පාළිමුත්තකවිනිච්ඡයො
එහි මේ පෙළින් මිදුනු කැප අකැප පිරිකර පිළිබඳ විනිශ්චයයි: කිසිකෙනෙක් තල්පතින් කළ ඡත්‍රයක් ඇතුළත හෝ පිටත හෝ පස්පැහැති හුයින් මසා ඔපමට්ටම් කෙරෙත්ද, ඒ ඡත්‍රය දැරීම සුදුසු නොවේ. නිල් හෝ කසාවන් හෝ යම්කිසි එක් පැහැති හුයකින් ඇතුළත හෝ පිටත මසන්නට කුඩමිට මතුවෙහි ගන්වන නනපෙළ වෙළන්නට වටියි. ඒ එක් පැහැතිහුයින් නනපෙළ වෙළීමද ස්ථිරකරණු පිණිසය. පැහැය ඔප වැඩිකිරීම පිණිස නොවේ. ඡත්‍රයෙහි කොළපත්හි මෝරුදත් සටහනක් හෝ අඩසඳ සටහනක් හෝ කැපීම නොවටියි. කුඩමිටෙහි ගෙවල කණුවල මෙන් ඝටකයක් හෝ ව්‍යාලරූප හෝ කිරීම නොවටියි. ඉදින් ඡත්‍රදණ්ඩෙහි සියලු තන්හි ලියන කටුමුවෙන් ඉරි ගසන ලද්දී වේද, එද සුදුසු නොවේ. ඝටකයත් ව්‍යලරූපයත් බිඳහැර දැරියයුතුය. ඉරිද ගටා හෝ පහකට යුතුය. හුයකින් හෝ ඡත්‍රදණ්ඩ වෙළිය යුතුය. දඬුමුල නයිහතු සටහන වරද නැත. හුළන් පහරින් නොසැලෙනු පිණිස කුඩමඩුල්ල හුයින් ගන්වා කුඩමිටෙහි බඳිත්ද, ඒ බඳින තැන වලල්ලක් මෙන් නගා ඉරක් ගසත්ද එය වටියි.
සිවුරු සැරසීම පිණිස නන්පැහැති හුයින් සියපාසපුන් සමානකොට මහන්නාහු අමුතුපත් තබත්ද, අනිකුදු යම්කිසි හිදිකම් වියරු කරත්ද, පත් දෙක එක්කොට මහණ තැන හෝ හුවා කෙළවර හෝ හමුකරල් අයුරින් මැසීම හෝ බලල් හැකිලි අයුරින් මැසීම හෝ කරත්ද, මේ ඈ සියල්ල නොවටියි. පියවිහිදිකම්ම වටියි. ගණ්ඨිකපට්ටය හා පාසකපට්ටය අටකොන්ද සොළොකොන්ද තබා කරත්ද, සෑසටහන් ගදාමුගුරු සටහන් දක්වත්ද, කකුළුඇස් නගාතබත්ද, මේ හැම නොවටියි. සිවුකොන් තබා මැසීමම වටියි. ගණ්ඨිපාස වැටියෙහි කෙළවරින් පිටතට නික්මුනු හූ හා පිළකා ආකාරයෙන් සිටි හූකොන් සිවුරු රඳන් ගැන්වූකල්හි නොදතහැකි ස්වරූප ඇත්තේනම් වටියි. කැඳ පිටිතලප ආදියෙහි සිවුරු බැහීම නොකටයුතුය. සිවුරුකම් කරන කාලයෙහි වනාහි අත්මල හිදිකටුමල ආදිය සෝදාහැරීම හා කිලිටි කාලයෙහි කිලිටි සෝදාහැරීමත් කටයුතුය. සුවඳක් හෝ ලතුවක් හෝ තෙලක් රඳන් දියෙහි බැහීම නොවටියි.
