වජ්ජිපුත්තකවත්ථුවණ්ණනා
යම් ඒ අන්‍ය වස්තුවකුත් උපන්නේද, දැන් එය දක්වන්නට ‘තෙන ඛො පන සමයෙන’ යනාදිය වදාළ සේක. එහිදු මේ අප්‍රකට පදයන්ගේ වර්‍ණනාය: ‘වෙසාලිකා’ විසල්පුර වැසි. ‘වජ්ජිපුත්තකා’ වැදැරට වෙසාලියෙහි කුලපුත්‍රයෝ. මේ ශාසනයෙහි යම් යම් උපද්‍රවයක් ආදීනවයක් අර්බුදයක් උපන්නේද, ඒ සියල්ල වජ්ජිපුත්‍රයන් නිසා උපන්නේය. ඒ එසේමය. දෙවදත්ත තෙමේද වජ්ජිපුත්‍රක පක්‍ෂය ලැබ සඞ්ඝයා බින්දේය. වජ්ජිපුත්‍රකයෝම භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් අවුරුදු සියයක් ගෙවී ගිය කල්හි ශාස්තෲ ශාසනය ධර්‍මයෙන් විනයෙන් පහවූවක්කොට දැක්වූහ. මොවුහුද ඔවුන්ගේම ඇතැම්හු වෙති. මෙසේ ශික්‍ෂාපදය පැනවූ කල්හිද ‘යාවදත්‍ථං නහායිංසු -පෙ- මෛථුනං ධම්මං පතිසෙවිංසු’ කැමතිතාක් ස්නානය කළහ. -පෙ- මෙවුන්දම් සෙවනය කළහ.
‘ඤාතිබ්‍යසන්නෙපි’ මෙහි අසන - ව්‍යසන වික්‍ඛෙප - විද්ධංසන - විනාශ යන මේ සියල්ල එකාර්‍ත්‍ථවත් වේ. ඥාතීන්ගේ ව්‍යාසනය ඤාතිව්‍යසන නම් වේ. ඒ ඤාතිව්‍යසනයෙන්. රාජදණ්ඩ - ව්‍යාධි - මරණ - විප්‍රවාස යන මොවුන්ගේ හෙතුවෙන් වූ ඤතිව්‍යසනයෙන් යන අර්‍ත්‍ථයි. දෙවන පදයෙහිද මේ ක්‍රමය වේ. තෙවන පදයෙහි ආරොග්‍යය නසන රොගයම රොගව්‍යසන නම්. ඒ රෝගය ආරොග්‍යය වනසන්නේය. විසුරුවන්නේය. විනාශ කරන්නේනුයි ව්‍යසනනම්. රොගයම බ්‍යසනනුයි රොගව්‍යසන නම් වේ. ඒ රොගව්‍යසනයෙන්. ‘ඵුට්ඨා’ පීඩාවට පැමිණියහ. මඩින ලද්දාහ. යුක්තයහ යන අර්‍ත්‍ථයි.
‘න මයං භන්තෙ ආනන්‍ද බුද්ධගරහිනො’ ස්වාමීනි! ආනන්‍ද ස්ථවිරයන් වහන්ස! අපි බුදුරජාණන් වහන්සේට නොගරහමු. බුදුරජාණන් වහන්සේට දොස් නොකියමු. ‘න ධම්මගරහිනො න සඞ්ඝ ගරහිනො අත්තගරහිනො මයං’ අපි ධර්‍මයට නොගරහන්නමෝය. සඞ්ඝයාට නොගරහන්නමෝය. තමන්ටම ගරහන්නමෝය. තමන්ගේම දොස් කියන්නෙමු. ‘අලක්‍ඛිකා’ නිශ්ශ්‍රීකයෝ වම්හ ‘අප්පපුඤ්ඤා’ මද පිණැත්තෝ වම්හ. ‘විපස්සකා කුසලානං ධම්මානං’ අටතිස් අරමුණෙහිලා බෙදූ ප්‍රථමධ්‍යානාදී වූ යම් කුශල ධර්‍මයෝ වෙත්ද, ඒ ධර්‍මයන් විදර්‍ශනා කරන්නමෝය. ඒ ඒ අරමුණෙන් නැගිට ඒ ධර්‍මයන්ම විශේෂයෙන් දක්නමෝය, යන අර්‍ත්‍ථයි. ‘පුබ්බරත්තාපරරත්තං’ රාත්‍රිය පිළිබඳ පූර්‍වකාලය පුබ්බරත්තනම. රාත්‍රිය පිළිබඳ අපරකාලය අපරරත්තනම. මෙයින් රාත්‍රිය පිළිබඳ පූර්‍වයාමයත් රාත්‍රිය පිළිබඳ පශ්චිම යාමයත් කියන ලද්දේ වේ. ‘බොධි පක්‍ඛිකානං’ අර්‍හනමාර්‍ගඥානයාගේ පක්‍ෂයෙහි වූ අර්‍හනමාර්‍ගඥානයට උපකාර වූ, යන අර්‍ත්‍ථයි. ‘භාවනානුයොගං’ එක්වන් භාවනා වැඩීමෙහි. ‘අනුයුත්තා විහරෙය්‍යාම’ ගිහිපළිබොධ හා ආවාසපළිබොධ හැරපියා විවික්ත සේනාසනයන්හි යුක්තප්‍රයුක්ත වූවමෝ අන්කටයුතු නැත්තමෝ වාසය කරන්නෙමු.
‘එවමාවුසො’ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මොවුන්ගේ අදහස නොදන්නාහු ඔවුන්ගේ මේ මහත් ගර්‍ජනාව අසා ‘මොවුහු මෙබන්දෝ වන්නාහුනම් මැනවැ’යි හඟින්නාහු ‘ඇවැත්නි! එසේය’යි පිළිගත්හ. ‘අට්ඨානං අනවකාසො’ මේ දෙපදයම කාරණ ප්‍රතික්‍ෂෙප වචනයි. එහි කාරණය වනාහි යම්හෙයකින් එහි එයට අයත් පැවතුම් ඇති බැවින් ඵලය සිටීද, යම්හෙයකින් එයට අයත් පැවැතුම් ඇති බැවින් ඒ කාරණය මෙයට අවකාශවේද, එහෙයින් ඨානයිද අවකාශයිද කියනු ලැබේ. එය ප්‍රතික්‍ෂෙප කරනසේක් ‘අට්ඨානමෙතං ආනන්‍ද අනවකාසො’ යනු වදාළ සේක. මේ කාරණය හෝ අවකාශය නැත්තේය. ‘යං තථාගතො’ යම් කරුණකින් තථාගතයන් වහන්සේ වජ්ජීන්ට හෝ -පෙ- සමූහනය කරන්නාහුද, ඒ කාරණය නැත්තේය යන අර්‍ත්‍ථයි. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘ලභෙය්‍යාම උපසම්පදං’යි යාච්ඤා කරන්නා වූ මොවුනට උපසම්පදාව දෙන්නාහු නම්, එසේ ඇතිකල්හි ‘පාරාජිකො හොති අසංවාසො’යි පනවනලද ශික්‍ෂාපදය සමූහනය කරන්නාහ. යම්හෙයකින් වනාහි ඒ ශික්‍ෂාපදය සමූහනය නො කෙරෙත්ද, එහෙයින් ‘අට්ඨානමෙතං’ යනාදිය වදාළ සේක.