භික්ඛුපදභාජනීයවණ්ණනා
දැන් ශික්‍ෂාපද විභඞ්ගය පිළිබඳ අර්‍ත්‍ථ වර්‍ණනාව කරන්නෙමු. ‘යො පනාති යො යාදිසො’ යනාදි වසයෙන් යමක් වදාරණ ලද්දේ ද, එහි ‘යො පන’ යනු බෙදියයුතු පදයයි. ‘යො යාදිසො’ යනාදීහු එය බෙදන පදයි. මෙහිද යම්හෙයකින් ‘පන’ යනු නිපාත මාත්‍රයක්වේද, ‘යො’ යනු අර්‍ත්‍ථ පදයවේද, එද අනියමින් පුද්ගලයෙකු දක්වාද, එහෙයින් එහි අර්‍ත්‍ථය දක්වන සේක් අනියමයෙන් පුද්ගලයා දක්වන ‘යො’ ශබ්දයම දක්වා වදාළ සේක. එහෙයින් මෙහි මෙසේ අර්‍ත්‍ථය දතයුතුය: ‘යො පන’යි යම් කිසිවෙකැයි කියන ලද්දේ වේ. යම්හෙයකින් වනාහි යම් ඒ එකෙක් යම් කිසිවෙක්නම්වේද, මෙතෙමේ එකාන්තයෙන් ලිඞ්ග - යුත්ත - ජාති - නාම - ගොත්ත - සීල - විහාර - ගොචර - වයස් යන මෙතැන්හි එක්අයුරකින් දක්නා ලැබේද, එහෙයින් එය එසේ දක්වන්නට ප්‍රභේදය ප්‍රකාශ කරන සේක් ‘යාදිසො’ යනාදිය වදාළ සේක.
එහි ‘යාදිසො’ යනු ලිඞ්ග වශයෙන් යම්බඳුවූවෙක් හෝ එබඳුවූවෙක් වේවා: දිග්වූවෙක් හෝ මිටිවූවෙක් හෝ කලුවූවෙක් හෝ සුදුවූවෙක් හෝ මගුරු පැහැතියෙක් හෝ කෘශවූවෙක් හෝ තරවූවෙක් හෝ යන අර්‍ත්‍ථයි. ‘යථා යුත්තො’ යොග වශයෙන් යම් ඒ යෝගයකින් යෙදුනෙක් හෝ වේවා: නවකම්හි යෙදුනෙක් හෝ උදෙසීමෙහි යෙදුනෙක් හෝ විදර්‍ශනා ධූරයෙහි යෙදුනෙක් හෝ වේවා යන අර්‍ත්‍ථයි. ‘යථා ජච්චො’ ජාති වශයෙන් යම් ජාති ඇත්තෙක් හෝ ඒ ජාති ඇත්තෙක් හෝ වේවා: ක්‍ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ වේවා! යන අර්‍ත්‍ථයි. ‘යථා නාමො’ නාම වශයෙන් යම්සේ නාම ඇත්තෙක් හෝ එසේ නාම ඇත්තෙක් හෝ වේව: බුද්ධරක්‍ඛිත හෝ ධම්මරක්‍ඛිත හෝ සඞ්ඝරක්‍ඛිත හෝ වේවා! යන අර්‍ත්‍ථයි. ‘යථා ගොත්තො’ ගොත්‍ර වශයෙන් යම්සේ ගොත්‍ර ඇත්තෙක් හෝ එසේ ගොත්‍ර ඇත්තෙක් හෝ වේවා: යම් ඒ ගොත්‍රයකින් කච්චායන හෝ වාසෙට්ඨ හෝ කොසිය හෝ වේවා! යන අර්‍ත්‍ථයි. ‘යථා සීලො’ ස්වභාවයන් අතුරෙහි යම් ස්වභාව ඇත්තෙක් හෝ එබඳු ස්වභාව ඇත්තෙක් හෝ වේවා! නවකර්‍මස්වභාව ඇත්තෙක් හෝ උද්දෙස ස්වභාව ඇත්තෙක් හෝ විදර්‍ශනාධූර ස්වභාව ඇත්තෙක් හෝ වේවා! යන අර්‍ත්‍ථයි. ‘යථා විහාරී’ විහරණයන් අතුරෙහි යම්සේ විහරණ ඇත්තෙක් හෝ එසේ විහරණ ඇත්තෙක් හෝ වේවා:- නවකර්‍මවිහරණ ඇත්තෙක් හෝ උද්දෙස විහරණ ඇත්තෙක් හෝ විදර්‍ශනාධූර විහරණ ඇත්තෙක් හෝ වේවා! යන අර්‍ත්‍ථයි. ‘යථා ගොචරො’ ගොචරයන් අතුරෙහි