සුදින්න බණවර වර්ණනාව
මෙයින් මතු ‘තෙන ඛො පන සමයෙන වෙසාලියා අවිදූරෙ’ යනාදිය බොහෝසෙයින් ප්රකට අර්ත්ථ ඇත්තේය. එහෙයින් පදයක් පාසා වර්ණනා කිරීම හැර යම් යම් තැනක කියයුත්තක් වේනම්, ඒ ඒ කියයුත්තම වර්ණනා කරන්නෙමු. ‘කලන්දගාමො’ ලෙහෙනෝ කලන්දකයි කියනු ලැබෙත්. ලෙහෙනුන්ගේ නම්වසයෙන් ලැබූ නම් ඇති ගමය. ‘කලන්දපුත්තො’ ගම වසයෙන් ලැබූ නම් ඇති රාජ සම්මත වූ සතළිස් කෙළක් ධනය ඇති කලක සිටුහුගේ පුත්රතෙමේය. යම්හෙයකින් වනාහි එගමෙහි කලන්ද යන නම් ඇති අන්ය මනුෂ්යයෝත් වෙත්ද, එහෙයින් කලන්දපුත්රයි කියා නැවත සිටුපුත්යි වදාළ සේක. ‘සම්බහුලෙහි’ බොහෝවූ ‘සහායකෙහි’ සුඛදුඃඛයන්ට එක්ව යෙත්, එක්ව එළඹෙත්නුයි සහාය නම්වෙත්. සහායයෝම සහායකයහ. ඒ සහායයන් හා ‘සද්ධිං’ එක්ව ‘කෙනචිදෙව කරණීයෙන’ විකිණිය යුතු බඩු විකිණීම, දෙන්නට ලකුණු කළ දිනයෙහි ගොස් ගැනීම, අසුවල් දවසෙහි දියයුතුය’යි සිහිගැන්වීම යනාදී වූ කිසියම් කටයුත්තක් හේතුකොට ඉල්මස නැකැත්කෙළිකිස හේතුකොටයයිද කියත්. භාග්යවතුන් වහන්සේ වනාහි ඉල්මස ශුක්ල පක්ෂයෙහි විශාලා මහනගරයට වැඩිය සේක. මෙහි ඉල්මස නැකැත්කෙළිය ඉතා මහත් වේ. ඒ පිණිස ගියේයයි දතයුතුය.
‘අද්දසා ඛො’ කෙසේ දුටුයේදයත්: ඒ කලන්දක සිටුපුත්තෙමේ, බුදුරජුන් දැකීම පිණිසත්, දහම් ඇසීම පිණිසත්, වැළඳූ උදය බොජුන් ඇති පිරිසිදු උතුරුසළු පෙරොවගෙණ මල් ගඳ විලවුන් ගත් අත් ඇතිව නුවරින් නික්ම යන මහජනයා දැක ‘කොතැන යහු’දැයි විචාළේය. ‘අපි බුදුරජුන් දැකීම පිණිසත් දහම් ඇසීම පිණිසත් යමු’යි ඔවුන් කියූ කල්හි ‘එසේනම් මමත් යමි’යි ඔවුන් සමග ගොස් සිවු පිරිසෙන් පිරිවරණ ලදුව බ්රහ්ම ස්වරයෙන් දහම් දෙසන්නා වූ භාග්යවතුන් වහන්සේ දුටුයේය. ‘අද්දසා ඛො -පෙ- දෙසෙන්තං’ යනු එහෙයින් කියන ලද්දේය. ‘දිස්වා තස්ස’ දැක මොහුට. ‘එතදහොසි’ පෙරකළ පින් ඇති බැවින් මෙහෙයනු ලබන භව්ය කුලපුත්රයා හට මේ අදහස වූයේය. කිනම් අදහසක් වූයේද යත්: ‘යන්නූනාහම්පි ධම්මං සුණෙය්යං’ යන මේ අදහස වූයේය. එහි ‘යන්නූන’ යන මෙය පරිවිතර්කය දක්වීමය. ‘මේ පිරිස එකඟවූ සිත් ඇතිව යම් ධර්මයක් අසාද මමත් ඒ ධර්මය අසන්නෙම්නම් ඉතා යහපතැ’යි ඔහුට මේ පරිවිතර්කය උපන්නේය.