සිවුර රඳන් ගන්වා සකකින් හෝ මැසිරිගල් ඈ ගලකින් යන යම්කිසිවකින් නොගැටිය යුතුය. බිම දෙදනින් හිඳ සිවුර අතින් ගෙන රන්දෙණෙහිද නොගැටිය යුතුය. දෙණෙහි හෝ ලෑලිකඩෙක තබා කොන් අල්ලාගෙන අතින් පැහැරීම වටියි. ඒ පැහැරීමද මිටින් නොකටයුතුය. පැරණි තෙරහු වනාහි පඬුදෙණෙහිද නොතැබූහ. එකෙක් අල්ලාගෙන සිටියි. අනෙකෙක් අතෙහි තබා අතින් පහරයි. සිවුරෙහි කොන්වල වූ බැඳීම නොසුදුසුය. රඳන් ගැන්වූ කල්හි සිඳහැරිය යුතුය. ‘මහණෙනි! කොන්හි බඳින හයක් අනුදනිමි’යි මෙසේ යමක් අනුදන්නා ලද්දේද, එහෙයින් ඒ කොන්වල බැඳි නූල් රඳන් ගන්වන කාලයෙහි රඳන් ගන්නා සිවුර එල්ලීම පිණිස නුවාවෙහි මලපුඬුවක්කොට බැඳිය යුතුය. ගණ්ඨියෙහිද ගණ්ඨිය ශෝභාවත් කරනු පිණිස ඉරිගැසීම හෝ බින්දු බින්දුකොට පිළිකා තැබීම හෝ නොකටයුතුය. ඒ සියල්ල සිඳහැර පරිභොග කටයුතුය.
පාත්‍රයෙහි හෝ තලියෙහි ඇතුළත හෝ පිටත හෝ නියන්කටු අගින් ඉරිගසත් නොවටියි. පාත්‍රය ලියනකඳට නගා පිරිමැද මිණි පැහැතියක් කරන්නෙමුයි පිළිස්සීම කරත්ද නොවටියි. ශ්‍රමණසාරුප්ප්‍ය බැවින් තෙල්පැහැති පත්‍රය සුදුසු වේ. අනිකෙකු විසින් කරනලද මිණිපැහැති පත්‍රයක් ලැබුනුකල්හි එය පරිභොග කිරීම වරද නැතැයි සමහරු කියත්. පාත්‍රය තබන දරණුවෙහි භිත්තිකර්‍ම කිරීම නොසුදුසුය. මෝරු දත් සටහන තැබීම වනාහි වරද නැත්තේය.
ඩබරා මුවවිටෙහි උඩ හෝ යට හෝ ඩබරා කුසතුළ හෝ ඉරිගැසීම නොහොබනේය. ඩබරාවෙහි සත්මුවවිටෙහි ඉරිගැසීම වරදක් නොවේ.
සිවුරපටිය හොබවනු පිණිස ඒ ඒ තැන හුය දිගුණකොට කොටත්. කකුළු ඇස් නගත්. නොවටියි, දෙකෙළවරෙහි දාවලුමුව තරකරණු පිණිස දිගුණකොට තැළීම වටියි. දාවලුමුවෙහි ඝටකයක් හෝ මෝරුමුව සටහනක් හෝ දියබරිමුව සටහනක් හෝ යන යම්කිසි වියරු රුවක් කිරීම සුදුසු නොවේ. ඒ ඒ තන්හි ඇතුන්ගේ ඇස් සටහන් දක්වා මල්කම් ආදිය හෝ කොට තැලූ සිවුරු පටියද පරිභොගයට නොවටියි. අන් වියරු රූ නොකොට සෘජුවම මස්කටු සටහනක් හෝ ඉදිපත් සටහනක් හෝ මටපිඬු සටහනක් හෝ කොට තළන ලද්දේනම් වරද නැත්තේය. කාබානට එක් දාවල්ලක් වටියි. දාවලු දෙකක් තුනක් සතරක් කළ කාබානද පරිභොගයට වටියි. ඉන් වැඩියක් කිරීම සුදුසු නොවේ. රැහැන් කාබාන එක් ගුණකොටම බැඳිය යුතුය. හවඩි සටහන් ඇති කාබාන එක් ගුණකොටද බැඳීම නොහොබනේය. දාවල්ල වනාහි හවඩි සටහන් ඇත්තේද වරද නැත. බොහෝ රැහන් එකතු කොට එකෙකින් අතර නොතබා වෙළා කරන ලද්ද බහුරජ්ජුකයි නොකිය යුතුය. ඒ කාබාන පරිභොගයට ගැනීම වරදක් නොවේ.