යම්සේ ගොචර ඇත්තෙක් හෝ එසේ ගොචර ඇත්තෙක් හෝ වේවා! නවකර්‍මගොචරයෙක් හෝ උද්දෙස ගොචරයෙක් හෝ විදර්‍ශනාධූරගොචරයෙක් හෝ වේවා! යන අර්‍ත්‍ථයි. ‘ථෙරො වා’ යනාදි තන්හි වයසින් වැඩී සිටියවුන් අතුරෙහි යමෙක් හෝ වේවා, ඒ එකෙක් හෝ වේවා, පිරිපුන් දසවස් ඇති බැවින් ස්ථවිර හෝ උනුපස්වස් ඇති බැවින් නවක හෝ අයිරිත් පස්වස් ඇති බැවින් මද්ධ්‍යම හෝ වේවා! යන අර්‍ත්‍ථයි. එහෙත් මේ සියලුදෙනම ‘එසො වුච්චති යො පන’ යන මේ අර්‍ත්‍ථයෙහිලා ගැණේ.
භික්‍ෂුනීර්‍දෙශයෙහි - සිඟානුයි ‘භික්‍‍‍ඛක’ නම් වේ. භික්‍ෂාව ලබනුයේ හෝ නොලබනුයේ හෝ ආර්‍ය්‍යා වචනයෙන් සිඟා යන්නේය යන අර්‍ත්‍ථයි. බුද්ධාදීන් විසින් පැමිණි පිඩුසිඟා යෑමෙහි යෙදුනු බැවින් භික්‍ෂා චර්‍ය්‍යයට එළැඹියේ නම්වේ. යම්කිසිවෙක් වනාහි ස්වල්ප වූ හෝ මහත්වූ හෝ භොගරාශිය හැරදමා ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වූයේවේද, හෙතෙමේ සීසෑම් ගෙරිරැකීම් ආදියෙන් ජීවිකාව කිරීම හැරපියා, ශ්‍රමණ ලිඞ්ගය පිළිගැනීම හේතුකොටගෙනම පිඩු පිණිස හැසිරීමට පැමිණියේනුයි භික්‍‍‍ඛුනම. පරා පිළිබඳ ජීවිකාව ඇති බැවින් හෝ වෙහෙර මැද හිඳ කදින් ගෙනෙන ලද බත් අනුභව කරනුයේද, පිඩු පිණිස හැසිරීමට පැමිණියේනුයි භික්‍ඛූනම. පිණ්ඩියාලොප භොජනය නිසා පැවිද්දෙහි උත්සාහ හටගත් බැවින් හෝ පිඩු පිණිස හැසිරීමට පැමිණියේනුයි භික්‍‍‍ඛුනම. අගය, පහස, පැහැය යන මේදයේ පළමු පැවති ස්වභාවය දුරුවීමෙන් භින්න වූ පට දරානුයි භින්නපටධර නම. එහි සැතින් සිඳීමෙන් අගය බිඳීයෑම දතයුතුය. දහසක් අගනාවූද වස්ත්‍රය කුදුමහත් කඩකඩකොට සැතින් සිඳින ලද්දේ බිඳීගිය වටිනාකම් ඇත්තේය. මුල් අගයෙන් අඩකුදු නොවටින්නේය. හුයෙන් මැසීම හෙතුකොට පහස බිඳීයෑම දතයුතුය. සුවපහස් ඇති වස්ත්‍රය හූවලින් මසන ලද්දේ බිඳීගිය පහස ඇත්තේ වේ. රළුපහස් ඇති බවට පැමිණෙන්නේය. හිඳිමල ආදිය හේතුකොට පැහැය බිඳීයෑම දතයුතුය. ඉතා පිරිසිදුවූද වස්ත්‍රය හිඳිකම්හි පටන් හිදිමලින්ද අත්හිවූ ඩහදිය, මල, දැලි, ආදියෙද අවසන්හි රඳන් ගැන්වීමෙන් හා කප්බිඳු තැබීමෙන්ද බිඳුනු පැහැය ඇත්තේ වේ. පියවි පැහැය හැර සිටුනේය. මෙසේ තුන්අයුරකින් බිඳීගිය වස්ත්‍ර දරණ බැවින් භින්නපට ධරණුයේ භික්‍ඛුනම. ගිහින්ගේ වස්ත්‍රයන්ට විසභාග වූ හෝ කසටවත් දැරීම් පමණකින්ම භින්නපට ධරණුයේනුයි භික්‍‍‍ඛුනම.