‘අථ ඛො සුදින්නො කලන්දපුත්තො යෙන සා පරිසා’ යන මෙහි ‘යෙන භගවා’යි නොවදාරා ‘යෙන සා පරිසා’යි කුමක් හෙයින් කියන ලද්දේද යත්: භාග්යවතුන් වහන්සේ පිරිවරා ක්ෂත්රිය මහාසාරාදි අත්යුදාර ජනයා ඇති මහත් පිරිසක් දුන්නාය. එහි පසුව පැමිණි මොහුට භාග්යවතුන් වහන්සේ වෙත එළඹ හිඳින්නට නොහැකිය. පිරිසෙහි එක් පෙදෙසක හිඳින්නට හැකියයි හෙතෙමේ ඒ පිරිස වෙතම එළඹියේය. ‘අථ ඛො සුදින්නො කලන්දපුත්තො යෙන සා පරිසා’යි එහෙයින් කියන ලද්දේය. ‘එකමන්තං නිසින්නස්ස ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස එතදහොසි’ එහි අවුත් හුන් ඇසිල්ලෙහිම ඔහුට මේ අදහස නොවූයේය. ඉක්බිති භාග්යවතුන් වහන්සේගේ ශික්ෂාත්රය සංගෘහීත වූ සවල්ප ධර්මකථාව අසා මේ අදහස උපන්නේය. යම්හෙයකින් එකත්පසෙක හුන් මොහුට ඒ අදහස වූයේද, එහෙයින් ‘එකමන්තං නිසින්නස්ස ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස එතදහොසි’ යනු කියන ලදී. කවර අදහසක් වූයේද යත්: ‘යථා යථා ඛො’ යනාදිය එහිලා කීහ.
එහි මේ සඞ්ක්ෂෙප කථාය. භාග්යවතුන් වහන්සේ විසින් යම් යම් අයුරකින් දෙසූ ධර්මය මම දනිම්ද, ඒ ඒ අයුරින් විමසන මට මෙබඳු අදහසක් වේ: යම් මේ ශික්ෂාත්රය සඞ්ගෘහිත බ්රහ්මචර්ය්යය එක් දවසකුදු නොකඩකොට ච්යුතිචිත්තයට පැමිණවිය යුතු බැවින් ‘එකන්ත පරිපුණ්ණං’ එකතින් පිරිපුන්කොට හැසිරිය යුතුය. එක් දවසකුදු නොකඩකොට ච්යුති චිත්තයට පැමිණවිය යුතු වූ බැවින් ‘එකන්ත පරිසුද්ධං’ එකතින් පිරිසුදු වූ, ‘සඞ්ඛලිඛිතං’ ලියූ සකක් සමානකොට සේදූ සකක් සමානකොට හැසිරියයුතුවූ මේ ශික්ෂාත්රය සංගෘහීත වූ බ්රහ්මචර්ය්යය. ‘අගාරං අජඣාවසතා’ ගෙහි වසන්නහු විසින් එකතින් පිරිපුන්කොට පෙ- හැසිරීම පහසු නොවේ. මම ‘කෙසෙ ච මස්සුඤ්ච ඔභාරෙත්වා’ කෙස් ද උඩුයටි රැවුළුද සිඳහැර, කසට දියෙන් රඳන් ගැන්වූ බැවින්. ‘කාසායානි’ කසටගැන්වූ බඹසර හැසිරෙන්නවුන්ට සුදුසු වූ, ‘වත්ථානි අච්ඡාදෙත්වා’ වස්ත්ර හැඳ, පෙරව, ‘අගාරම්භා’ගෙන් නික්ම. ‘අනාගාරියං පබ්බජෙය්යං’ සසුන් වඳින්නෙම්නම් ඉතා යෙහෙක. මෙහි යම්හෙයකින් ගෘහවාසයට හිතවූ සීසෑම් වෙළඳාම් ආදිකර්මාන්ත අගාරියයි කියනු ලැබේ, එද පැවිද්දෙහි නැත්තේද, එහෙයින් පැවිද්ද අනගාරියයි දතයුතුය. ඒ අනගාරිය සඞ්ඛ්යාත ප්රව්රජ්යාවට පැමිණෙන්නෙමි.
‘අචිරවුට්ඨිතාය පරිසාය යෙන භගවා තෙනුපසඞ්කමි’ සුදින්න තෙමේ පිරිස නොනැගිට හුන් කල්හි භාග්යවතුන් වහන්සේගෙන් පැවිද්ද නොඉල්ලීය. කුමක් හෙයින්දයත්: එහි සුදින්නගේ නෑ සහලේ නෑයෝ මිත්රාමාත්යයෝ බොහෝ වෙත්. ඒ වේලෙහි සුදින්න පැවිද්ද ඉල්ලා සිටියේ නම් ඒ නෑයෝ සහලේ නෑයෝ මිත්රාමාත්යයෝ ‘තෝ මවුපියන්ගේ එක්ම පුත්රවෙහි, තම පැවිදිවන්නට නොලැබෙන්නේය’යි බාහුවෙන් අල්ලා අදින්නාහ. එයින් පැවිද්දට අන්තරාය වන්නේය’යි ඒ පිරිස සමගම නැගිට මදක් දුර ගොස් නැවත මලමූ පහකිරීම් ආදීවූ කිසියම් සිරුරුකිස කරන ආකාරයෙන් නැවතී සිට පෙරළා භාග්යවතුන් වහන්සේ වෙත එළඹ පැවිද්ද ඉල්ලා සිටියේය. ‘අථ ඛො සුදින්නො කලන්දපුත්තො අචිරවුට්ඨිතාය පරිසාය - පෙ- පබ්බාජෙතු මං භගවා’යි එහෙයින් කියන ලදී.
