චතුබ්බිධවිනයකථා
දැන් මේ ශික්‍ෂාපදයාගේ අර්‍ත්‍ථය විභජනය කරන සේක් ‘යො පනාති යො යාදිසො’ යනාදිය වදාළ සේක. ඒ ශික්‍ෂාපදයෙහිද, ශික්‍ෂාපදවිභඞ්ගයෙහිද, සියලු විනයවිනිශ්චයෙහිද දක්‍ෂභාවය පතන්නහු විසින් චතුර්විධ විනය දතයුත්තේය.
‘චතුබ්බිධං හි විනයං- මභාථෙරා මහිද්ධිකා,
නීහරිත්‍වා පකාසෙසුං - ධම්මසඞ්ගාහකා පුරා’
පෙර මහත් සෘද්ධි ඇති ධර්‍මසඞ්ග්‍රාහක මහාස්ථවිරයන් වහන්සේලා සිවුවැදෑරුම් වූ විනය සසුනෙන් ඇද ප්‍රකාශ කළහ.
චතුර්විධ විනය කවරේදයත්: ‘සුත්ත - සුත්තානුලොම - ආචරියවාද - අත්තනොමති’යි යනමේය. ‘ආහච්චපදෙන ඛො මහාරාජ! රසෙන ආචරියවංසතා අධිප්පායො’ යනු යමක් සඳහා කියන ලද්දේද, මෙහි ‘ආහච්චපදං’ යන මෙයින් සූත්‍රයද, ‘රසෙන’ යන මෙයින් සූත්‍රානුලොමයද, ‘ආචරියවංසතා’ යන මෙයින් ආචාර්‍ය්‍යවාදයද, ‘අධිප්පායො’ යන මෙයින් අත්තනොමතියද දක්වන ලදය.
එහි ‘සූත්‍ර’ නම්, සියලු විනය පිටකයෙහි පාළියය.
‘සූත්‍රානුලොම’ නම් සතර මහාප්‍රදෙශයෝය. ‘මහණෙනි! මා විසින් යමක් මෙය කැප නොවේය’යි බැහැර නොකරන ලදද, ඉදින් එය නොකැපයට අනුලොම් වේ නම්, කැපය ප්‍රතිබාහනය කෙරේ නම් එය තොපට කැප නොවේ. මහණෙනි! මා විසින් යමක් මෙය කැප නොවේය’යි බැහැර නොකරන ලදද, ඉදින් එය කැපයට අනුලොම් වේනම්, නොකැපය ප්‍රතිබාහනය කෙරේ නම් එය තොපට කැපවේ. මහණෙනි! මා විසින් යමක් මෙය කැපවේය’යි නොඅනුදන්නා ලදද, ඉදින් එය නොකැපයට අනුලොම් වේනම්, කැපය ප්‍රතිබාහනය කෙරේ නම්, එය තොපට කැප නොවේ. මහණෙනි! මා විසින් යමක් මෙය කැපවේය’යි නොඅනුදන්නා ලදද, ඉදින් එය කැපයට අනුලොම් වේනම්, නොකැපය ප්‍රතිබාහනය කෙරේ නම් එය තොපට කැපවේය යනුයි.
ආචාර්‍ය්‍යවාදනම්, ධර්‍මසඞ්ග්‍රාහක වූ පන්සියයක් රහතුන් වහන්සේලා විසින් තබන ලද පාළියෙන් විනිර්මුක්ත වූ ධර්‍මයට එක්වන් පිවිස සිටි අතරතුර කියනලද ධර්‍මවිනිශ්චය වශයෙන් පැවති අර්‍ත්‍ථකථා පාලියයි.
අත්තනොමති නම්. සූත්‍ර - සූත්‍රානුලොම - ආචාර්‍ය්‍යවාද හැරපියා නිශ්චයානුගත වූ සුත්‍රාදියටම අනුව ගිය තමාගේ බුද්ධියෙන් සූත්‍රාදියෙන් ලැබිය යුතු වූ නයග්‍රාහයෙන් එළඹසිටි ආකාරය කියාපෑමය.
තවද සුත්‍රාභිධර්‍ම විනයාර්‍ත්‍ථ කථාවන්හි ආවාවූ සියලුම ස්ථවිරවාදය අත්තනොමතිනම්. ඒ අත්තනොමතිය ගෙන කියන්නහු විසින් එය දැඩිකොටගෙන ව්‍යාවහාර නොකට යුතුය. කාරණය සලකා තමන් සැලකූ අර්‍ත්‍ථය හා පෙළද, පෙළ හා අර්‍ත්‍ථයද සසඳා කියයුතුය. අත්තනොමතිය ආචාර්‍ය්‍යවාදයෙහි නුවණින් බහාලිය යුතුය. ඉදින් එහි බැස ගනීනම්, සමවේනම් ගතයුතුය. ඉදින් නොබසීනම්, සමනොවේනම් නොගත යුතුය. මේ අත්තනොමතිය වනාහි සියල්ලට වඩා දුර්‍වල වේ. අන්තනොමතියට වඩා ආචාර්‍ය්‍යවාදය ඉතා බලවත් වේ.
