විනිශ්චිත කථාවස්තු
‘මක්කටී වජ්ජිපුත්තා ච -පෙ- බුඩ්ඪපබ්බජිතො මිගො’ යනු මේ කිම? විනීතවස්තූන් පිළිබඳ මේ ගාථා වනාහි භාග්යවතුන් වහන්සේ විසින්, තමන්වහන්සේ විසින් ‘ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකං, අනාපත්ති භික්ඛු පාරාජිකස්ස’ යනාදි වසයෙන් විනිශ්චය කරණලද ඒ ඒ වස්තූන්ගේ උද්දාන ගාථා නම්ය. සඞ්ග්රහ ගාථාය. ඒ වස්තූහු විනයධරයෝ සුවසේ උගන්නාහයි ධර්ම සඞ්ග්රාහක මහාස්ථවිරයන් වහන්සේ විසින් තබන ලදහ. නිදානවස්තුප්රකාශක වූ විනීතවස්තුගාථා භාග්යවතුන් වහන්සේ ධරමාන කාලයෙහිම උපාලි මහාස්ථවිරයන් වහන්සේ විසින් ‘මේ ලක්ෂණය කරුණුකොට මත්තෙහි විනයධරයෝ විනය විනිශ්චය කරන්නාහ’යි තබන ලදහ. එහෙයින් මෙහි කියූලක්ෂණ මැනවින් සලකා මැනැවින් උගෙන ප්රථම ශික්ෂාපදය විනිශ්චය කටයුතුය. ද්විතීය පාරාජිකාදීන්ගේද විනීතවස්තූන්හි කියූ ලක්ෂණයෙන් ද්විතීයාදී විනීත වස්තූහු විනිශ්චය කළයුත්තාහ. විනීතවස්තූහු වනාහි චිත්රකාරාදි ශිල්පීන්ගේ ආදර්ශරූප මෙන් විනයධරයන්ට ආදර්ශරූප වෙත්.
එහි ප්රථම මර්කටී - වජ්ජිපුත්රක වස්තුදෙක අනුප්රඥප්තියෙහිම කියනලද අර්ත්ථ ඇත්තේය. තෘතීය වස්තුවෙහි ‘ගිහිලිඞ්ගෙන’ ගිහිවෙසින් හැඳි සුදුවත් ඇත්තේ වේ. චතුර්ත්ථ වස්තුවෙහි කියයුතු කිසිවක් නැත්තේය. එයින් මතුවෙහි එන වස්තු සතෙහි ‘කුසචීරං’ කුසතණ ගොතා කළවැහැරිය. වාකචීර නම් තවුසන්ගේ හැඳීමට පෙරවීමට ගන්නා රුක්පතුරු ගොතා කළවැහැරිය. ඵලකවීර නම් පුවරු සටහන් ඇතිව පුවරු එක්කොට බැඳ මසා කළවැහැරීය. ‘කෙසකම්බලො’ මිනිස් කෙසින් හූ සකස්කොට වියා එයින් කළවැහැරිය. ‘වාලකම්බලො’ සෙමරවලින් වියා කරනලද වැහැරිය. ‘උලූකපක්ඛං’ බකමුහුණන්ගේ පියාපතින්කළ නිවාසනය. ‘අජිනක්ඛිපං’ ලොම් සහිත වූ ඛුර සහිත වූ අජිනමුවසමය. දොළොස්වන වස්තුවෙහි ‘සාරත්තො’ කායසංසර්ගරාගයෙන් තදින් ඇලීගියේය. භාග්යවතුන් වහන්සේ ඒ රාගය දැන ‘ආපත්ති සඞ්ඝාදිසෙසස්ස’ යනු වදාළ සේක.
