ශික්ෂාපදයෙහි ඇවැත් නොවේ.