පකිණ්ණකකථා
මේ ශික්ෂාපදයෙහි දක්ෂභාවය පිණිස මේ ප්රකීර්ණකය දතයුතුය:
‘සමුට්ඨානඤ්ච කිරියා - අථො සඤ්ඤා සචිත්තකං
ලොකවජ්ජඤ්ච කම්මඤ්ච - කුසලං වෙදනාය ච’
ලොකවජ්ජඤ්ච කම්මඤ්ච - කුසලං වෙදනාය ච’
උත්පත්ති කාරණයද කියාද නැවත සංඥාවද සචිත්තකයද ලොකවද්යයද කර්මයද වෙදනාව හා කුශලයද යන මේය.
එහි ‘සමුට්ඨානං’ යනු සියලු ශික්ෂාපදයන්ගේ සඞ්ග්රහ වශයෙන් සවැදෑරුම් වූ ශික්ෂාපද සමුත්ථානයයි. ඒ සමුත්ථාන පරිවාරයෙහි පහළවන්නේය. සඞ්ක්ෂෙප වශයෙන් වනාහි ශික්ෂාපදයක් ෂට්සමුත්ථානයක් ඇත්තේය. චතුස්සමුත්ථාන ශික්ෂාපදයක් ඇත්තේය. ත්රිසමුත්ථාන ශික්ෂාපදයක් ඇත්තේය. කඨින සමුත්ථාන ශික්ෂාපදයක් ඇත්තේය. එළකලොමසමුත්ථාන ශික්ෂාපදයක් ඇත්තේය. ධුරනික්ෂෙපාදිසමුත්ථාන ශික්ෂාපදයක් ඇත්තේය.
සමුට්ඨාන වසයෙන් තෙළෙස්වැදෑරුම් වූ ශික්ෂාපද අතුරෙහි කිසි ශික්ෂාපදයක් ආපත්තිව්යතික්රම කරන්නහුගේ කිරීමෙන් උපදී. කිසි ශික්ෂාපදයක් ඉටීම් ආදිය නොකරන්නහුගේ නොකිරීමෙන් උපදී. කිසි ශික්ෂාපදයක් කිරීමෙන් හා නොකිරීමෙන් උපදී. කිසි ශික්ෂාපදයක් කිසිකලෙක කිරීමෙන් හා කිසිකලෙක නොකිරීමෙන් උපදී. කිසි ශික්ෂාපදයක් කිසිකලක කිරීමෙන් කිසිකලක කිරීමෙන් හා නොකිරීමෙන් උපදී.
ඒ ක්රියා අක්රියා වශයෙන් පස්වැදෑරුම් වූ ශික්ෂාපද අතුරෙහි ව්යතික්රම සංඥාවගේ අභාවයෙන් ඇවැතින් මිදීම ඇති සචිත්තකසමුට්ඨාන වූ සඤ්ඤාවිමොක්ඛ නම් ශික්ෂාපදයක් ඇත්තේය. ව්යතික්රමසංඥාවගේ අභාවයෙන් ඇවැතින් මිදීම නැති අචිත්තකසමුට්ඨාන වූ නොසඤ්ඤාවිමොක්ඛ නම්වූ ශික්ෂාපදයක් ඇත්තේය. එහි යම් ශික්ෂාපදයක් ආපත්තියට කරුණු වූ සංඥාව හා යෙදිගත් චිත්තාඞ්ගය ලබාමද ඒ ශික්ෂාපදය සඤ්ඤාවිමොක්ඛ නම්වේ. අන්ය වූ ප්රඥප්තිවද්ය ශික්ෂාපදය නොසඤ්ඤාවිමොක්ඛ නම්වේ.
නැවත ප්රඥප්තිවිජානනචිත්තය හාද වස්තුව්යතික්රමචිත්තය හාද යම් ඇවැතකට පැමිණේද ඒ සචිත්තකය. ප්රඥප්තිවිජානනචිත්තයෙන් හා වස්තුව්යතික්රමචිත්තයෙන් තොරව යම් ඇවතකට පැමිණේද ඒ අචිත්තකය. සචිත්තකසමූට්ඨානයෙන් යම් ඇවැතකට පැමිණේනම් ඒ සචිත්තකය. කිසිකලෙක අචිත්තක වූත් කිසිකලෙක සචිත්තකවූත් සමුට්ඨානයෙන් ඇවැතකට පැමිණේ නම් ඒ අචිත්තකය. ඒ සියලු ශික්ෂාපද ලොකවද්ය ප්රඥප්තිවද්යයි දෙවදෑරුම් වේ. ඒ ශික්ෂාපදයන්ගේ ලක්ෂණ මෛථුන ශික්ෂාපදයෙහි අනුප්රඥප්ති කථාවෙහි කියන ලද්දේමය.
