එකූනසත්තතිද්විසතචතුක්කකථා
මෙසේ ප්‍රථමචතුෂ්කය දක්වා දැන් යම්හෙයකින් භික්‍ෂු ප්‍රත්‍යනීකයෝ මහණහු වෙතට ස්ත්‍රියක ගෙනවුත් හුදෙක් මහණහුගේ අඞ්ගජාතය ස්ත්‍රියගේ මලමග හාම නොයොදත්ද, තවද පසමග හා මුවමග හාද යොදත්. ස්ත්‍රියක ගෙනෙන්නාවූද ඇතැම් පසමිතුරෝ නොනිදන්නියක ගෙන එත්. කිසිවක්හු නිදන්නියක, කිසිවක්හු මත් තැනැත්තියක, කිසිවක්හු උමතු තැනැත්තියක, කිසිවක්හු පමා තැනැත්තියක, අන්‍යවිහිත වික්‍ෂිප්ත ස්ත්‍රියක යන අර්‍ත්‍ථයි. කිසිවක්හු මළාවූ ක්‍ෂය නොවූ නිමිති ඇත්තියක, බලු කැණහිල් ආදී විසින් ක්‍ෂය නොකළ නිමිති ඇත්තියක යන අර්‍ත්‍ථයි. කිසිවක්හු මළාවූ බොහෝසෙයින් ක්‍ෂයනොවූ නිමිති ඇත්තියක, යෙභුය්‍යෙන අක්‍ඛයිතා නම්, යම් ස්ත්‍රියකගේ වසමගෙහි, පසමගෙහි, මුවමගෙහි හෝ ඉතා බොහෝවූ අවකාශයක් ක්‍ෂය නොවූයේද ඕතොමෝය. කිසිවක්හු මළාවූ බොහෝසෙයින් ක්‍ෂය වූ නිමිති ඇත්තියක ගෙනඑත්. යෙභුය්‍යෙන ඛයිතා නම්, යම් ස්ත්‍රියකගේ වසමග ආදීවූ නිමිත්තෙහි බොහෝ අවකාශයක් ක්‍ෂය වූයේද, මද අවකාශයක් ක්‍ෂයනොවූයේද, ඕ තොමෝය. හුදෙක් මනුෂ්‍ය ස්ත්‍රියකම ගෙන නොඑත්. උභතො බ්‍යඤ්ජනයකුදු පණ්ඩකයකුදු පුරුෂයෙකුදු ගෙන එත්. එහෙයින් ඔවුන්ගේ වසයෙන් අන්‍යවූද චතුෂ්කයන් දක්වනසේක් ‘භික්‍‍‍ඛු පච්චත්‍ථිකා මනුස්සිත්‍ථිං ජාගරන්තිං’ යනාදිය වදාළ සේක.
එහි නොමුළාබව පිණිස කියනලද චතුෂ්කයෝ සඞ්ඛ්‍යා වශයෙන් මෙසේ දතයුතුය. මනුෂ්‍ය ස්ත්‍රිය පිළිබඳ ත්‍රිවිධ මාර්‍ගය වශයෙන් ශුද්ධික චතුෂ්ක තුනක. නොනිදන ස්ත්‍රිය පිළිබඳ චතුෂ්කතුනක, නිදන ස්ත්‍රිය පිළිබඳ චතුෂ්ක තුනෙක, මත් වූ ස්ත්‍රිය පිළිබඳ චතුෂ්ක තුනෙක, උන්මත්තක ස්ත්‍රිය පිළිබඳ චතුෂ්කතුනක, ප්‍රමත්ත ස්ත්‍රිය පිළිබඳ චතුෂ්ක තුනෙක, මළ නොනට නිමිත්ත ඇති ස්ත්‍රිය පිළිබඳ චතුෂ්ක තුනක, බොහෝසෙයින් නොනට නිමිත්ත ඇති ස්ත්‍රිය පිළිබඳ චතුෂ්ක තුනකැයි සත්විසි චතුෂ්ක කෙනෙක්වත්. අමනුෂ්‍ය ස්ත්‍රිය පිළිබඳ ත්‍රිවිධ මාර්‍ගයන්ගේ වසයෙන් එසේ චතුෂ්කසත්විස්සෙක. නිර්‍ය්‍යග්ගත ස්ත්‍රිය පිළිබඳ ත්‍රිවිධ මාර්‍ගයන්ගේ වසයෙන් එසේ චතුෂ්කසත්විස්සෙකැයි ස්ත්‍රීන්ගේ වාරයෙහි එක් අසූවක් චතුෂ්ක වෙයි. ස්ත්‍රීන්ගේ වාරයෙහි යම්සේද, උභතො බ්‍යඤ්ජනකයන්ගේ වාරයෙහිද එසේය. පණ්ඩක - පුරුෂ වාරයන්හි සමග - මුවමග යන දෙවැදැරුම් වූ මාර්‍ගයන්ගේ වසයෙන් සිවුපණස් සිවුපණස් චතුෂ්ක වෙයි. මෙසේ ගත්කල්හි සියලුම චතුෂ්ක දෙසියසැත්තෑවක් වෙයි. ඒ දෙසිය සැත්තෑ චතුෂ්ක ප්‍රකටඅර්‍ත්‍ථ ඇත්තාහුමය.