භාග්යවතුන් වහන්සේ වනාහි යම්හෙයකින් රාහුල කුමරුන්ගේ පැවිද්දෙහි පටන් මවුපියන් විසින් නොඅනුදත් පුතු පැවිදි නොකරණ සේක්ද, එහෙයින් ‘අනුඤ්ඤාතොසි පන ත්වං සුදින්න මාතාපිතුහි -පෙ- පබ්බජ්ජාය’ සුදින්න! පැවිද්ද පිණිස මවුපියන් විසින් තෝ අනුදන්නා ලද්දෙහිදැ’යි ඔහුගෙන් විචාළ සේක.
මෙයින් මතු පාඨානුසාරයෙන්ම ගොස් ‘තං කරණීයං තීරෙත්වා’ යන මෙහි මෙසේ අර්ත්ථ දතයුතුය: ධුරනිඃක්ෂෙපයෙන්ම ඒ කිස කොට නිමවා පැවිද්දෙහි දැඩි ආශාව ඇත්තහුගේ සිත බඩු විකිණීම, ණය දීම, යෙදූ මිල වැඩිකොට ගැණීමෙහි උත්සාහය, අසුවල් දවසෙහි දෙන ලදැයි ආදී ලෙසින් මුළාවූහුට සිහි ඉපදවීම යනාදියෙහි හෝ නැකැත් කෙළියෙහි හෝ නොනැමෙන්නේය. ‘අම්ම! තාත!’ යන මෙහි ‘අම්ම!’යි මව අමතයි. ‘තාත!’යි පියා අමතයි. ‘ත්වං ඛොසි’ තෝම වෙහි. ‘එකපුත්තකො’ එක්ම පුතට අන්ය වූ දෙටුබෑයෙක් හෝ කනිටු බෑයෙක් නැත. මෙහිද ‘එකපුත්තො’යි කියයුත්තෙහි අනුකම්පා වසයෙන් ‘එකපුත්තක’යි කියන ලද්දේය. ‘පියො’ ප්රීතිජනක වෙහි. ‘මනාපො’ මනවඩන්නෙහිය. ‘සුබෙධිතො’ සුවසේ වැඩුනෙහිය. සුඛයෙන් වඩන ලද්දෙහිය යන අර්ත්ථයි. ‘සුඛපරිභටො’ සුඛයෙන් පෝෂණය කරන ලද්දෙහිය. උපන්දා සිට කිරිමවුන් විසින් ඇකයෙන් ඇකයට වඩා දරණු ලබන්නෙහිය. අස්රිය ඈ ලදරු කෙළිබඩුවෙන් කෙළින්නන් හා කෙළිමින් මිහිරි රසබොජුන් බුදිනු ලබන්නෙහිය. සුඛයෙන් පෝෂණය කරන ලද්දෙහිය.
‘න ත්වං සුදින්න කිඤ්චි දුක්ඛස්ස ජානාසි’ ‘පුත! සුදින්න’ තෝ කිසි ස්වල්ප මාත්රවූත් කලභාගයක් තරම්වූත් දුකක් නොදනිහි, නොහොත් දුකින් යුක්තව කිසි පස්කම් රසයක් නොවැළඳුයෙහිය යන අර්ත්ථයි. කරණාර්ත්ථයෙහි සාමිවචනයි. අනුභවනාර්ත්ථයෙහිද දැනීමය. නොහොත් කිසිදු දුකක් සිහි නොකරහි යන අර්ත්ථයි. උපයොගාර්ත්ථයෙහි සාමිවචනයි. සරණාර්ත්ථයෙහිද දැනීමයි. දැනීම නම් සිහිකිරීමය. ද්විතීයා - තෘතීයා විකල්ප දෙක්හි ‘කිඤ්චි’ යන පුරිම පදයෙහි ‘දුක්ඛස්ස’ යන උත්තර පදය හා සමාන වූ ෂෂ්ඨි වචනයේ ලෝපය දතයුතුය. ඒ සියල්ල ශබ්ද ශාස්ත්රානුසාරයෙන් දතයුතුය. ‘මරණෙන පි මයං තෙ අකාමකා විනා භවිස්සාම’ අප ජීවත්ව සිටියදී තාගේ මරණය වන්නේනම් තාගේ ඒ මරණයෙන්ද අපි නොකැමති වන්නමෝ රුචි නොකරන්නමෝ තමන්ගේ කැමැත්තෙන් වෙන් නොවන්නෙමු. තාගෙන් වියොගයට හෝ නොපැමිණෙන්නෙමු යන අර්ත්ථයි. ‘කිං පන මයං තං’ මෙසේ කල්හි අපි යම්කරුණකින් ජීවත්වන තට එයට අනුදනිමුද, ඒ කරුණ කිම? කිනම්ද? නොහොත් ‘කිං පන මයං තං’ අපි ජීවත්වන තට කවර කරුණකින් අනුදන්නෙමුදැයි මෙසේ අර්ත්ථය දතයුතුය.