දන්තපොනකථා
දන්තපොනය ආරාමට්ඨක විනිශ්චයයෙන් විනිශ්චය කටයුතුය. මේ වනාහි විශෙෂය වේ: යමෙක් සඞ්ඝයාගේ වැටුපෙන් තරවූවෙක්ව දවස්පතා හෝ පක්ෂමාස වාරයෙන් හෝ දැහැටිගෙන ඒද, හෙතෙමේ එය ගෙන අවුත් සිඳීද භික්ෂු සඞ්ඝයාහට යම්තාක් නොපිළිගන්වාද, ඒතාක් එය ඔහුගේම වේ. එහෙයින් එය සොරසිතින් ගන්නේ බඩු ඇගීමෙන් කරවිය යුත්තේය. එහි හටගත්තේ ගරුභාණ්ඩයක් වේ. භික්ෂු සඞ්ඝයා විසින් රක්ෂිත ගොපිත වූ ඒ භාණ්ඩය ගන්නේ බඩු ඇගීමෙන් කරවිය යුත්තේය. ගණ පුද්ගල ගෘහස්ථ මනුෂ්යයන් සතුයෙහිද සිඳින ලද්දෙහි හා නොසිඳින ලද්දෙහිද, ඔවුන්ගේ අරම්උයන්හි හටගත්තෙහිද මෙම නයවේ. සාමණේරයෝ භික්ෂු සඞ්ඝයාහට වාරයෙන් වාරය දැහැටිගෙන එන්නාහු ආචාර්ය්ය උපාද්ධ්යායන් හටත් ගෙනඑත්. ඒ දැහැටි සිඳ යම්තාක් සඞ්ඝයාහට නොපිළිගන්වත්ද, ඒතාක් ඒ සියල්ල ඔවුන්ගේම වේ. එහෙයින් එද සොරසිතින් ගන්නේ බඩු ඇගීමෙන් කරවිය යුත්තේය. යම්කලෙක වනාහි ඔවුහු දැහැටි සිඳ සඞ්ඝයාහට පිළිගන්වා ‘භික්ෂුසඞ්ඝයා පහසු පරිද්දකින් පරිභොග කෙරේවා’යි දන්තකට්ඨමාලකයෙහි තබත්ද, එතැන්පටන් ගන්නහුට අවහාරයක් නැත්තේය. දැහැටිවත දතයුතුය. යමෙක් දවස්පතා සඟමැදට බසීද, ඔහු විසින් දවසක් දවසක් පාසා දැහැටි එකක්ම ගතයුතුය. යමෙක්වනාහි සඟමැදට දවස්පතා නොබසීද, ප්රධන්ගෙයි වැස බණ ඇසීමෙහිදී හෝ පොහෝ ගෙයිදී හෝ දක්නා ලැබේද, ඔහු විසින් පමණ සලකා දැහැටි සතරක් පහක් තමන් වසනතැන තබාගෙන පරිභොග කළයුතුය. ඒ දැහැටි අවසන්වූ කල්හි නැවතද ඉදින් දන්තකට්ඨමාලකයෙහි දැහැටි බොහෝවේනම්, නැවතද ගෙනගොස් පරිභොග කළයුතුය. ඉදින්වනාහි පමණ නොසලකා ගෙන ඒනම්, ඒ දැහැටි අවසන් නොවූ කල්හිම දන්තකට්ඨමාලකයෙහි දැහැටි අවසන්වේද, ඉන්පසු ඇතැම් තෙරහු ‘යම් කෙනෙකුන් විසින් දැහැටි ගන්නා ලද්දේද, ඔවුහු නැවත ගෙනඑත්වායි කිසිකෙනෙක් පරිභොග කරත්වා, නැවත හෙරණහු ගෙනඑන්නාහ’යි කියන්නාහුද, එහෙයින් විවාදපරිහාරය පිණිස පමණ සලකා ගැනීමෙහි දොසයක් නැත්තේය. මග යන්නහු විසින්ද දැහැටි එකක් හෝ දෙකක් හෝ ථවිකයෙහි බහාගෙන යායුතුය.
දන්තකට්ඨකථා නිමි.
වනප්පතිකථා
වනස්පති යනු වනයෙහි ස්වාමිතෙමේය. වනදෙටු රුකට මේ නමෙකි. මෙහිවනාහි මිනිසුන් විසින් අයත් කරගත් අඹ, දෙල්, කොස් ආදී වූ සියලුම රුක් අදහස් කරන ලද්දේය. යම් රුක්මුලෙක මිරිස්වැල් ආදිය රොපණය කෙරෙත්ද ඒ රුක සිඳිනු ලබන්නේ එක්ම පතුරකින් හෝ වැහරියකින් හෝ කැබල්ලකින් හෝ ඵලයෙන් හෝ සම්බන්ධය ඇත්තේම බිම වැටේද, ඒතාක් රකියි.