මෙහි සියලු වාරයන්හි ‘මතං යෙභුය්‍යෙන අක්‍ඛයිතං ඛයිතං’ යන මෙතන්හි මේ විනිශ්චය වේ: තාම්‍රපර්ණි ද්වීපයෙහි වනාහි උපතිස්ස ස්ථවිර - ඵුස්සදෙව ස්ථවිරයි විනයධර මහාස්ථවිරයන් වහන්සේ දෙනම එක් ඇදුරක්හුගේ පාඨන්තෙවාසිකයෝ වූහ. උන්වහන්සේ මෙහි මහත්බියක් උපන්කල්හිද, විනයපිටකය පරිහරණය කරන්නාහු එය රැකගත්හ. උන්වහන්සේ දෙනම අතුරෙහි උපතිස්ස මහාස්ථවිරයන් වහන්සේ ව්‍යක්තතරයහ. මහාපදුම - මහාසුම්ම මහාස්ථවිරයන් වහන්සේ දෙනම උන්වහන්සේගේ අතවැස්සෝ වූහ. ඒ දෙනම අතුරෙහි මහාසුම්ම මහාස්ථවිරයන් වහන්සේ නවවරක් විනයපිටකය අසා හදාරා පුහුණුකොට සිටියහ. මහාපදුම මහාස්ථවිරයන් වහන්සේ මහාසුම්ම මහාස්ථවිරයන් වහන්සේ හා එක්ව නව වරක් විනයපිටකය අසා හදාරා පුහුණුකොට සිටියහ. මහාපදුම මහාස්ථවිරයන් වහන්සේ මහාසුම්ම මහාස්ථවිරයන් වහන්සේ හා එක්ව නවවරක්ද, වෙන්ව එකලාවම නවවරක්දැයි අටළොස්වරක් විනයපිටකය ඇසූහ. මේ දෙනම අතුරෙහි මහාපදුම මහාස්ථවිරයන් වහන්සේ ව්‍යක්තතරයහ ඒ දෙනම අතුරෙහි මහාසුම්ම මහාස්ථවිරයන් වහන්සේ නවවරක් විනයපිටකය අසා බලා හදාරා ගුරුවරයා හැරපියා ගඟින් එතරට වැඩියහ. එහෙයින් මහාපදුම මහාස්ථවිරයන් වහන්සේ නවවරක් විනයපිටකය අසාබලා හදාරා ගුරුවරයා හැරපියා ගඟින් එතරට වැඩියහ. එහෙයින් මහාපදුම මහාස්ථවිරයන් වහන්සේ ‘නින්‍දාවකි, යමෙක් දිවමන් ගුරුන් හැරපියා අන්තැනක විසියයුතුයයි සිතාද, මේ විනයධර තෙමේ සූරයෙකි, ගුරුන් දිවමන්ව සිටියදී විනයපිටකයත් අර්‍ත්‍ථකථාවත් නොයෙක්වර අසාබලා ගෙනද නොහැරිය යුතු නොවේද, නිතිකල් ඇසියයුතු නොවේද, අවුරුදු පතා හැදෑරියයුතු නොවේදැයි’ කීහ.
මෙසේ විනයගරුක භික්‍ෂූන් වහන්සේගේ කාලයෙහි එක් දවසක් උපතිත්ස මහාස්ථවිරයන් වහන්සේ මහාපදුම ස්ථවිර ප්‍රමුඛ වූ පන්සියයක් අතවැසියනට ප්‍රථම පාරාජික ශික්‍ෂාපදයෙහි මේ පෙදෙස වර්‍ණනා කරමින් හුන්හ. එහිදී ඒ අතවැසි භික්‍ෂූන් වහන්සේ ‘ස්වාමීනි! බොහෝ සෙයින් නොනට, සිවුකොටසින් තුන්කොටසක් නොනැසී සිටි නිමිත්තෙහි කුමක් වියයුතුදැ’යි උන්වහන්සේගෙන් අසා සිටියහ. එකල්හි මහාස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි! බුදුවරයෝ වනාහි පාරාජිකය පණවනසේක් ඉතිරිකොට නොපනවන සේක. ඉතිරි නොකොටම සියලු පාරාජික ක්‍ෂෙත්‍රය අනවශෙෂ වශයෙන් ගෙන පාරාජික ක්‍ෂෙත්‍රයෙහි ව්‍යතික්‍රම ස්‍රොතය සිඳහැර පාරාජික වස්තුවෙහි පාරාජිකයම පනවන සේක. මේ ශික්‍ෂාපදය ලොකවද්‍ය වේ. ප්‍රඥප්තිවද්‍ය නොවේ. එහෙයින් ඉදින් සමඅඩක් නටනිමිත්තෙහි පාරාජිකය වන්නේනම්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ එය පනවන සේක. මෙහි වනාහි පාරාජික ඡායාවකුදු නොපෙනේ, ථුල්ලවච්චයම දක්නා ලැබේය’යි කීහ.