තෙළෙස්වන වස්තුවෙහි ‘උප්පලවණ්ණා’ ඒ ස්ථවිරාතොමෝ සැවැත් නුවර සිටුදුවක. කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි කළ අභිනීහාරසම්පත්තියෙන් යුක්තවූය. ඇයගේ සිරුරුසිවිය ප්රකෘතියෙන්ම ඉතා දැකුම්කලුය. නිලුපුල් පැහැ ඇත්තීය. ඇතුළත කෙලෙස්තැවුලි නොවූ බැවින් ඉතා තදින් බැබලුනීය. ඕතොමෝ ඒ වර්ණසෞන්දර්ය්ය හෙතුකොටම ‘උත්පලවර්ණණා’ යන නම ලැබූය. ‘පටිබද්ධචිත්තො’ ගිහිකල පටන් ඇලුනු සිත් ඇත්තේය. හෙතෙමේ වනාහි ස්ථවිරාවන්ගේ නෑ දරුවෙක් වේ. ‘අථ ඛො’ යනු අනන්තරාර්ත්ථයෙහි නිපාතයකි. ඇඳෙහි වැතිර ගැනීමට අනතුරුවමැයි කියන ලද්දේය. දහවල බැහැරින් අවුත් දොර වසාගෙන හුන්නවුන්ට පළමුකොට ඇස් ඇඳිරිය වේ. හෙතෙමේ මැයගේ ඒ ඇස් ඇඳිරිය නොනැසේද එකෙණෙහිම මෙසේ කෙළේය යන අර්ත්ථයි. ‘දූසෙසි’ බලාත්කාරයෙන් අල්ලාගෙන නැසුයේය. ස්ථවිරාතොමෝ වනාහි වරද රහිතය. තමන්ගේ ශ්රමණසංඥාව එළවා නොඉවසන්නී අසද්ධර්මාද්ධ්යාසයෙන් පහස්නා ලද්දී ගිනි කඳක් ගල්ටැඹක් කිහිරිහර කණුවක් මෙන් හුන්නීය. හෙතෙමේද තමන්ගේ මනදොළ පුරවා ගෙන ගියේය. ස්ථවිරාවන්ගේ ඇස්හමුව ඔහු හරිත්ම මහමෙර උසුලා සිටින්නට සමර්ත්ථ වූ මේ මහා පොළොව බඹයක් පමණ සිරුරු ඇති ඒ පාපීපුරුෂයා උසුලා දරාගන්නට නොහැකියකු මෙන් දෙකඩව බිඳී ඔහුට විවර දුන්නේය. හෙතෙමේ එකෙණෙහිම අවීචි මහා නරකයෙහි ගිනිදැල්වල දරබවට ගියේය. භාග්යවතුන් වහන්සේ මේ පුවත අසා ‘අනාපත්ති භික්ඛවෙ අසාදියන්තියා’ යනු වදාරා ස්ථවිරාවන් ලක්කොට ධම්මපදයෙහි:
‘වාරිපොක්ඛරපත්තෙව - ආරග්ගෙරිව සාසපො,
යො න ලිම්පති කාමෙසු - තමහං බ්රෑමි බ්රාහ්මණං’ යන මේ ගාථාව වදාළ සේක.
යො න ලිම්පති කාමෙසු - තමහං බ්රෑමි බ්රාහ්මණං’ යන මේ ගාථාව වදාළ සේක.
තුදුස්වන වස්තුවෙහි ‘ඉත්ථිලිඞ්ගං පාතුභූතං’ යනු රෑ නින්දට වැටුනහුයේ යටඋඩරැවුල් ආදී වූ සියලු පුරුෂ සටහන් අතුරුදහන් වූයේය. ස්ත්රී සටහන් උපන්නේය. ‘තඤ්ඤෙව උපජ්ඣං තමෙව උපසම්පදං’ යනු පෙරගත් උපාධ්යායයාම පෙරකළ උපසම්පදාවම අනුදනිමි. නැවත උපාද්ධ්යායයෙක් නොගතයුතුය. උපසම්පදාතොමෝ නොකටයුත්තීය යන අර්ත්ථයි. ‘තානි වස්සානි’ යනු භික්ෂු උපසම්පදාවෙහි පටන් යම් වස් ගිනීමක්වේද, ඒ වස් ගිනීමම අනුදනිමි. මෙතැන්සිට වස්ගිනීම නොකටයුතුය යන අර්ත්ථයි. ‘භික්ඛුනීහි සඞ්කමිතුං’ යනු මැයට භික්ෂුණීන් සමග එක්වන්නට අනුදනිමි යන අර්ත්ථයි. ‘දැන් මැයට භික්ෂූන් මැද විසීම නොසුදුසුය, මෙහෙණවරට ගොස් භික්ෂුණීන් සමග වෙසේවා’යි වදාරණ ලද්දේ වේ. ‘යා ආපත්තියො භික්ඛූනං භික්ඛුනීහි සාධාරණා’ භික්ෂූන්ගේ දෙසනාගාමිනී වූ හෝ වුට්ඨානගාමිනී වූ හෝ යම් ආපත්තීහු භික්ෂුණීන් සමග සාධාරණ වෙත්ද ‘තා ආපත්තියො භික්ඛුනීනං සන්තිකෙ වුට්ඨාතුං’ යනු ඒ සියළුම ආපත්තී භික්ෂුණීන් විසින් කටයුතු වූ විනයකර්මයකොට භික්ෂුණීන්ගේ හමුවෙහිදී නැගීසිටින්නට අනුදනිමි යන අර්ත්ථයි. ‘තාහි ආපත්තීහි අනාපත්ති’ භික්ෂූණීන් හා අසාධාරණ වූ භික්ෂූන්ගේ යම් සුක්කවිසට්ඨි ආදීවූ ආපත්තීවේද ඒ ආපත්තීන්ගෙන් අනාපත්ති වේ. ලිඞ්ගපරිවර්තනය හාම ඒ ආපත්තී නැගීසිටියාහුම වෙත්. නැවත ප්රකෘතිලිඞ්ගය උපන්කල්හිද ඒ ආපත්තීන්ගෙන් ඔහුට අනාපත්තිමය. මේ වනාහි මෙහි පාලි විනිශ්චය වේ.
