මූලපඤ්ඤත්තිවණ්ණනා
දැන් ‘මෙථුනං ධම්මං පතිසෙවෙය්‍ය’ යනාදීන්ගේ අර්‍ත්‍ථ දැක්වීම පිණිස ‘මෙථුනධම්මො නාම’ යනාදිය වදා සේක. ‘තත්‍ථ මෙථුනධම්මො නාම’ යන මෙය දැක්විය යුතුවූ මෛථුනධර්‍මය පිළිබඳ උද්දෙස පදයයි. ‘අසද්ධම්මො’ නොසන්සිඳුනු ලාමක ජනයන්ගේ ධර්‍මයය. ‘ගාමධම්මො’ ගම්වැසියන් විසින් සෙවුනාලද ධර්‍මයයි. ‘වසලධම්මො’ සැඩොලුන්ගේ ස්වභාවයයි. කෙලෙස් වස්වන බැවින් හෝ තෙමේම වසල වූ ධර්‍මනුයි වසලධම්ම නම්, ‘දුට්ඨුල්ලං’ අහිරිකාදී වූ කෙලෙසුන් විසින් දූෂිත කළ බැවින් පුළුල් වූයේද, සියුම් නොවන බැවින් දළවූයේද දුට්ඨුල්ල නම්වේ. මේ දුට්ඨුල්ලපදය පටන් තෙපදයෙහි ‘යො සො’ යන මෙය පෙරළා ‘යං තං’යිකොට ‘යං තං දුට්ඨුල්ලං, යං තං ඔදකන්තිකං, යං තං රහස්සං’යි යෙදිය යුතුය. මෙහිද යම්හෙයකින් ඒ මෛථුනධර්‍මප්‍රතිසෙවනසඞ්ඛ්‍යාත කර්‍මයට පිරිවරවූ දැකීමද, අල්ලාගැනීමද, අතගෑමද, පැහැසීමද, ගැටීමද යන මෙය දුට්ඨුල්ලවෙයිද, එහෙයින්ද ඒ කර්‍මය දුට්ඨුල්ල වේ. යම් ඒ කර්‍මයක් දුට්ඨුල්ලවේද, ඒ මෛථුන ධර්‍මයයි. මේ මෛථුන ධර්‍ම ප්‍රතිසෙවන ක්‍රියාවෙහි අවසානයෙහි පිරිසිදු කිරීම පිණිස දියගනීනුයි උදකන්තය. ඒ මේ උදකන්තයම ඔදකන්තික නම්වේ. යම් ඒ කර්‍මයක් දියගැනීම කෙළවරකොට සිටියේද එය මෛථුන ධර්‍මයයි. රහස්හි පිළිසන් අවකාශයෙහි කළයුතු බැවින් රහස්සය. යම් ඒ කර්‍මයක් රහස් තැන්හි කළයුතුද, ඒ මෛථුන ධර්‍මයයි. මෙසේ යෙදීම දතයුතුය.
ස්ත්‍රී - පුරුෂ දෙදෙනකුන් විසින් සමවැදිය යුතු බැවින් ද්වයං ද්වයසමාපත්ති නම්. යම් ඒ ද්වයංද්වයසමාපත්තියක් වන්නීද, ඒ මෛථුන ධර්‍මනමැයි මෙසේ යෙදීමයි. මෙහි වනාහි ඒ සියල්ල එක්තැන්කොට නිගමනය කරනසේක් ‘එසො මෙථුනධම්මො නාම’යි වදාළ සේක. කුමක්හෙයින් මෛථුන ධර්‍මැයි කියනු ලැබේද, මෛථුන ධර්‍ම රාගයෙන් රත්වූ, මෛථුන ධර්‍ම රාගයෙන් තදින් රත්වූ, මෛථුන ධර්‍ම රාගයෙන් තෙත්වූ, මෛථුන ධර්‍ම රාගය හටගැනීමෙන් වැසීගිය සිත්ඇත්තා වූ සමාන වූ ස්ත්‍රී - පුරුෂ දෙදෙනෙකුන්ගේ ස්වභාවය වේය යන කරුණෙන් මෛථුනධර්‍මයි කියනු ලැබේ.
‘පතිසෙවති නාම’ මේ මෛථුන ධර්‍මය සෙවනය කරන්නේය, යන මෙහි යම් අයුරකින් සේවනය කරන්නේ යයි කියනු ලැබේද, ඒ ආකාරය දක්වනු පිණිස මේ මාතෘකා පදය වේ. ‘යො නිමිත්තෙන නිමිත්තං’ යනාදි තන්හි යම් මහණෙක් ස්ත්‍රියගේ නිමිත්ත හා තමන්ගේ නිමිත්ත, ස්ත්‍රියගේ අඞ්ගජාතය හා තමන්ගේ අඞ්ගජාතය සියලු අන්තිම පමණින් එක්තල බිජුවටක් පමණකුදු වාතයෙන් නොපහස්නාලද තෙත්වූ අවකාශයෙහි ප්‍රවේශ කෙරේද, මේය ‘පවෙසති’ නමි. මෙපමණකින් ශීලභෙදයට පැමිණේ. පාරාජික වේ.