තවද මළසිරුරෙහි පාරාජිකය පනවන්නා වූ භාග්‍යවතුන් වහන්සේ බොහෝසෙයින් නොනට සිවුකොටසින් තුන්කොටසක් නොනට නිමිත්තෙහි එසේ තැබූසේක් එයින් මතුවෙහි පාරාජිකයක් නැතැයි දක්වනු පිණිසයයි දතයුතුය. මේ නට, නොනට නිමිත්ත මළසිරුරෙහිම දතයුතුය. දිවමන් සිරුරෙහි නොදත යුතුය. දිවමන් සිරුරෙහි නියපිටු පමණවූ සිවිමස් හෝ නහරවැලක් ඇතිකල්හි පාරාජිකයම වේ. ඉදිනුදු නිමිත්ත බලු, කැනහිල් ආදීන් විසින් කන ලද්දක් වැනිව හැම අතකින් නැසීගියේ, සිවිසම් නැත්තේනමුදු නිමිත්ත සටහන පෙනේද, එහි ප්‍රවෙශය සිදුවේද පාරාජිකයම වේ. නිමිත්ත සටහන ඉතිරි නොකොට සියලු නිමිත්ත සිඳදමා හාත්පසින් සැප උපුටාහළ කල්හි ව්‍රණසංක්‍ෂෙප වශයෙන් ථුල්ලච්චය වේ. නිමිත්තෙන් බැහැරට ඇදීසිටි මස්වැදැල්ලෙහි උපක්‍රම කරන්නහුට දුක්කටය වේ. මළසිරුරෙහි වනාහි ඉදිනුදු සියලු සිරුර නැසී ගෙවීගියේද, ඉදිනුදු නැසී ගෙවී නොගියේද, තෙමගවනාහි නැසී ගෙවී නොගියේද, එතන්හි උපක්‍රම කරන්නහුට පාරාජිකය වේ. බොහෝසෙයින් නොනට නොගෙවුනු නිමිත්තෙහිද පාරාජිකයම වේ. අඩක් ගෙවීගියාවූද, බොහෝසෙයින් නැසුනාවූද නිමිත්තෙහි ථුල්ලච්චය වේ.
මිනිසුන්ගේ පණ ඇති සිරුරෙහි ඇස්, නාස්, කන්සිදුර, රහසඟ යන මෙතැන්හි හෝ සැත් ආදියෙන් කළ වණයෙහි හෝ මෛථුන රාගයෙන් තලැටක් පමණකුදු අඞ්ගජාතය ප්‍රවෙශ කරන්නහුට ථුල්ලච්චයම වේ. සෙසු සිරුරෙහි කිසිළි ආදියෙහි උපක්‍රම කරන්නහුට දුක්කටය වේ. මළා වූ තෙත් සිරුරෙහි පාරාජික ක්‍ෂෙත්‍රයෙහි පාරාජිකය වේ. ථුල්ලච්චය ක්‍ෂෙත්‍රයෙහි ථුල්ලච්චය වේ. දුක්කට ක්‍ෂෙත්‍රයෙහි දුක්කටය වේ. යම්කලෙක ශරීරය ඉදිමී කුණුවීගියේ, නීලමැස්සන්ගෙන් ගැවසුනේ, පණුකැලින් ආකුලවූයේ, නවවණමුඛයන්ගෙන් වැගුරුණු සැරව ඇත්තේ, කුණපබැවින් ලංවන්නට නොහැකිවන්නේද, එකල්හි පාරාජික වස්තුභාවයත් ථුල්ලච්චය වස්තුභාවයත් හැර සිටුනේය. එබඳු සිරුරෙහි යම්කිසි තැනක උපක්‍රම කරන්නහුට දුක්කටයම වේ. තිරිසන් ගිය ඇත්, අස්, ගොන්, කොටලු, ඔටු, මීගොන් ආදීන්ගේ නාසයෙහි උපක්‍රම කරන්නහුට ථුල්ලච්චය වේ. රහසඟෙහි උපක්‍රම කරන්නහුටද ථුල්ලච්චයම වේ. සියලු තිරිසන් ගියවුන්ගේ ඇස්, කන්, වණයන්හි දුක්කටය වේ. සෙසුසිරුරෙහිද දුක්කටයමය. මළවුන්ගේ තෙත්සිරුරෙහි පාරාජික ක්‍ෂෙත්‍රයෙහි පාරාජිකය වේ. ථුල්ලච්චය ක්‍ෂෙත්‍රයෙහි ථුල්ලච්චය වේ. දුක්කටක්‍ෂෙත්‍රයෙහි දුක්කටය වේ.