මේවනාහි පෙළින් මිදුනු ආචාර්ය්යවාදයෙහි බැසගත් පැමිණියයුතු අනුකූල ගුණයට වැදැසිටි විනිශ්චය වේ: මේ දෙවැදැරුම් ලිඞ්ගයන් අතුරෙහි පුරුෂලිඞ්ගය උතුම් වේ. ඒ ලිඞ්ගය ලාමක වේ. එහෙයින් පුරුෂලිඞ්ගය පරදාරකර්මාදීවූ බලවත් අකුශලය හේතුකොට අතුරුදහන් වේ. ස්ත්රීලිඞ්ගය දුර්වලකුශලය හේතුකොට පිහිටන්නේය. ස්ත්රීලිඞ්ගය අතුරුදහන්වනුයේ දුර්වල අකුශලය හෙතුකොට අතුරුදහන් වේ. පුරුෂලිඞ්ගය බ්රහ්මචර්ය්යවාසාදී වූ බලවත් කුශලය හෙතුකොට පිහිටාගන්නේය. මෙසේ ද්විවිධ වූ ලිඞ්ගයම අකුසල් හේතුකොට අතුරුදහන් වේ. කුසල් හේතුකොට පිළිලබයි.
එහි ඉදින් එක්ව සජ්ඣායනය හෝ ධර්ම සාකච්ඡා හෝ කොට එක්ගෙයක වැදහෙව නින්දට වැටුනු භික්ෂූන් දෙනම අතුරෙහි එකක්හට ස්ත්රීලිඞ්ගය පහළවේද, දෙදෙනාහටම සහස්යොපත්තිය වේ. ඉදින් හෙතෙමේ නින්දෙන් නැගිට තමන්ට සිදුවූ ඒ විප්රකාරය දැක දුක් ඇත්තේ, නොසතුටු සිත් ඇත්තේ රාත්රිකාලයෙහිම අන් මහණහුහට සැලකරන්නේනම් ඔහු විසින් අස්වැසිය යුතුය: ඒවා නොසිතුව මැනව, මෙය සංසාරයෙහිම දොෂයෙක, සම්මා සම්බුදුරජුන් විසින් දොර දෙන ලදී. මහණෙක් හෝ මෙහෙණක් වේවා පර්ය්යාප්ති, ප්රතිපත්ති, ප්රතිවෙධ සඞ්ඛ්යාත ධර්මය ඔවුනට නොඅවුරණ ලද්දේය, ස්වර්ගමාර්ගය නොවළකන ලද්දේ යයි ඔහු අස්වසාද මෙසේ කියයුතුය: ‘තා මෙහෙණවරට යායුතුය, තට දුටුමිතුරු කිසියම් මෙහෙණහු ඇත්තාහුදැ’යි විචාළ යුතුය. ඉදින් මැයට මෙබඳු මෙහෙණෝ වෙත්නම් ඇතැයිද, නොවෙත්නම් නැතැයිද කියා ‘මට සඞ්ග්රහ කරනු මැනව, දැන්ම මා මෙහෙණවරට පමුණුවාලනු මැනව’යි ඒ මහණහුට කියයුතුය. ඒ මහණහු විසින් ඒ මෙහෙණ ගෙන මෙහෙණගේ දුටුමිතුරුවූ හෝ තමන්ගේ දුටුමිතුරුවූ හෝ මෙහෙණන් වෙතට යායුතුය. යන්නහු විසිනුදු එකලාව නොයායුතුය. සතරපස්නමක් මහණුන් සමග එළියක්ද සැරයටියක්ද ගෙන සංවිදහනය මුදා ‘අපි අසුවල්තැනට යම්හ’යි මෙහෙණ සමග කථාකොට යායුතුය. ඉදින් තමන් වසන ගමින් පිටත දුරගමෙහි මෙහෙණවර වේනම්, අතරමගදී ගාමන්තර, නදීපාර, රත්තිවිප්පවාසා, ගණඔහී යන ආපත්තීන්ගෙන් අනාපත්ති වේ. මෙහෙණවරට ගොස් ‘අසුවල් මහණ ගැන දනීහුදැ’යි ඒ මෙහෙණන් අතින් විචාළ යුතුය. ‘ආර්ය්යයන් වහන්ස! එසේය’යි මෙහෙණන් කීකල්හි ‘ඒ මහණහුට ස්ත්රීලිඞ්ගය පහළ වූයේය, එහෙයින් දැන් මේ මෙහෙණට සඞ්ග්රහ කරවු’යි කියයුතුය. ඒ මෙහෙණෝ ‘ආර්ය්යයන් වහන්ස! මැනවි, දැන් අපිදු හදාරන්නෙමු, දහම් අසන්නෙමු, ඔබවහන්සේලා වඩිනු මැනව’යි කියා සඞ්ග්රහ කෙරෙත්ද, සිත් සතුටු කිරීමෙහි සමර්ත්ථ වූවාහු සඞ්ග්රහ කරන්නාහු ලජ්ජා ඇත්තාහු වෙත්ද, ඒ මෙහෙණන් කුපිතකොට අන්තැනක නොයායුතුය. ඉදින් යේනම්, ගාමන්තර - නදීපාර - රත්තිවිප්පවාස - ගණඔහී යන ආපත්තීන්ගෙන් නොමිදෙන්නේය. ඉදින් ඒ මෙහෙණෝ ලජ්ජා ඇතියාහු නමුත් සඞ්ග්රහ නොකරන්නාහු නම් එකල්හි අන්තැනකට යන්නට ඉඩලැබේ. ඉදින් ඒ මෙහෙණෝ ලජ්ජා නැතියාහු නමුත් සඞ්ග්රහ කරන්නාහුවෙත්ද ඒ මෙහෙණන්ද හැරපියා අන්තැනක යන්නට ඉඩ ලැබේ. ලජ්ජා ඇතියාහු සඞ්ග්රහ කරන්නාහුද ඒ මෙහෙණෝ ඥාතීහු නොවෙත්ද අසල ගමක පෝෂණය කරන්නට හැකි අන් නෑමෙහෙණෝ වෙත්නම් ඒ මෙහෙණන් සමීපයට යෑමෙහි වරද නැතැයි කියත්. ගොස් භික්ෂු කාලයෙහි නිශ්ශ්රයයෙන් යුක්තවූයේ නම්, සුදුසු මෙහෙණක සමීපයෙහි නිශ්ශ්රය ගතයුතුය. මාතෘකාව හෝ විනය හෝ උගන්නා ලද්දේනම් මැනවින් උගන්නා ලද්දේ වේ. නැවත උගෙණිමෙහි කරුණක් නැත්තේය. ඉදින් භික්ෂුකාලයෙහිද උපාද්ධ්යායයෙක්ව ආචාර්ය්යයෙක්ව පිරිස් උවැටන් කරන්නෙක් වූයේද ඔහුගේ සමීපයෙහි යම්කෙනෙක් උපසපන් වූවාහුද, ඔවුහු සූපසම්පන්නයහ. අන් මහණක්හු වෙත නිසගත යුතුය. පෙර ඔහු නිසා විසුවන් විසින්ද අන් මහණක්හු වෙත ගතයුතුය. පිරිපුන් වස්ඇති හෙරණහු විසින්ද අන් මහණක්හු වෙත උපාද්ධ්යාය ග්රහණය කළයුතුය.