ආචාර්‍ය්‍යවාදය සූත්‍රානුලොමයෙහි බහාලිය යුතුය. එහි බැසගන්නේම ගතයුතුය. බැසනොගන්නේ නොගතයුතුය. ආචාර්‍ය්‍යවාදයට වඩා සූත්‍රානුලෝමය ඉතා බලවත් වේ.
සූත්‍රානුලොමයද සූත්‍රයෙහි බහාලිය යුතුය. එහි බසින්නේම ඒ හා සමවන්නේම ගතයුතුය. සමනොවන්නේ නොගත යුතුය. සූත්‍රානුලොමයට වඩා සූත්‍රයම ඉතා බලවත් වේ. සූත්‍රය ප්‍රතිබාහනය නොකටයුතුය. ප්‍රමාණ විසින් සඞ්ගීතිකාරක සඞ්ඝයා හා සමානය. බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලය හා සමාන වේ. එහෙයින් යම්කලෙක දෙනමක් භික්‍ෂූහු සාකච්ඡා කෙරෙත්ද, එකල්හි එහිදී යථාභූතාර්‍ත්‍ථය ගෙන කියන සකවාදීතෙමේ, තමාගේ සූත්‍රය ගෙන කියාලන්නේය. විපරීත විසින් අර්‍ත්‍ථය ගෙන කියන පරවාදී තෙමේ, සූත්‍රානුලොමය ගෙන කියාලන්නේය. ඔවුන් විසින් මෙයින් කිමැ’යි හෝ ‘මේ අඥතෙමේ කුමක් කියාදැ’යි හෝ බැහැර හෙලීමක් හෝ උනුනට ගැරහීමක් නොකොට පරවාදීහු විසින් කියු සූත්‍රානුලෝමය සකවාදීහු විසින් තමාගේ සූත්‍රයෙහි බහාලිය යුතුය. ඉදින් බසින්නේනම්, සමවන්නේනම්, ගතයුතුය. ඉදින් නොබසින්නේනම් නොසමවන්නේනම් නොගතයුතුය. තමාගේ සූත්‍රයෙහිම සිටිය යුතුය. නැවත මේ සකවාදීතෙමේ තමාගේ සූත්‍රය ගෙන කියාලන්නේය. පරවාදීතෙමේ ආචාර්‍ය්‍යවාදය ගෙන කියාලන්නේය. ඔවුන් විසිනුදු උනුන් බැහැර කිරීමක් හෝ උනුනට ගැරහීමක් නොකොට ආචාර්‍ය්‍යවාදය සූත්‍රයෙහි බහාලිය යුතුය. ඉදින් බසින්නේනම්, සමවන්නේනම් ගතයුතුය. නොබසින්නේනම්, නොසමවන්නේනම් ගැරහිය යුතු වූ ඒ ආචාර්‍ය්‍යවාදය නොගත යුතුය. සූත්‍රයෙහිම සිටිය යුතුය.
නැවත මේ සකවාදීතෙමේ තමාගේ සූත්‍රය ගෙන කියාලන්නේය. පරවාදීතෙමේ අත්තනොමතිය ගෙන කියාලන්නේය. ඔවුන් විසිනුදු උනුන් බැහැර කිරීමක් හෝ උනුනට ගැරහීමක් නොකොට අත්තනොමතිය තමාගේ සූත්‍රයෙහි බහාලිය යුතුය. ඉදින් බසින්නේනම්, සමවන්නේනම් ගතයුතුය. නොබසින්නේනම් නොසමවන්නේනම් නොගතයුතුය. සූත්‍රයෙහිම සිටිය යුතුය.
නැවත මේ සකවාදීතෙමේ තමාගේ සූත්‍රානුලොමය ගෙන කියාලන්නේය. පරවාදී තෙමේ තමාගේ සූත්‍රය ගෙන කියාලන්නේය. සූත්‍රය, තමාගේ සූත්‍රානුලොමයෙහි බහාලිය යුතුය. ඉදින් බසින්නේනම්, සමවන්නේනම් ත්‍රිවිධ සඞ්ගීතයට නැගූ පාළියෙහි ආයේ යයි පෙනේ නම් ගත යුතුය. ඉදින් එසේ නොපෙනේ නම් නොබසින්නේ නම්, නොසමවන්නේනම්, ත්‍රිවිධ සඞ්ගීතයට නොනැගූ බාහිරක සූත්‍රයක් හෝ වන්නේනම්, පද්‍යායයක් හෝ වන්නේ නම්, මහාසඞ්ගික නිකායිකයන්ගේ ගුළ්හවෙස්සන්තර - ගුළ්හවිනය - වේදල්ලාදීන් අතුරෙහි අන්‍යතර වශයෙන් ආවාඩු ගැරහිය යුතු සූත්‍රයක් හෝ වන්නේනම් නොගත යුතුය. සූත්‍රානුලොමයෙහිම සිටිය යුතුය.