හරණකකථා
හරණකයෙහි ‘අඤ්ඤස්ස හරණකං භණ්ඩං ථෙය්යචිත්තො ආමසති’ ශීර්ෂභාරාදියෙන් භාණ්ඩයක් ගෙන යන අනිකෙකු දැක ‘මේ භාණ්ඩය ගන්නෙමි’යි වේගයෙන් ගොස් පහසාද මෙපමණකින් මොහුට දුක්කටය වේ. ‘එන්දාපෙති’ ඉදිරියට පස්සට ඇදීම කෙරේද, හිමියා අත්නොහරීද, එයින් මේ මහණහුට ථුල්ලච්චය වේ. ‘ඨානා චාවෙති’ ඇද හිමියාගේ අතින් මුදා ගනීද, එයින් මේ මහණහුට පාරාජිකය වේ. ඉදින්වනාහි භාණ්ඩ ස්වාමිතෙමේ නැගිට ඔහුට තළා නැවත ඒ භාණ්ඩය මුදවාගන්නේනම්, මහණතෙමේ පළමු ගැණීමෙන්ම පාරාජික වේ. හිසින් හෝ කණින් හෝ බෙල්ලෙන් හෝ අතින් හෝ ආභරණයක් සිඳ හෝ මුදා හෝ ගන්නහුට ශීර්ෂාදියෙන් මිදුකල්හි පාරාජිකය වේ. අතෙහිවූ නොඇදකොට මටකළ වලල්ලක් හෝ ඇදකොට බුබුලු ආදිය නගා කළ වලල්ලක් හෝ අතින් බැහැරට නොගෙන වැලමිට පටන් බාහුඅග ගටමින්ම ඈතමෑත හෝ හසුරුවාද, අහස්ගතවූවක් හෝ කෙරේද, ඒතාක් රකියි. රුක්මුල්හිද සිවුරුහුණෙහි දැවු වලල්ල මෙන් පාරාජිකය නොඋපදවයි. කුමක් හෙයින්දයත්: සවිඥාණක බැවිනි. සවිඥාණක කොට්ඨාශගත වූවෙක් යම්තාක් එයින් බැහැරට නොගන්නා ලදද, ඒතාක් එහිම වේ. ඇඟිලිමුදු නුරුවලා උකුළු පලඳනාවන්හි මේනයම වේ.
යම්මහණෙක් තෙමේ අනිකෙකු විසින් අඳින ලද සළුවක් අසිඳගනීද, අන්යයාද ලජ්ජාසහිත බැවින් වහා නොමුදාද, සොරතෙමේ එක් කෙළවරකින් අදීද, අන්යයා එක් කෙළවරකින් අදීද, එතෙක් රකියි. එය අන්යයාගේ අතින් මිදුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. තවද එසේ අදින වස්ත්රය සිඳීගොස් එහි එක්කොටසක් අතට ආයේද, ඒ කොටස පාදයක් අගීද, පාරාජිකයම වේ. ‘සහභණ්ඩහාරකං’ භාණ්ඩය ගෙනයන්නහු සමග භාණ්ඩය ගෙනයන්නෙමියි සිතා ‘මෙතැනින් යව’යි භාණ්ඩය ගෙනයන්නහුට තර්ජනය කෙරේද, බියවූ හෙතෙමේ සොරමහණහු විසින් අදහස්කළ දෙසට මූණදී එක් පයක් ඉදිරියට තබාද, සොරමහණහුට ථුල්ලච්චය වේ. දෙවන පය තැබූ කල්හි පාරජිකය වේ. ‘පාතාපෙති’ තවද සොර මහණතෙමේ භාණ්ඩය ගෙන යන්නහුගේ අතෙහි ආයුධයක් දැක සැක ඇතිව හෙළවාගනු කැමැත්තේ එකත්පසෙක නැවත සිට තැතිගන්වා හෙළවාද, අන්යයාගේ අතින් මිදුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ.