මෙහිද ස්ත්‍රීනිමිත්තෙහි සතරපස හා යටතලයයි පස්තැනක් ලැබේ. පුරුෂ නිමිත්තෙහි සතරපැත්ත, අගකෙළවර හා අගකෙළවරින් මතු මැද පෙදෙසැයි සතැනක් ලැබේ. එහෙයින් ස්ත්‍රියගේ නිමිත්තෙහි යටට, මහණහුගේ නිමිත්ත ප්‍රවෙශ කරනුයේද පාරාජික වේ. උඩ පෙදෙසින් ප්‍රවෙශ කරනුයේද, දෙපසින් ප්‍රවෙශ කරනුයේද සතර පැති හැර ඇතුල්තලය ගටමින් මැදින් ප්‍රවෙශ කරනුයේද පාරාජික වේ. පුරුෂ නිමිත්ත වනාහි යටකොටසින් පහසමින් ප්‍රවෙශ කරනුයේද පාරාජික වේ. උඩකොටසින් පහසමින් ප්‍රවෙශ කරනුයේද, දෙපසින් පවසමින් ප්‍රවෙශ කරනුයේද, මැදින්ම පහසමින් ප්‍රවේශ කරනුයේද, මැදුම්පුරුක, හැකුළු ඇඟිල්ලක් මෙන් නිමිත්ත මැදින් නවා, නැවූ නිමිත්තෙහි උඩකොටසෙහි කෙළවරින් පහසමින් ප්‍රවෙශ කරනුයේද පාරාජික වේ. එහි තරාදි දඬුවක් වැනිකොට නොඇදකොට ප්‍රවෙශ කරන්නහුටද, සතරපැත්ත හා උඩකොටසෙහි මැද යන පස්තැනක්ද මැදින් නවා හකුළුවා ප්‍රවෙශ කරන්නහුට සතරපැත්ත හා උඩකොටසෙහි මැද යන පස්තැනක්දැයි මෙසේ පුරුෂ නිමිත්තෙහි සියලුම ස්ථාන දසයක් වෙයි.
තමාගේ නිමිත්තෙහි හටගත් නොනට කායප්‍රසාදය ඇති සම්කඩක් හෝ පිළිකාගඩක් හෝ ස්තී‍්‍රනිමිත්තෙහි ප්‍රවෙශ කෙරේද, පාරාජිකාපත්තිය වේ. නට කායප්‍රසාදය ඇති මළසමක් හෝ වියලුනු පිළිකාගඩක් හෝ ප්‍රවේශ කෙරේද, දුක්කටාපත්තිය වේ. මෛථුනාස්වාදයෙන් ලොමයක් හෝ ඇඟිලි මහපට ඇඟිලි බීජාදිය හෝ ප්‍රවෙශ කරන්නහුටද දුක්කටයම වේ. මේ මෛථුන කථාව යම්හෙයකින් දුට්ඨුල්ල කථාවක් අසභ්‍ය කථාවක් වන්නීද, එහෙයින් විනයයෙහි එන මෙතැන හෝ මෙයින් අන්‍යවූ මෙබඳු තැන් හෝ කියන්නහු විසින් ප්‍රතික්කූලමනස්කාරයද ශ්‍රමණ සංඥාවද හිරිඔතප්ද සිහියට එළවා සම්මාසම්බුදු රජුන් කෙරෙහි ගෞරව උපදවා අසමකාරුණික වූ ලොකනාථයන් වහන්සේගේ කරුණා ගුණය මෙනෙහිකොට කියයුතුය. ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි මුළුමනින් කාමයන්ගෙන් වෙන්වූ සිත්ඇතිසේක්ද, සත්ත්‍වයන් අපායදුඃඛාදියෙන් රැකීම පිණිස සත්ත්‍වලෝක විෂයක අනුකම්පාවෙන් සත්ත්‍වයන් කෙරෙහි වූ කරුණාව නිසා ශික්‍ෂාපද පැණවීම පිණිස මෙබඳු කථාවක් වදාළ සේක. ශාස්තෲන් වහන්සේගේ කරුණා ගුණය පුදුමය. මෙසේ ලොකනාථයන් වහන්සේගේ කරුණා ගුණය මෙනෙහිකොට කියයුතුය.
