සික්ඛාසාජීවපදභාජනීයවණ්ණනා
දැන් ‘භික්ඛූනං’ යන මේ පදය විශෙෂාර්ත්ථයක් නොමැති බැවින් විභාග නොකොටම යම් ශික්ෂාවකටද යම් සාජීවයකටද පැමිණි බැවින් භික්ෂූන්ගේ ශික්ෂාසාජීවයට පැමිණියේවේද, එය දක්වනසේක් ‘සික්ඛා’ යනාදිය වදාළ සේක. එහි හික්මිය යුත්තීනුයි ශික්ෂා නමි. ‘තිස්සො’ යනු ගණන් පිරිසිඳීමය. ‘අධිසීලසික්ඛා’ අධිකවූ උත්තමවූ සීලයනුයි අධිසීලනමි. අධිසීලවූයේද ඒ මය. හික්මිය යුතු බැවින් සික්ඛා වූයේද ඒමනුයි අධිසීලසික්ඛා නමි. අධිචිත්ත - අධිප්රඥා ශික්ෂාවන්හිද මේ ක්රමය වේ.
මෙහි වනාහි ශීලය කවරේද? අධිශීලය කවරේද? චිත්තය කවරේද? අධිචිත්තය කවරේද? ප්රඥාව කවරීද? අධිප්රඥාව කවරීද? යන මේ ප්රශ්නයන්හිලා කියනු ලැබේ. පඤ්චාඞ්ගශීල - දශාඞ්ගශීල වනාහි ශීලම වේ. ඒ ශීල බුදුරජුන් උපන් කල්හිද නොඋපන්කල්හිද ලෙව්හි පවත්නේය. බුදුරජුන් උපන්කල්හි බුදුවරයෝද ශ්රාවකයෝද මහාජනයා ඒ ශීලයෙහි සමාදන් කරවත්. බුදුරජුන් නොඋපන්කල්හි පසේබුදුවරයෝද, කර්මවාදී ධාර්මික ශ්රමණ බ්රාහ්මණයෝද, සක්විති මහරජහුද, මහාබොධි සත්ත්වයෝද මහාජනයා ඒ ශීලයෙහි සමාදන් කරවත්. පණ්ඩිත ශ්රමණ බ්රාහ්මණයෝ, තුමූද සමාදන් වෙත්. ඔවුහු ඒ කුශලධර්මය සම්පූර්ණකොට දෙවියන් අතුරෙහිද මිනිසුන් අතුරෙහිද සම්පත් අනුභව කරත්. ප්රාතිමොක්ෂ සංවරශීලය වනාහි අධිශීලයයි කියනු ලැබේ. ඒ ශීලය ආලොකයන් අතුරෙහි සූර්ය්යයා මෙන්ද පර්වත අතුරෙහි මහාමේරුව මෙන්ද සියලු ලෞකික ශීලඅතුරෙහි අධිකවූයේද උත්තමවූයේද බුද්ධොත්පාදයෙහිම පවත්නේය. බුද්ධොත්පාද කාලය හැර අන්ය කාලයෙහි නාද පවත්නේය. ‘මේ වස්තුවෙහි මේ ව්යාතික්රමයෙහි මෙනම්වේය’යි ඒ ප්රඥප්තිය උදුරා තබන්නට අන්ය සත්ත්වයෙක් සමර්ත්ථ නොවේ. බුදුවරයෝම වනාහි හැමතින් කායවාග්ද්වාරයන්හි වූ අද්ධ්යාචාරස්රොතස සිඳහැර ඒ ඒ ව්යතික්රමයට සුදුසු වූ ඒ ශීලසංවරය පණවත්. ප්රාතිමොක්ෂ සංවරයටද වඩා මාර්ගඵල සම්ප්රයුක්ත ශීලයම අධිශීලය වේ. ඒ ශීලය වනාහි මෙහි අදහස් නොකරන ලදී. එයට පැමිණි මහණතෙමේ මෙවුන්දම් සෙවීම නොකරන්නේමය.
අටවැදෑරුම් කාමාවචර කුසල්සිත් හා අටවැදෑරුම් ලෞකික සමාපත්ති සිත්ද එක්කොට චිත්තයමැයි දතයුතුය. බුද්ධොත්පාදයෙහි හා අබුද්ධොත්පාදයෙහි මේ චිත්තයෙහි පැවැත්මද සමාදන් කරවීමද සමාදන්වීමද ශීලයෙහි කියූ නයින්ම දතයුතුය. විදර්ශනාපාදක අෂ්ටසමාපත්තිචිත්තය අධිචිත්තයයි කියනු ලැබේ. ඒ අධිචිත්තය ශීලඅතුරෙහි අධිශීලය මෙන් සියලු ලෞකික චිත්තයන් අතුරෙහි අධික වූයේත් උත්තම වූයේත් බුද්ධොත්පාදයෙහිම වේ. බුද්ධොත්පාදය හැර නොවේ. එයටද වඩා මාර්ගඵලසම්ප්රයුක්ත චිත්තයම අධිචිත්තය වන්නේය. ඒ අධිචිත්තය මෙහි අදහස් නොකරන ලද්දේය. මාර්ගඵලසම්ප්රයුක්ත චිත්තයට පැමිණි මහණතෙමේ මෙවුන්දම් සෙවීම නොකරන්නේමය.