යම්රුකක් සිඳින ලද්දේ නමුත් වැල්වලින් හෝ අවට සිටි ගස් අතුවලින් හෝ දරාසිටි බැවින් කෙළින්ම සිටීද, වැටෙන්නේ හෝ බිම නොවැටේද, එහි පරිහාරයක් නැත්තේය. අවහාරයම වේ. කියතින් සිඳිනලද යම්රුකක් නොසිඳින ලද්දක් මෙන්වී එසේම සිටීද, එහිද මේ නයමවේ.
යමෙක් වනාහි රුක දුර්වලකොට පසුව සොලොවා බිම හෙළාද, අනිකකුලවා හෝ සොලොවාලන්නේද, මේ රුක සමීපයෙහි අන් රුකක් සිඳදමා එය යටපත් කෙරේද, අනිකෙකුලවා හෝ යටපත්කරවාද, වඳුරන් හෝ හෙළා එහි නගාද, අනිකෙකුලවා හෝ නංවාද වවුලන් හෝ එහි නගාද, අනිකෙකුලවා හෝ නංවාද, ඒ වවුලෝ ඒ රුක බිමහෙලත්ද, ඔහුටම අවහාරය වේ.
ඉදින්වනාහි ඔහු විසින් රුක දුර්වල කළකල්හි නොඅණවන ලද්දාවූම අනිකෙක් එය සොලොව හෙළාද, රුකකින් හෝ යටපත් කෙරේද, තමන්ගේ ධර්මතාවෙන් වඳුරෝ හෝ වවුලෝ හෝ එයට නගිත්ද, නොඅණවනලද අනිකෙක් හෝ එහි නගීද, තෙමේ හෝ මෙතෙමේ හුළං එනමග ශුද්ධ කෙරේද, සැඩ සුළඟක් නැග අවුත් රුක බිමහෙළාද, සියලු තන්හි භණ්ඩදෙය්ය වේ. මෙහි වාමුව පිරිසිදු කිරීම වනාහි හුළං නොහැමූකල්හි වියලි දියඇල ඍජුකිරීම් ආදිය හා සමවේ. අන්පරිද්දක් හා සමනොවේ. රුක විද ආයුධයකින් හෝ කොටාද, ගිනි හෝ තබාද මඩු කටු හෝ විස හෝ කොටාද, යන යමකින් රුක මැරේද, සියලු තන්හි භණ්ඩදෙය්යම වේ.
වනස්පතිකථා නිමි.
හරණකකථා
හරණකයෙහි ‘අඤ්ඤස්ස හරණකං භණ්ඩං ථෙය්යචිත්තො ආමසති’ ශීර්ෂභාරාදියෙන් භාණ්ඩයක් ගෙන යන අනිකෙකු දැක ‘මේ භාණ්ඩය ගන්නෙමි’යි වේගයෙන් ගොස් පහසාද මෙපමණකින් මොහුට දුක්කටය වේ. ‘එන්දාපෙති’ ඉදිරියට පස්සට ඇදීම කෙරේද, හිමියා අත්නොහරීද, එයින් මේ මහණහුට ථුල්ලච්චය වේ. ‘ඨානා චාවෙති’ ඇද හිමියාගේ අතින් මුදා ගනීද, එයින් මේ මහණහුට පාරාජිකය වේ. ඉදින්වනාහි භාණ්ඩ ස්වාමිතෙමේ නැගිට ඔහුට තළා නැවත ඒ භාණ්ඩය මුදවාගන්නේනම්, මහණතෙමේ පළමු ගැණීමෙන්ම පාරාජික වේ. හිසින් හෝ කණින් හෝ බෙල්ලෙන් හෝ අතින් හෝ ආභරණයක් සිඳ හෝ මුදා හෝ ගන්නහුට ශීර්ෂාදියෙන් මිදුකල්හි පාරාජිකය වේ. අතෙහිවූ නොඇදකොට මටකළ වලල්ලක් හෝ ඇදකොට බුබුලු ආදිය නගා කළ වලල්ලක් හෝ අතින් බැහැරට නොගෙන වැලමිට පටන් බාහුඅග ගටමින්ම ඈතමෑත හෝ හසුරුවාද, අහස්ගතවූවක් හෝ කෙරේද, ඒතාක් රකියි. රුක්මුල්හිද සිවුරුහුණෙහි දැවු වලල්ල මෙන් පාරාජිකය නොඋපදවයි. කුමක් හෙයින්දයත්: සවිඥාණක බැවිනි. සවිඥාණක කොට්ඨාශගත වූවෙක් යම්තාක් එයින් බැහැරට නොගන්නා ලදද, ඒතාක් එහිම වේ. ඇඟිලිමුදු නුරුවලා උකුළු පලඳනාවන්හි මේනයම වේ.