කර්මකුශල වෙදනා වශයෙන්ද මෙහි කායද්වාරයෙන් පැමිණිය යුතුවූ ශික්ෂාපදයක් ඇත්තේය. වාග්ද්වාරයෙන් පැමිණිය යුතුවූ ශික්ෂාපදයක් ඇත්තේය. එහි යම් ශික්ෂාපදයක් කායද්වාරයෙන් පැමිණිය යුතුද ඒ ශික්ෂාපදය කායකර්ම නමි. යම් ශික්ෂාපදයක් වාග්ද්වාරයෙන් පැමිණිය යුතුද ඒ ශික්ෂාපදය වාක්කර්ම නමැයි දතයුතුය. කුසල් සිතින් පැමිණියයුතු වූ ශික්ෂාපදයක් ඇත්තේය. අකුසල් සිතින් පැමිණිය යුතු වූ ශික්ෂාපදයක් ඇත්තේය. අව්යාකෘත චිත්තයෙන් පැමිණිය යුතු වූ ශික්ෂාපදයෙක් ඇත්තේය. අෂ්ටකාමාවචර කුශලචිත්ත, ද්වාදශඅකුශලචිත්ත, හසිතොත්පාද, ව්යවස්ථාපනචිත්ත හා අෂ්ටමහාක්රියා චිත්ත, කුශලක්රියා විසින් අභිඥාචිත්ත යන මේ දෙතිස්චිත්ත ආපත්තිසමුට්ඨාපක චිත්තය. ඔවුනතුරෙහි යම් ඇවැතකට කුසල් සිතින් පැමිණේද ඒ කුශලය. යම් ඇවැතකට අන්යවූ අකුශල අව්යාකෘත චිත්තයෙන් පැමිණේද ඒ අන්ය වූ අකුශල අව්යාකෘතය. සුඛ, දුඃඛ, උපෙක්ඛා යන වෙදනා තුනෙන් පැමිණිය යුතු වූ ශික්ෂාපදයක් ඇත්තේය. සුඛ, දුඃඛ යන දෙවැදැරුම් වූ වේදනාවෙන් පැමිණිය යුතුවූ ශික්ෂාපදයක් ඇත්තේය. දුඃඛවෙදනාවෙන් පැමිණියයුතු වූ ශික්ෂාපදයක් ඇත්තේය. එහි යම් ශික්ෂාපදයකට පැමිණෙනුයේ මෙ කියූ ත්රිවිධවෙදනා අතුරෙහි එක්තරා වෙදනාවකින් යුක්තව පැමිණේද, ඒ ශික්ෂාපදය ත්රිවෙදනනම. යම් ශික්ෂාපදයකට පැමිණෙනුයේ සුඛසමඞ්ගීව හෝ උපෙක්ෂා සමඞ්ගීව හෝ පැමිණේද, ඒ ශික්ෂාපදය ද්විවෙදනනම. යම් ශික්ෂාපදයකට පැමිණෙනුයේ දුඃඛවෙදනා සමඞ්ගීවම පැමිණේද, ඒ ශික්ෂාපදය එකවෙදනනමැයි දතයුතුය. මෙසේ:-
‘සමුට්ඨානඤ්ච -පෙ- වෙදනාය ච’යි
ආ මේ මිශ්රකනය දැන ඒ සමුට්ඨානයන් අතුරෙහි මේ ශික්ෂාපදය සමුට්ඨාන විසින් එකසමුට්ඨාන වේ. අඞ්ග විසින් දුකසමුට්ඨාන වේ. කාය - චිත්ත දෙකින් උපදී. ක්රියසමුට්ඨානද වේ. කරන්නේම මේ ප්රථමපාරාජිකාපත්තියට පැමිණේ. බොහෝසෙයින් වන සැටියෙන් මේ කියන ලද්දේය. පරොපක්රමය ඇති කල්හි එය ඉවසන මහණහුට අක්රියසමුටඨානයෙන් වන