තවද භාග්‍යවතුන් වහන්සේ මෙබඳු කථා සියලු අයුරින් නොවදාරණ සේක්නම්, ‘මෙපමණ තන්හි පාරාජිකය, මෙපමණ තන්හි ථුල්ලව්වය. මෙපමණ තන්හි දුක්කටය’යි කවරෙක් දන්නේද, එහෙයින් අසන්නහු විසිනුදු කියන්නහු විසිනුදු විජනිපතින් මුව වසා දත්විදහා සිනාසෙන්නහු විසින් නොහිඳිය යුතුය. ‘සම්මාසම්බුදුරජාණන් වහන්සේ විසින්ද මෙබන්දක් වදාරණ ලදැ’යි ප්‍රත්‍යවෙක්‍ෂාකොට උත්සාහයෙන් හැකිළීමට නොපැමිණෙන්නහු විසින් හිරිඔතප් දෙකින් යුක්ත වූවහු ශාස්තෲකල්ප වූවහුට කියයුතුය.
මූලප්‍රඥප්තිය නිමි.
අනුප්‍රඥප්ති වාරයෙහි ‘අන්තමසො’ සියලු අන්තිම පිරිසිඳීමෙන් ‘තිරච්ඡානගතායපි’ පිළිසිඳ ගැනීම් වසයෙන් තිරිසනුන් කෙරෙහි උපන්නියක සමග. ‘පගෙව මනුස්සිත්‍ථියා’ ඉතා පළමුකොට මනුෂ්‍යජාති ඇති ස්ත්‍රියක සමගය යනු කියනු කිම. මෙහි පාරාජිකාවට වස්තුවූම තිරශ්චීන ස්ත්‍රීහු ‘තිරච්ඡානගතා’යි ගතයුතුය. සියලු තිරිසන්ගතයෝ නොගත යුත්තාහ. එහි මේ පිරිසිඳීමය:
‘අපදානං අභි මච්ඡා - දිපදානඤ්ච කුක්කුටි,
චතුප්පදානං මජ්ජාරි - වත්‍ථු පාරාජිකස්සිමා’ යනු.
පා නැති සතුන් අතුරෙහි සර්‍ප - මත්ස්‍ය ස්ත්‍රීහුය, දෙපා ඇති තිරිසන් සතුන් අතුරෙහි කිකිළිය, සිවුපාසතුන් අතුරෙහි බැළලිය යන මේ තිරිසන් ස්ත්‍රීහු පාරාජිකාවට වස්තූහුය.
එහි අභි යි ගැනීමෙන් පිඹුරු - තෙලිසප් ආදි භෙද ඇති සියලුම දීර්‍ඝජාතීහු සඞ්ග්‍රහ කරන ලදහ. එහෙයින් දීර්‍ඝජාතික තිරශ්චීන ස්ත්‍රීන් අතුරෙහි යම් ස්ත්‍රියක කෙරෙහි වසමග - පසමග - මුවමග යන තුන්මගින් එක් මගක මහණහුගේ අඞ්ගජාතය තලඇටක් පමණ ප්‍රවෙශ කරන්නට හැක්කේද, පාරාජිකාවට වස්තුය. සෙසු ස්ත්‍රීහු දුක්කට වස්තූහුයි දතයුතුය. මච්ඡ යි ගැනීමෙන් සියලුමස්, කැසුබු මැඩි ආදී භෙද ඇති දියෙහි උපදින ජාතීහු සඞ්ග්‍රහ කරන ලදහ. උන්අතුරෙහිද දිග්දැ සතුන් කෙරෙහි කියූනයින්ම පාරාජික වස්තුද දුක්කට වස්තුද දත යුතුය. මේ විශේෂයෙක් වේ. ඔවුන් අතුරෙහි ඛරඞ්කමුඛ නම්වූ මැඩියෝ වෙත්. ඔවුන්ගේ මුවසටහන මහත් වේ. එහෙත් සිදුර කුඩා වේ. එය ප්‍රවෙශ කිරීමට නොපොහොනේය. මුවසටහන වනාහි ව්‍රණසඞ්ක්‍ෂෙපයට යන්නේය. එහෙයින් එය ථුල්ලච්චය වස්තු යි දතයුතුය. කුක්කුටි යි ගැනීමෙන් කවුඩු, පරෙවි ආදි භෙද ඇති සියලු පක්‍ෂි ජාතීහු සඞ්ග්‍රහ කරන ලදහ. උන්අතුරෙහිද කියූපරිදිම පාරාජික වස්තුද, දුක්කට වස්තුද දතයුතුය. මජ්ජාරී යි ගැනීමෙන් රුක්බලු, මුගටි, ගොයි ආදි භෙද ඇති සියලුම චතුෂ්පද ජාතීහු ගැනෙත්. උන්අතුරෙහිද කියූ ලෙසින්ම පාරාජික වස්තුද, දුක්කට වස්තුද දතයුතුය.