සික්ඛාපච්චක්ඛානවිභඞ්ගවණ්ණනා
‘සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවීකත්වා’ ශික්ෂාවද පිළිකෙව් නොකොට දුබලබවද නොපවසා යම්හෙයකින් දුබලබව පැවසූ කල්හිද ශික්ෂාව පිළිකෙවු නොකරන ලද්දීම වේද, ශික්ෂාව වනාහි පිළිකෙවු කළ කල්හි දුබලබව ප්රකාශකරන ලද්දේමවේද, එහෙයින් ‘දුබ්බල්යං අනාවීකත්වා’ යන මේ පදයෙන් කිසි විශෙෂාර්ත්ථයක් නොලැබෙන්නේය. යම්සේ වනාහි ‘දිරත්තතිරත්තං සහසෙය්යං කප්පෙය්ය’යි කියූ කල්හි ‘ද්විරත්ත’ වචනයෙන් කිසි විශෙෂාර්ත්ථයක් නොලැබෙන්නේද, හුදෙක් ලෝකව්යවහාර වශයෙන් ව්යඤ්ජනයන් පිළිබඳ ශලිෂ්ටතාවෙන් මුඛාරූඪභාවයෙන් මෙය වදාරණ ලද්දේය. මෙසේ මෙද ව්යවහාර සුඛය පිණිස ව්යඤ්ජන ශලිෂ්ටතාව පිණිස මුඛාරූඪභාවය පිණිස වදාරණ ලදැයි දතයුතුය.
නොහොත් යම්හෙයකින් භාග්යවතුන් වහන්සේ අර්ත්ථ සහිතව ව්යඤ්ජන සහිතව ධර්මය දේශනා කරන සේක්ද, එහෙයින් ‘සික්ඛං අපච්චක්ඛාය’ යන මෙයින් අර්ත්ථය සම්පාදනයකොට ‘දුබ්බල්යං අනාවීකත්වා’ යන මෙයින් ව්යඤ්ජනය සම්පාදනය කරන සේක. පරිවාරකපද විරහිතව කියනු ලබන එක්ම අර්ත්ථ පදය පරිවාරජන විරහිත වූ රජු මෙන්ද, වස්ත්රාලඞ්කාර විරහිත වූ පුරුෂයා මෙන්ද නොහොබනේය. ඒ පදය පරිවාරක වූ අර්ත්ථානුලොම වූ සහාය පදයක් සමග සිටියේ හොබනේය.
නොහොත් යම්හෙයකින් ‘බුද්ධං පච්චක්ඛාමි’ යනාදි ශික්ෂාප්රත්යාක්ඛ්යාන වචනයෙහි අර්ත්ථය ඇතැම් දුබ්බල්යාවී කර්මයෙක්වේද, එහෙයින් ඒ අර්ත්ථභූත දුබ්බල්යාවී කර්මය සඳහා ‘සික්ඛං අපච්චක්ඛාය’ යන පදයෙහි අර්ත්ථය විවෘත කරන සේක් ‘දුබ්බල්යං අනාවීකත්වා’ යනු වදාළ සේක. එහි මෙසේ වන්නේය.
යම්හෙයකින් සියලු දුබ්බල්යාවී කර්මය සඳහා ශික්ෂාප්රත්යාක්ඛ්යානය නොවේද, එහෙයින් ‘දුබ්බල්යං අනාවීකත්වා’ යනු පළමුකොට වදාරා එහි අර්ත්ථ නියමය පිණිස ‘සික්ඛං අපච්චක්ඛාය’ යනු කියයුතු නොවන්නේද? හෙද යුතු නොවේ. කුමහෙයින්දයත්: අර්ත්ථයෙහි අනුපිළිවෙළ නැති බැවිනි. ‘සික්ඛාසාජීව සමාපන්නො’යි වදාළ බැවින් යම් ශික්ෂාවකට පැමිණියේවේද, ඒ ශික්ෂාව ප්රත්යාක්ඛ්යානය නොකොටැයි කියනු ලබන්නේ අර්ත්ථය පිළිවෙළින් කියන ලද්දේවේද අන් අයුරකින් කියනු ලබන්නේ එසේනොවේද, එහෙයින් ‘සික්ඛං අපච්චක්ඛාය’ යන මෙයම පළමුකොට වදාරණ ලද්දේය.
තවද ‘සික්ඛාසාජීවසමාපන්නො’ යන මෙහි යම් ශික්ෂාවකට පැමිණියේද, ඒ ශික්ෂාව බැහැරනොකොට යම් සාජීවයකට පැමිණියේද එහි දුබලබව පහළනොකොටැයි අනුපිළිවෙළින් මෙහි අර්ත්ථ දතයුතුය.
දැන් ශික්ෂාප්රත්යාක්ඛාන දුර්වල්යාවීකර්මයන්ගේ විශේෂ අවශෙෂයත් ශික්ෂාප්රත්යාක්ඛාන ලක්ෂණත් දක්වන සේක් ‘අර්ත්ථ භික්ඛවෙ’ යනාදිය වදාළ සේක. එහි ‘අර්ත්ථ භික්ඛවෙ’ යනාදිය මාතෘකාපද දෙකකි. එය බෙදා දක්වනසේක් ‘කථඤ්ච භික්ඛවෙ’ යනාදිය වදාළ සේක. මේ එහි ප්රකටනොවූ පදවල වර්ණනාය: ‘කථං’ කිනම් අයුරකින් ‘දුබ්බල්යාවීකම්මං ච’ දුර්වලභාවයාගේ පහළකිරීමද, ‘ඉධ’ මේ ශාසනයෙහි. ‘උක්කණ්ඨිතො’ නොඇලීමෙන් මේ ශාසනයෙහි දුඃඛජීවිකාවට පැමිණියේය. නොහොත් ‘අද යමි, හෙට යමි, මෙතැනින් යමි, මෙහිදී යමි’යි ගෙල ඔසොවා ගෙන වසනුයේය. විසුරුණු සිතැත්තේය. එකඟ නොවූ සිතැත්තේ යයි කියන ලද්දේ වේ. ‘අනභිරතො’ ශාසනයෙහි ඇලීමෙන් තොරවූයේය.