හෙයිනි. මෛථුන ප්රතිසංයුක්ත කාමසංඥාවගේ අභාවයෙන් මිදෙන බැවින් සංඥා විමොක්ෂා නම. ‘නොදන්නහුට නොඉවසන්නහුට අනාපත්තිමැ’යි වදාරණ ලද්දේය. මෛථුන චිත්තයෙන්ම එයට පැමිණේ. සිතින් වෙන්ව නොපැමිණේයයි සචිත්තකනම. රාග වසයෙන්ම පැමිණියයුතු බැවින් ලොකවද්යය. කායද්වාරයෙන්ම හටගන්නා බැවින් කායකර්මය. මෙහිදී සිත වනාහි අඞ්ගමාත්රයක්ම වේ. ඒ චිත්තයෙහි වසයෙන් කර්මභාවය නොලැබේ. විඥප්තිජනක වශයෙන් කායද්වාරයෙහි පැවැති බැවින් ඒ චිත්තයාගේ වසයෙන් මේ ශික්ෂාපදයට කර්මභාවය නොලැබේ යනු අර්ත්ථයි. ලොභචිත්තයෙන් පැමිණයයුතු බැවින් අකුශල චිත්තයි. සුඛසමඞ්ගීව හෝ උපෙක්ෂාසමඞ්ගීව හෝ එයට පැමිණේනුයි ද්විවෙදනායි දතයුතුය. මේ සියල්ලම ආපත්තියෙහි යෙදෙන්නේය. ශික්ෂාපදශීර්ෂයෙන් වනාහි සියලු අර්ත්ථකථාවන්හි දෙශනා තොමෝ නැගුනීය. එහෙයින් මෙසේ කියන ලදය.
විනිශ්චිත කථාවස්තු
‘මක්කටී වජ්ජිපුත්තා ච -පෙ- බුඩ්ඪපබ්බජිතො මිගො’ යනු මේ කිම? විනීතවස්තූන් පිළිබඳ මේ ගාථා වනාහි භාග්යවතුන් වහන්සේ විසින්, තමන්වහන්සේ විසින් ‘ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකං, අනාපත්ති භික්ඛු පාරාජිකස්ස’ යනාදි වසයෙන් විනිශ්චය කරණලද ඒ ඒ වස්තූන්ගේ උද්දාන ගාථා නම්ය. සඞ්ග්රහ ගාථාය. ඒ වස්තූහු විනයධරයෝ සුවසේ උගන්නාහයි ධර්ම සඞ්ග්රාහක මහාස්ථවිරයන් වහන්සේ විසින් තබන ලදහ. නිදානවස්තුප්රකාශක වූ විනීතවස්තුගාථා භාග්යවතුන් වහන්සේ ධරමාන කාලයෙහිම උපාලි මහාස්ථවිරයන් වහන්සේ විසින් ‘මේ ලක්ෂණය කරුණුකොට මත්තෙහි විනයධරයෝ විනය විනිශ්චය කරන්නාහ’යි තබන ලදහ. එහෙයින් මෙහි කියූලක්ෂණ මැනවින් සලකා මැනැවින් උගෙන ප්රථම ශික්ෂාපදය විනිශ්චය කටයුතුය. ද්විතීය පාරාජිකාදීන්ගේද විනීතවස්තූන්හි කියූ ලක්ෂණයෙන් ද්විතීයාදී විනීත වස්තූහු විනිශ්චය කළයුත්තාහ. විනීතවස්තූහු වනාහි චිත්රකාරාදි ශිල්පීන්ගේ ආදර්ශරූප මෙන් විනයධරයන්ට ආදර්ශරූප වෙත්.