‘පාතාපෙති ආපත්ති දුක්කටස්ස’ යනාදිය වනාහි ‘මේ දැය ගනිමි’යි පරිකල්ප වශයෙන් වදාරණ ලද්දේය. යමෙක් භාණ්ඩය හෙළවා ‘යමක් මට රුචිවේනම්, එය ගන්නෙමි’යි කල්පනාකොට හෙළවාද, ඔහුට එය එළවාලීමෙහිද, පැහැසීමෙහිද දුක්කටය වේ. සොලොවාලීම නිමිතිකොට ථුල්ලච්චය වේ. පාදයක් අගනා භාණ්ඩයක් තුබූතැනින් පහකිරීම නිමිතිකොට පාරාජිකය වේ. එය පසුව හෙලන ලදුව මුදන්නහුට ශ්රමණභාවයක් නැත්තේමය. යමෙක් භාණ්ඩය ගෙන ඉක්මයන්නහු දැක ලුහුබඳින්නේ ‘සිටුව, සිටුව, භාණ්ඩය හෙළව’යි කියා හෙළවාද, ඔහුටද ඔහු විසින් භාණ්ඩය අතින් මිදූ ඇසිල්ලෙහි පාරාජිකය වේ.
යමෙක්වනාහි ‘සිටුව, සිටුව’යි කියාද, හෙළව’යි නොකියාද, අන්යයාද ඔහු දෙස බලා ‘ඉදින් මෙතෙමේ මා කරා පැමිණෙන්නේ නම්, මා නසන්නේය’යි ආලය සහිතවම ඒ භාණ්ඩය ගහණස්ථානයක බහා නැවත පෙරළා අවුත් ගන්නෙමියි බැහැරයේද, එහි හෙළීම් හේතුවෙන් පාරාජිකයන් නැත්තේය. අවුත් සොරසිතින් ගන්නහුට ඉදිරීම නිමිතිකොට පාරාජිකය වේ. නැවත ඔහුට ‘භාණ්ඩය හෙළවන්නාවූම මා විසින්ම භාණ්ඩය මා සතුකරන ලදැ’යි මෙබඳු අදහසක් වේ. ඉන්පසු එය තමාගේ යයි හැඟීමෙන් ගනීද, ගැනීමෙහිදී රකියි. භණ්ඩදෙය්ය වේ. ‘දෙව’යි කියූකල්හි නොදෙන්නහුට හිමියන්ගේ ධුරනිඃක්ෂෙපයෙන් පාරාජිකය වේ. හෙතෙමේ මේ භාණ්ඩය හැරදමා ගියේය. දැන් මෙය අන්යයන් විසින් අයත්කරන ලද්දක් නොවේයයි පාංශුකූල සංඥාවෙන් ගන්නහුටද මෙම නයවේ. තවද හිමියා ‘සිටුව, සිටුව’යි කියූ ඇසිල්ලකින්ම බලනුයේ, ඔහු දැක ‘දැන් මේ භාණ්ඩය මාගේ නොවේය’යි ධුරනිඃක්ෂෙපකොට ආලය රහිතව දමා පලායේද, එය සොරසිතින් ගන්නහුට නගාගැණීම නිමිතිකොට දුක්කටය වේ. ගෙන්වන කල්හි දියයුතුය. නොදෙන්නහුට පාරාජිකය වේ. කුමක්හෙයින්ද යත්: ඔහුගේ ප්රයොගයෙන් හැරදැමූ බැවිනැයි මහාඅර්ත්ථකථාවෙහි කියන ලද්දේය. අන්යවූ මහාපච්චරී ආදි අර්ත්ථකථාවන්හි මෙහිලා විමසීමක් නැත්තේය. පෙර කියූනයින්ම තමා සතුයයි හැඟීමෙන් හෝ පාංශුකූල සංඥාවෙන් හෝ ගන්නා කල්හිද මේ විනිශ්චයම වේ.