‘සමඤ්ඤාය’ ප්‍රඥප්තියෙන්, ව්‍යවහාරයෙන් යන අර්‍ත්‍ථයි. ඇතැම් එකෙක් ව්‍යාවහාරයෙන්ම ‘භික්‍‍‍ඛු’යි පෙනෙන්නේය. ඒ එසේමය. නිමන්ත්‍රණාදියෙහි භික්‍ෂූන් ගණිනු ලබන කල්හි හෙරණුන්ද ගෙන, මහණහු සියයක, මහණහු දහසකැයි කියත්. ‘පටිඤ්ඤාය’ තමන්ගේ ප්‍රතිඥාවෙන් හෝ ඇතැම් එකෙක් ප්‍රතිඥාවෙනුදු ‘භික්‍‍‍ඛු’යි පෙනෙන්නේය. මෙහි ‘කවරෙක් වේදැ’යි විචාළ කල්හි ‘ඇවැත! මම භික්‍ෂු වෙමි’යි මේ ආදි තන්හි ඒ ප්‍රතිඥාවෙහි සම්භවය දතයුතුය. ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විසින් වදාළ බැවින් මෝ ධාර්මික ප්‍රතිඥාවක් වේ. රාත්‍රි කාලයෙහි පෙරමග එන දුශ්ශීලයෝද ‘මෙහි කවරෙක්දැ’යි ඇසූ කල්හි අධිශීල ශික්‍ෂාදි භික්‍ෂුගුණ රහිත වූ අධාර්මික ප්‍රතිඥාවෙන් ‘අපි භික්‍ෂු වම්හ’යි කියත්.
‘එහි භික්‍‍‍ඛූති භික්‍‍‍ඛු’ නම්. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘එව මහණ!’යි වදාළ වචන මාත්‍රයෙන්ම භික්‍ෂුභාවයට, එහිභික්‍ෂුපසම්පදාවට පැමිණි මහණතෙමේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි එහිභික්‍ෂුභාවයට හෙතුසම්පත් ඇති පුද්ගලයෙකු දැක, තමන්වහන්සේ පෙරවූ රත්පවුල් සිවුරු අතරින් ස්වර්‍ණවර්‍ණ වූ දක්‍ෂිණ ශ්‍රී හස්තය බැහැරට ගෙන බ්‍රහ්මඝොෂය විහිදුවමින් ‘මහණ! මෙහි එව, දුක් කෙළවර කිරීම පිණිස මනාකොට බඹසර හැසිරෙව’යි වදාරණ සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ වචනය සමගම ඔහුගේ ගිහි ලකුණු අතුරුදහන් වන්නේය. ඒ හා ඔහුට පැවිද්ද හා උපසම්පදාව උපදී. හිස මුඩුව හැඳි කසාවත් ඇත්තේ වේ. එකක් හැඳ එකක් පෙරවගෙන එකක් උරහිස තබා වම්උරහිස ලැගුනු නිලුපුල් පැහැති මැටිපයක් ඇත්තේ වේ.