එහි ප්රථම මර්කටී - වජ්ජිපුත්රක වස්තුදෙක අනුප්රඥප්තියෙහිම කියනලද අර්ත්ථ ඇත්තේය. තෘතීය වස්තුවෙහි ‘ගිහිලිඞ්ගෙන’ ගිහිවෙසින් හැඳි සුදුවත් ඇත්තේ වේ. චතුර්ත්ථ වස්තුවෙහි කියයුතු කිසිවක් නැත්තේය. එයින් මතුවෙහි එන වස්තු සතෙහි ‘කුසචීරං’ කුසතණ ගොතා කළවැහැරිය. වාකචීර නම් තවුසන්ගේ හැඳීමට පෙරවීමට ගන්නා රුක්පතුරු ගොතා කළවැහැරිය. ඵලකවීර නම් පුවරු සටහන් ඇතිව පුවරු එක්කොට බැඳ මසා කළවැහැරීය. ‘කෙසකම්බලො’ මිනිස් කෙසින් හූ සකස්කොට වියා එයින් කළවැහැරිය. ‘වාලකම්බලො’ සෙමරවලින් වියා කරනලද වැහැරිය. ‘උලූකපක්ඛං’ බකමුහුණන්ගේ පියාපතින්කළ නිවාසනය. ‘අජිනක්ඛිපං’ ලොම් සහිත වූ ඛුර සහිත වූ අජිනමුවසමය. දොළොස්වන වස්තුවෙහි ‘සාරත්තො’ කායසංසර්ගරාගයෙන් තදින් ඇලීගියේය. භාග්යවතුන් වහන්සේ ඒ රාගය දැන ‘ආපත්ති සඞ්ඝාදිසෙසස්ස’ යනු වදාළ සේක.
තෙළෙස්වන වස්තුවෙහි ‘උප්පලවණ්ණා’ ඒ ස්ථවිරාතොමෝ සැවැත් නුවර සිටුදුවක. කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි කළ අභිනීහාරසම්පත්තියෙන් යුක්තවූය. ඇයගේ සිරුරුසිවිය ප්රකෘතියෙන්ම ඉතා දැකුම්කලුය. නිලුපුල් පැහැ ඇත්තීය. ඇතුළත කෙලෙස්තැවුලි නොවූ බැවින් ඉතා තදින් බැබලුනීය. ඕතොමෝ ඒ වර්ණසෞන්දර්ය්ය හෙතුකොටම ‘උත්පලවර්ණණා’ යන නම ලැබූය. ‘පටිබද්ධචිත්තො’ ගිහිකල පටන් ඇලුනු සිත් ඇත්තේය. හෙතෙමේ වනාහි ස්ථවිරාවන්ගේ නෑ දරුවෙක් වේ. ‘අථ ඛො’ යනු අනන්තරාර්ත්ථයෙහි නිපාතයකි. ඇඳෙහි වැතිර ගැනීමට අනතුරුවමැයි කියන ලද්දේය. දහවල බැහැරින් අවුත් දොර වසාගෙන හුන්නවුන්ට පළමුකොට ඇස් ඇඳිරිය වේ. හෙතෙමේ මැයගේ ඒ ඇස් ඇඳිරිය නොනැසේද එකෙණෙහිම මෙසේ කෙළේය යන අර්ත්ථයි. ‘දූසෙසි’ බලාත්කාරයෙන් අල්ලාගෙන නැසුයේය. ස්ථවිරාතොමෝ වනාහි වරද රහිතය. තමන්ගේ ශ්රමණසංඥාව එළවා නොඉවසන්නී අසද්ධර්මාද්ධ්යාසයෙන් පහස්නා ලද්දී ගිනි කඳක් ගල්ටැඹක් කිහිරිහර කණුවක් මෙන් හුන්නීය. හෙතෙමේද තමන්ගේ මනදොළ පුරවා ගෙන ගියේය. ස්ථවිරාවන්ගේ ඇස්හමුව ඔහු හරිත්ම මහමෙර උසුලා සිටින්නට සමර්ත්ථ වූ මේ මහා පොළොව බඹයක් පමණ සිරුරු ඇති ඒ පාපීපුරුෂයා උසුලා දරාගන්නට නොහැකියකු මෙන් දෙකඩව බිඳී ඔහුට විවර දුන්නේය. හෙතෙමේ එකෙණෙහිම අවීචි මහා නරකයෙහි ගිනිදැල්වල දරබවට ගියේය. භාග්යවතුන් වහන්සේ මේ පුවත අසා ‘අනාපත්ති භික්ඛවෙ අසාදියන්තියා’ යනු වදාරා ස්ථවිරාවන් ලක්කොට ධම්මපදයෙහි: