ධනියවත්ථුවණ්ණනා
‘තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති ගිජ්ඣකුටෙ පබ්බතෙ’ යන මෙහි ‘රාජගහෙ’ මෙනම් ඇති නුවරෙහි. ඒ නුවර වනාහි මහාමන්ධාතු ගොවින්දාදීන් විසින් අයත්කරගත් බැවින් රාජගහයී කියනු ලැබේ. මෙහි අන්යවූද ප්රකාරයක් වර්ණනා කෙරෙත්. කිම, මේ නාමය ඒ නගරයට ඔවුන් විසින් කරන ලද්දේද, ඒ මේ නගරය බුදුවරයන්ගේ කාලයෙහිද සක්විති රජුන්ගේ කාලයෙහිද නගරයක් වේ. අන්කල්හි ශුන්යවූයේ යකුන් විසින් පිරිගා කරන ලද්දේ වේ. ඒ යකුන්ට මේ නගරය වසන්ත වනයක්ව සිටියේය. මෙසේ ගොදුරුගම දක්වා ‘ගිජ්ඣකූටෙ පබ්බතෙ’යි වාසස්ථානය කීහ. එද ගිජුලිහිණියෝ හෝ මේ පර්වතයාගේ මස්තකයෙහි විසූහ. නොහොත් ඒ පර්වතයාගේ මස්තක ගිජුලිහිණින් වැනියහ. එහෙයින් ඒ පර්වතයද ගිජ්ඣකූටයි කියනු ලැබේ යයි දතයුතුය.
‘සම්බහුලා’ විනයපර්ය්යායයෙන් තිදෙන සම්බහුලායි කියනු ලැබෙත්. එතැන් පටන් සඞ්ඝතෙමේය. මෙහිවනාහි සූත්රාන්ත පර්ය්යායයෙන් තිදෙන තිදෙනම වෙත්. එතැන් පටන් සම්බහුලයහ. මෙහි වනාහි සූත්රාන්ත පර්ය්යායයෙන් සම්බහුලයි දතයුතුය. ‘සන්දිට්ඨා’ අතිශය විශ්වාස ඇත්තාහු නොවෙති. දැඩි මිතුරෝ නොවෙතියි කියනු ලබත්. ඒ ඒ තැන එක්වීමෙන් දුටුබැවින්ම ඔවුහු සන්දිට්ඨයි කියනු ලබත්. ‘සම්භත්තා’ අතිශය විශ්වාස ඇත්තාහුය. දැඩි මිතුරෝ කියනු ලබති. ඔවුහු උනුන් කෙරෙහි මැනවින් භක්තයහ. භජනය කරන්නෝය. එක්ව කරන සම්භොගපරිභොග ඇත්තාහයි සම්භක්තයහයි කියනු ලබත්. ‘ඉසිගිලිපස්සෙ’ ඉසිගිලිනම් පර්වතය. ඒ පර්වතයෙහි පසෙක්හි. පෙර පදුමවතියගේ පුත්ර වූ පන්සියයක් පමණ පසේබුදුවරයෝ කාසිකොසලාදි ජනපදයන්හි පිඬු පිණිස හැසිර පසුබත ඒ පර්වතයෙහි රැස්ව සමාපත්තියෙන් යුක්තව කල්ඉක්මවත්. මිනිස්සු එහි පිවිසෙන පසේබුදුවරයන්ම දකිත්. නික්මෙන්නවුන් නොදකිත්. එහෙයින් ‘අයං පබ්බතො ඉමෙ ඉසි ගිලති’යි කීහ. ඒ කරණකොට ඒ පර්වතයට ඉසිගිලි යන නම උපන.
ඒ පර්වතයෙහි පසෙක, කඳුපාමුල ‘තිණකුටියො කරිත්වා’ තණ සෙවෙනි ඇති දොරබා සහිතවූ කිළි කොට, නාලක ප්රතිපදාවට පිළිපන්නහු විසින්ද වස් එළඹෙන්නහු තණ පත් උළු, ගල් සුණු යන පස්වැදෑරුම් සෙවෙනි අතුරෙන් එක්තරා එකකින් සෙවෙනි කළ දොරබා සහිත වූ සෙනස්නකම වස් එළඹියයුතුය. ‘න භික්ඛවෙ අසෙනාසනිකෙන වස්සං උපගන්තබ්බං යො උපගච්ඡෙය්ය ආපත්ති දුක්කටස්ස’යි මෙය වදාරණ ලදය. එහෙයින් වැසිකාලයෙහි වස්විසීම සඳහා සෙනසුනක් ලබානම්, මේ මැනවි. නොලබානම් අත්කම් සොයාගෙන කටයුතුය. අත්කම් නොලබන්නහු විසින් තමන් හෝ කටයුතුය. සෙනසුන් නැත්තහු විසින් වස් නොඑළඹිය යුතුමය. මේ අනුධර්මතාය. එහෙයින් ඒ මහණෝ තණකිළිකොට රෑතැන් දිවාතැන් ආදිය පිරිසිඳ කතිතවත් කඳුවත් ඉටා ත්රිවිධ ශික්ෂාවන්හි හික්මෙන්නාහු වස් එළඹියාහුය.
‘ආයස්මාපි ධනියො’ හුදෙක් ඒ තෙරහුම වස් නොඑළඹියහ. මේ ශික්ෂාපදයට ආදිකර්මික වූ ආයුෂ්මත් ධනිය තෙමේ ද වස් එළඹියේය. ‘කුම්භකාරපුත්තො’ යනු කුඹල්කරුගේ පුත්රතෙමේය. ඔහුගේ නම ධනියය. පියතෙමේ කුඹල්කරුවෙකි. ‘ධනියො කුම්භකාරපුත්තො’ යනු එහෙයින් වදාරණ ලදී. ‘වස්සං උපගච්ඡි’ ඒ තෙරුන් සමග එක් තැනම තණකිළියක් කොට වස් එළමියේය. ‘වස්සං වුත්ථා’ පෙරවස් එළඹියෝ, මහාපවාරණයෙන් පැවරුවෝ පෑළවිය දින පටන් විසූ වස් ඇත්තාහයි කියනු ලැබෙත්. මෙසේ විසූ වස් ඇතියෝව. කිසි අනතුරක් නිසා මහාපවාරණයෙන් නොපැවරුවෝද විසූ වස් ඇත්තාහුම වෙත්.
‘තිණකුටියො භින්දිත්වා’ දඬුමුගුරු ආදියෙන් පහර දීමෙන් සුණුවිසුණුකොට නොවේ. වෘත්තශීර්ෂයෙන් තණ, දැව, වැල් ආදිය බහා තබා යන අර්ත්ථයි. යමෙකු විසින් විහාරයෙහි කෙළවර කිළියක් කරන ලද නම් විහාරයෙහි මහණෝ වෙත්නම් ඔහු විසින් ඒ මහණේ විචාළ යුත්තාහ. ඉදින් මේ කිළිය පිළිදැගුම්කොට එහි වසන්නට කිසිවෙක් උත්සාහ කෙරේනම් ‘ඔහුට දෙවු’යි කියා යා යුතුය. යමෙකු විසින් වනයෙහි හෝ කිළියක් කරන ලද්දේද, එය පිළිදැගුම් කරන්නකු නොලබානම්, එය කළහු විසින් අන්හටද පරිභොගය පිණිස වන්නේයයි තණ, දැව ආදිය තැන්පත්කොට තබා යායුතුය. ඒ මහණෝ වනයෙහි කිළිකොට පිළිදැගුම් කරන්නෙකු නොලබන්නාහු තණ හා දැවදඬු එක් පෙදෙසක තැත්පත්කොට තබා මොනවට ආරක්ෂාකොට තබා යන අර්ත්ථයි. යම්සේ තබන ලද්දක් වේයන් විසින් නොකනු ලැබේද, නොද තෙමෙන්නේත් වේද, එසේ තැන්පත්කොට තබා ‘මෙතැනට පැමිණ වසනු කැමති සබ්රම්සරුන්ට උපකාර පිණිස වේවා’යි ගමිකවත පුරා ජනපදචාරිකං පක්කමිංසු තමතමන්ගේ සිතට අනුකූල වූ ජනපදයට ගියහ.
‘ආයස්මා පන ධනියො කුම්භකාරපුත්තො තත්ථෙව වස්සං වසි’ යනාදිය පැහැදිලි අර්ත්ථ ඇත්තේමය. ‘යාවතතියකං’ තෙවනවර තෙක්. ‘අන්වයො’ අනු + අවයො’ යන තන්හි සන්ධි වශයෙන් උකාරලොපයයි. අඩුබවක් නැත්තේය. තමන්ගේ ශිල්පයෙහි අඩුබවක් හානියක් නැත්තේය. කුඹල්කරුවන් විසින් කටයුතුවූ යමක් යමක්වේද, ඒ හැම කටයුත්තෙහි නොඅඩුවූ පරිපූර්ණ ශිල්ප ඇත්තේය යන අර්ත්ථයි. ‘සකෙ’ තමන් සතුවූ ‘ආචරියකෙ’ ඇදුරන් අයත් කර්මාන්තයෙහි, ‘කුම්භකාරකම්මෙ’ කුඹල්කරුවන්ගේ කර්මාන්තයෙහි, කුඹල්කරුවන් විසින් කටයුතු කර්මයෙහි යන අර්ත්ථයි. මෙයින් ස්වකීය ආචාර්ය්ය කර්මාන්තය ස්වරූප වශයෙන් දක්වන ලද්දේ වේ. ‘පරියොදාතසිප්පෙ’ පිරිසිදු ශිල්ප ඇත්තේය. අඩුබවක් ඇති කල්හිදු අන්හු හා අසමාන ශිල්ප ඇත්තේ යයි දක්වන ලද්දේ වේ.