‘සාමඤ්ඤා චවිතුකාමො’ ශ්රමණභාවයෙන් පහවයනු කැමැත්තේය. ‘භික්ඛුභාවං’ භික්ෂුභාවයෙන්. කරණාර්ත්ථයෙහි ද්විතීයාවචනයි. ‘කණ්ඨෙ ආසත්තෙන අට්ටීයෙය්ය’ යනාදී තන්හි වනාහි ලක්ෂණ පරිදි කරන වචනයෙන්ම වදාරණ ලද්දේය. ‘අට්ටීයමානො’ බැගෑපත් වූවෙකු පෙළුනෙකු දුකටපත් වූවෙකු මෙන් තමන් හසුරුවන්නේය. ඒ භික්ෂුභාවයෙන් හෝ බැගෑපත් වූවෙක් කරනු ලබන්නේය, පෙළනු ලබන්නේය යන අර්ත්ථයි. ‘හරායමානො’ ලජ්ජිත වනුයේය. ඒ භික්ෂුභාවයෙන් හෝ බැගෑපත් වූවෙක් කරනු ලබන්නේය, පෙළනු ලබන්නේය යන අර්ත්ථයි. ‘හරායමානො’ ලජ්ජිත වනුයේය. ‘ජිගුච්ඡමානො’ අසූචියට මෙන් ඒ භික්ෂුභාවය පිළිකුල් කරනුයේය. ‘ගිහීභාවං පත්ථයමානො’ යනාදීහු ප්රකට අර්ත්ථ ඇත්තාහුමය. ‘යන්නූනාහං බුද්ධං පච්චක්ඛෙය්යං’ යන මෙහි ‘යන්නූන’ යනු පරිවිතර්ක දර්ශනයෙහි නිපාතයි. ‘ඉදින් මම බුදුන් ප්රතික්ෂේප කරන්නෙම්නම් එකාන්තයෙන් මට යහපතක් වන්නේය’යි මේ කියන ලද්දේ වේ. ‘වදති විඤ්ඤාපෙති’ මේ අර්ත්ථය මෙයින් හෝ අන්යව්යඤ්ජනයන්ගෙන් හෝ වාග්භෙදකොට කියාද, යමක්හට කියාද ඔහුට හඟවාද දන්වාද ‘එවම්පි’ මෙහිවූ පිකාරය මතුවෙහි අර්ත්ථයන්ගේ පිඩුකිරීම ප්රයොජනකොට සිටියේය. මෙසේද දුර්බල්යාවීකර්මය වේ. අන් පරිද්දකින් ශික්ෂාවද ප්රත්යාක්ඛානය නොකරන ලද්දේ වේ.
දැන් ඒ දුබලබව පහළකිරීමද ශික්ෂාවගේ අප්රත්යාක්ඛ්යානයද අන් පරිද්දකිනුදු දක්වනසේක් ‘අථවා පන’ යනාදිය වදාළ සේක. ඒ සියල්ල අර්ත්ථ වශයෙන් ප්රකටය. මෙහි පද වශයෙන් මුලපටන් ‘බුද්ධං පච්චක්ඛෙය්යං, ධම්මං, සඞ්ඝං, සික්ඛං, විනයං, පාතිමොක්ඛං, උද්දෙසං, උපජ්ඣායං, ආචරියං, සද්ධිවිහාරිකං, අන්තෙවාසිකං, සමානුපජ්ඣායකං, සමානාචරියකං, සබ්රහ්මචාරිං පච්චක්ඛෙය්යං’ යන මේ තුදුස්පද ශික්ෂාප්රතික්ෂෙප කිරීම් ආකාරයෙන් කියන ලදී. 1
‘ගිහී අස්සං’ ගිහී, උපාසකො, ආරාමිකො, සාමණෙරො, තිත්ථියො, තිත්ථියසාවකො, අස්සමණො, අසක්යපුත්තියො අස්සං යනාදී වූ මේ පද අට ‘අස්සං’ යන මේ භාවවිකල්පනාකාරයෙන් වදාරණ ලදී. මෙසේ ‘යන්නූනාහං’ යන මේ හා යෙදුනු මේ දෙවිසිපද යම්සේවේද, එසේ ‘යදිපනාහං, අපාහං, හන්දාහං, හොති මෙ’ යන මොවුන් අතුරෙහි එකක් එකක් හා යුක්තවූ දෙවිස්සයයි සියලුම පද එක්සියදසයක් වේ.
එයින් මතුවෙහි සිහිකටයුතු වස්තූන්ගේ දැක්වීම් නයින් පැවති ‘මාතරං සරාමි’ යනාදීවූ සතළොස් පද වෙයි. එහි ‘ඛෙත්තං’ හැල්කෙත් ආදියය. ‘වත්ථුං’ තණපත් පලා කුදුමහත්පළ හටගන්නා තැන්ය. ‘සිප්පං’ කුම්භකාර පෙසකාර ශිල්පාදියය.
එයින් මතුවෙහි සකිඤ්චන සපළිබොධභාවය දැක්වීම් වසයෙන් පැවති ‘මාතා මෙ අර්ත්ථ, සා මයා පොසෙතබ්බා’ යනාදි පද නවයක් වෙයි.