පඨමචතුක්කකථාවණ්ණනා
යම්හෙයකින් පාරාජිකාවට පැමිණෙනුයේද, සෙවනය කිරීමෙහි සිතින්ම පැමිණේද, ඒ සිතින් වෙන්ව නොපැමිණේද, එහෙයින් ඒ ලක්ෂණ දක්වන්නා වූ භාග්යවතුන් වහන්සේ ‘භික්ඛුස්ස සෙවනවිත්තං උපට්ඨිතෙ’ යනාදිය වදාළ සේක. එහි ‘භික්ඛුස්ස’ මෙවුන්දම් සෙවීම කරන මහණහුට. ‘සෙවන චිත්තං උපට්ඨිතෙ’ සප්තම්යර්ත්ථයෙහි ප්රථමා වචනයි. සෙවීමෙහි සිත එළැඹසිටි කල්හිය යන අර්ත්ථයි. ‘වච්චමග්ගං අඞ්ගජාතං පවෙසෙන්තස්ස’ යම් මගකින් අශුචි නික්මේද, ඒ මලමගට තමන්ගේ අඞ්ගජාතය, පුරුෂ නිමිත්ත තලැටක් පමණකුදු ප්රවෙශකරන මහණහුට ‘ආපත්ති පාරාජිකස්ස’ ඇවැත පාරාජිකාවම වේ. ‘අස්ස’වේය යන අර්ත්ථයි. නොහොත් ‘ආපත්ති’ නම් පැමිණීම වේ. ‘පාරාජිකස්ස’ පාරාජික ධර්මයට. සියලු තන්හි මේ ක්රමය වේ.
මෙසේ මෙවුන්දම් සෙවීමෙහි සිතින්ම ප්රවෙශකරන මහණහුට පාරාජිකාපත්තිය දක්වා දැන්යම්හෙයකින් ඒ ප්රවෙශය නම් හුදෙක් තමන්ගේ උපක්රමයෙන්ම නොව අන්හු විසින් යොදන උපක්රමයෙන්ද වේ. එහිදීද පිළිසෙවීමෙහි සිතින් යුක්තව ඉවසන්නහුටම ආපත්තිය වේ. අන්හට නොවේ. එහෙයින් සැදැහයෙන් පැවිදිව සසුන් පිළිවෙතෙහි මොනවට පිළිපන් යම් කුලපුත්ර කෙනෙක් අන්හු විසින් යොදන උපක්රමයෙන් ප්රවෙශය ඇතිකල්හිඳු නොඉවසත්ද, ඔවුන් රැකීම පිණිස ‘භික්ඛූපච්චත්ථිකා මනුස්සිත්ථිං’ යනාදිය වදාළ සේක.
එහි ප්රතිපක්ෂයකු (දුසිල්බව හෝ) පතත් සොයත්. කැමතිත්වෙනුයි පච්චත්ථිකයහ. භික්ෂූහුම පසමිතුරුවූවාහු, භික්ඛූපච්චත්ථික නම්වෙත්. විසභාග වෛරී භික්ෂූන්ට මේ නමකි. ‘මනුස්සිත්ථි, භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා’ ඊර්ෂ්යාවෙන් මඩනා ලද මහණෝ ඒ මහණහු නසනු කැමැතිව ආමිෂයෙන් හෝ පොළොඹවා මිත්ර සන්ථව වශයෙන් හෝ ‘අපගේ මේ කිස කරව’යි කියා කිසි මනුෂ්ය ස්ත්රියක රාත්රිකාලයෙහි ඒ මහණහු වසන තැනට ගෙනවුත්. වච්චමග්ගෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති ඒ මහණහු සැලෙන්නට පෙරළෙන්නට නොහැකිවනසේ අතින් පයින් හිසින් දැඩිව අල්ලා ගෙන ස්ත්රියගේ මලමග හා මහණහුගේ අඞ්ගජාතය ඇතුල්වනසේ මහණහුගේ අඞ්ගජාතය මතුවෙහි හිඳුවත්. ස්ත්රියගේ මලමග සමග යොදත්ය යන අර්ත්ථයි.
‘සො චෙ’ යනාදි තන්හි ඉදින් ඒ මහණතෙමේ ස්ත්රියගේ මලමග තුළට තමන්ගේ අඞ්ගජාතය. ‘පවෙසනං සාදියති’ ඇතුල්කිරීම ඉවසාද, ඒ මොහොතෙහි මෙවුන්දම් සෙවීමෙහි සිත එළවාද ‘පවිට්ඨං සාදියති’ ඇතුල්කිරීම ඉවසාද, ඇතුල්වූ කල්හි සෙවීමෙහි සිත එළවාද, ‘ඨිතං සාදියති’ සිටීම ඉවසාද, ස්ත්රියගේ මලමග තුළ තමන්ගේ අඞ්ගජාතය සිටීමට පැමිණි කල්හි ශුක්ල මිදෙන කල්හි සෙවීමෙහි සිත එළවාද, ‘උද්ධරණං සාදියති’ උඩට නගාගැනීම ඉවසාද, බැහැරට ඇදගන්නා කල්හි සෙවීමෙහි සිත එළවාදැයි මෙසේ මේ සිවුතන්හි ඉවසනුයේ ‘මාගේ සතුරු මහණුන් විසින් මේ කරන ලදැයි කියන්නට නොලබන්නේය. පාරාජිකාපත්තියටම පැමිණෙන්නේය. මෙ කියූ සිවුතැන ඉවසනුයේ යම් සේ පාරාජිකාපත්තියට පැමිණීමය. හැමතින් වනාහි තමන්ගේ අඞ්ගජාතය ආසීවිෂයක්හුගේ මුවෙහි පිවිසියක් මෙන්ද, අඟුරු වළක පිවිසියක් මෙන්ද, හඟිමින් නොඉවසනුයේ පාරාජිකාපත්තියට නොපැමිණේ. ‘පවෙසනං න සාදියති -පෙ- උද්ධරණං න සාදියති අනාපත්ති’යි. එහෙයින් වදාරණ ලදී. පටන්ගත් විදසුන් ඇති කයෙහිද ජීවිතයෙහිද බලාපොරොත්තු නැති සියලු ආයතන රාගද්වෙෂාදී වූ එකොළොස් ගින්නෙන් ඉතා තදින් ඇවිළගත්තවුන් මෙන් වටහාගන්නා වූ පස්කම්ගුණ ඔසොවාගත් කඩු ඇති වධකයන් මෙන් දක්නා වූ මෙබඳු වූ මේ පුද්ගලයා රකිමින් භාග්යවතුන් වහන්සේ මේ මහණහුගේ පසමිතුරන්ගේ චිත්තාභිලාෂය නැසීම කරනසේක් ‘පවෙසනං න සාදියති’ යනාදි වූ මේ චතුෂ්කය ගෙනහැර තැබූ සේක.