සන්ථතචතුක්කභෙදකථා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ආරබ්ධවිදර්‍ශක භික්‍ෂුවගේ රැකීම පිණිස දෙසියසැත්තෑවක් චතුෂ්ක ගෙනහැර දක්වා දැන් අනාගතයෙහි යම් පාපභික්‍ෂූහු පිළිසම් ආදි යමකින් වසන ලද්දාවූ මේ කායෙන්‍ද්‍රියයෙන් යුත් කිසි නිමිත්තක් කායෙන්‍ද්‍රියයෙන් යුත් නිමිත්තෙන් නොපහසාද, මෙහි කවර දොෂයක්දැයි සිතා දැන ලෙශයක් නගා පිහිටුවන්නාහුද, ඔවුන්ට මාගේ ශාසනයෙහි ප්‍රතිෂ්ඨාවක්නම් නොවන්නීයයි දැකවදාරා ඒ දෙසියසැත්තෑවක් චතුෂ්කයන් අතුරෙහි එක්එක් චතුෂ්කය චතුර්විධ සන්‍ථතාදිභෙදයෙන් බිඳ දක්වනසේක් ‘භික්‍‍‍ඛුපච්චත්‍ථිකා මනුස්සිත්‍ථි, භික්‍‍‍ඛුස්ස සන්තිකෙ ආනෙත්‍වා වච්චමග්ගෙන පස්සාවමග්ගෙන - මුඛමග්ගෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති සන්‍ථතාය අසන්‍ථතස්ස’ යනාදිය වදාළ සේක.
එහි ‘සන්‍ථතාය අසන්‍ථතස්ස’ යනාදී තන්හි පිළිසම් ආදියකින් වසනලද ස්ත්‍රියකගේ වසමග හා පසමග හා මුවමග හා පිළිසම් ආදි යමකින් නොවසනලද මහණහුගේ අඞ්ගජාතය යොදත්යි මේ නයින් යෝජනාව දතයුතුය. එහි සන්‍ථතා නම්: යම්කිසි ස්ත්‍රියකගේ වසමග පසමග-මුවමග යන තුන්මග අතුරෙහි යම්කිසි මගක් ඇතුළට ප්‍රවෙශ නොකොට පිටත වෙළා හෝ පිළිසම් ආදියක් ඇතුළත ප්‍රවේශකොට හෝ යම්කිසි පිළිකඩකින් හෝ කොළපතකින් හෝ වැහැරි පටකින් හෝ සමකින් හෝ කළුතුඹ, සුදුකුඩ ආදීවූ යම්කිසි පටකින් හෝ වසන ලදද එසේ වැසූ මං ඇත්තී සන්‍ථතාය. සන්‍ථතනම්: යම්කිසි මහණක්හුගේ අඞ්ගජාතය ඒ වස්ත්‍රාදීන් අතුරෙහි යම්කිසිවකින් වසන ලද්දේද ඒ ය. එහි නොනට කායප්‍රසාදය ඇති නිමිත්තකින් හෝ නැසුනු කායප්‍රසාදය ඇති නිමිත්ත ගටනු ලබාවා හෝ නැසුනු කායප්‍රසාදය ඇති නිමිත්තකින් නොනැසුනු කායප්‍රසාදය ඇති නිමිත්ත ගටනු ලැබේවා හෝ නැසුනු කායප්‍රසාදය ඇති නිමිත්තකින් නැසුන කායප්‍රසාදය ඇති නිමිත්ත ගටනුලැබේවා හෝ නොනැසුනු කායප්‍රසාදය ඇති නිමිත්තකින් නොනැසුනු කායප්‍රසාදය ඇති නිමිත්ත ගටනු ලැබේවා හෝ ඉදින් යම් පමණ තලැටක් පමණකුදු ඇතුල්වූකල්හි පාරාජිකයවේයයි වදාරණ ලද්දේද එහෙයින් එපමණකුදු ස්ත්‍රියකගේ තුන්මගින් එක්මගෙක ඇතුල්වේද, සියලුතන්හි එය ඉවසන්නහුට පාරාජිකක්‍ෂෙත්‍රයෙහි පාරාජිකය වේ. ථුල්ලච්චය ක්‍ෂෙත්‍රයෙහි ථුල්ලච්චය වේ. දුක්කටක්‍ෂේත්‍රයෙහි දුක්කටයම වේ. ඉදින් ස්ත්‍රී නිමිත්තෙහි ඇතුළට සමතලව හෝ මතුව සිටින සේ එයට සුදුසු කණුවක් ඇතුල්කොට යමකින් වැසූකණුව තමන්ගේ නිමිත්තෙන් ගටන්නහුට දුක්කටය වේ. ඉදින් පුරුෂ නිමිත්ත ඇතුළෙහි කණුවක් යවා යමකින් වැසූ ඒ කණුව ඇතුල් කරන්නහුට දුක්කටය වේ. ස්ත්‍රී - පුරුෂ නිමිති දෙක්හි කණු ඇතුල්කොට යමකින් වැසූ කණුව කණුවෙන් ගටන්නහුට දුක්කටය වේ. ඉදින් ස්ත්‍රී නිමිත්තෙහි හුණබට පුරුක් ආදීන්ගෙන් කිසිවක් ඇතුල් කරන ලද්දේ ද එහි යට කොටසද පහසමින් තලැටක් පමණ ප්‍රවෙශකෙරේනම්, පාරාජිකය වේ. මතුකොටසද දෙපසින් එක්පසක්ද පහසමින් ප්‍රවෙශකෙරේද, පාරාජිකය වේ. සතරපසම නොපහසමින් ඇතුල්කොට ඒ පුරුකෙහි ඇතුල්තලය නමුදු පහසානම් පාරාජිකය වේ. ඉදින්වනාහි සතරපසෙහි හෝ ඇතුල්තලයන්හි හෝ නොගටමින් නොපහසින් අහස්ගතමකොට ඇතුල්කොට පිටතට ඇදගනීද දුක්කටය වේ. ස්ත්‍රීනිමිත්තෙහි ඇතුළට යැවූ කණුවෙහි පිටත පහසානම් දුක්කටයම වේ. ස්ත්‍රීනිමිත්තෙහි යම්සේ කියනලදද, වසමග ඈ සියලු තන්හි ලක්‍ෂණයද එසේ දතයුතුය.
සන්‍ථත චතුෂ්ක භෙදකථා නිමි.
භික්ඛුපච්චත්ථිකචතුක්කභෙදවණ්ණනා
මෙසේ සන්‍ථත චතුෂ්කභෙදය දක්වා දැන් යම්හෙයකින් හුදෙක් මහණහු වෙතටම මනුෂ්‍යස්ත්‍රී ආදීහු ගෙන නොඑන්නාහුද, තවද ස්ත්‍රීන් වෙතට මහණහුද ගෙනඑන්නාහ. එහෙයින් ඒ භෙදය දක්වනසේක් ‘භික්‍ඛුපච්චත්‍ථිකා භික්‍‍‍ඛුං මනුස්සිත්‍ථියා සන්තිකෙ’ යනාදි නයින් ඒ සියලු චතුෂ්ක නැවතත් ගෙනහැර දැක්වූ සේක. ඔවුන් කෙරෙහි වූ විනිශ්චය කියූනයින්ම දතයුතුය.
භික්‍ෂුප්‍රත්‍යනීක වශයෙන් චතුෂ්කභෙද වර්‍ණනාව නිමි.