‘අත්ථි දින්නං අත්ථි යිට්ඨං’ යනාදිනයින් පැවති කර්මස්වකතාඥානය ප්රඥා නමි. ඒ ප්රඥා බුදුරජුන් උපන්කල්හිද නොඋපකල්හිද ලෙව්හි පවත්නීය. බුදුරජුන් උපන්කල්හි බුදුවරයෝද, ශ්රාවකයෝද, මහාජනයා ඒ ප්රඥාවෙහි සමාදන් කරවත්. බුදුරජුන් නොඋපන්කල්හි පසේබුදුවරයෝද, කර්මවාදී ධාර්මික ශ්රමණ බ්රහ්මණයෝද, සක්විතිමහරජහුද මහා බෝධිසත්ත්වයෝද මහා ජනයා ඒ ප්රඥාවෙහි සමාදන් කරවත්. පණ්ඩිත සත්ත්වයෝ තුමූම සමාදන් වෙත්. ඒ එසේමය. අඞ්කුර තෙමේ අවුරුදු දසදහසක් මහදන් දුන්නේය. වෙලාම බ්රාහ්මණතෙමේද විශ්වන්තර රජතෙමේද අන්ය වූ බොහෝ පණ්ඩිත මනුෂ්යයෝද මහදන් දුන්හ. ඔවුහු ඒ කුශලකර්මය සම්පූර්ණකොට දෙවියන් අතුරෙහිද, මනුෂ්යයන් අතුරෙහිද සම්පත් අනුභව කළහ. අනිත්යාදි ත්රිලක්ෂණයාගේ ආහාරය පිරිසිඳ දන්නාවූ විදර්ශනා ඥානය වනාහි අධිප්රඥායයි කියනු ලැබේ. ඒ ප්රඥා තොමෝවනාහි ශීල-චිත්ත අතුරෙහි අධිශීල - අධිචිත්ත මෙන් සියලු ලෞකික ප්රඥාවන් අතුරෙහි අධිකවූවාද උත්තමවූවාද වේ. බුද්ධොත්පාදය හැර අන්කාලයක ලෙව්හි නොපවත්නීය. එයටද වඩා මාර්ගඵල ප්රඥාවම අධිප්රඥානම් වේ. ඕතොමෝ වනාහි මෙහි අදහස් නොකරන ලදී. ඒ අධිප්රඥාවට පැමිණි මහණතෙමේ මෙවුන්දම් සෙවීම නොකරන්නේය.
‘තත්ර’ ඒ ත්රිවිධ ශික්ෂාවන් අතුරෙහි ‘යායං අධිසීලසික්ඛා’ යමි මේ ප්රාතිමොක්ෂශීලසඞ්ඛ්යාත අධිශීල ශික්ෂාවක් වන්නීද ‘එතං සාජීවං නාම’ භාග්යවතුන් වහන්සේ විසින් විනයයෙහි තබනලද මේ සියලුම ශික්ෂාපදවේද, මෙහි යම්හෙයකින් නානාවිධ දෙශ, ජාති, ගොත්රාදි භෙදයෙන් භින්න වූ භික්ෂූහු එක්ව ජීවත්වෙත්ද, එක්ම දිවිපැවැතුම් ඇත්තාහු සම පැවැතුම් ඇත්තාහු වෙත්ද, එහෙයින් ‘සාජීව’යි කියනු ලැබේ. ‘තස්මිං සික්ඛති’ කිසිසේත් ඒ ශික්ෂාපදය සිතට ආධාර ස්ථානකොට ශික්ෂාපදය ලෙසින් හික්මෙම්ද, නොහික්මෙම්දැයි සිතින් බලමින් හික්මේද හුදෙක් මෙතෙමේ ඒ සාජීවසඞ්ඛ්යාත ශික්ෂාපදයෙහිම හික්මෙන්නේ නොවේ. ත්රිවිධ ශික්ෂාවෙහිද හික්මෙන්නේය. ‘එතං සාජීවං නාම’ යන මේ අනතුරු පදයාගේ වසයෙන් එහි හික්මේයයි වදාරණ ලද්දේය. ඒ මෙසේ වදාරණ ලද්දේ නමුත් අධිශීල සඞ්ඛ්යාත ශික්ෂාවෙහි ශීලසංවරය පුරමින් හික්මෙයි. භාග්යවතුන් වහන්සේගේ වචන සඞ්ඛ්යාත ශික්ෂාපද නොඉක්මවමින් ඒ ශික්ෂාපදයෙහි හික්මේයයි මෙහි මෙසේ අර්ත්ථ දතයුතුය. ‘තෙන වුච්චති සාජීවසමාපන්නො’ මෙද අනන්තර වූ සාජීව පදයේම වසයෙන් වදාරණ ලදී. යම්හෙයකින් හෙතෙමේ ශික්ෂාවටත් පැමිණියේවේද, එහෙයින් ශික්ෂාසමාපන්නයයිද අර්ත්ථ වශයෙන් දත යුතුය. මෙසේ ගත්කල්හි ‘සික්ඛාසාජීවසමාපන්නො’ යන මේ පදයෙහි පදභාජනයද සම්පූර්ණ වන්නේය. ‘