මක්කටී වස්තුව
දැන් යම් ඒ උපන් අන්ය වස්තුව දක්වනු පිණිස ‘තෙන ඛො පන සමයෙන’ යනාදිය වදාළ සේක. එහි මේ ප්රකට නොවූ පදයන්ගේ වර්ණනාය: ‘මක්කටිං ආමිසෙන’ මහාවනයෙහි විසූ භික්ෂූන්ගේ ක්ෂාන්ති, මෛත්රී ආදී ගුණයන්ගේ ආනුභාවයෙන් නිසැක සිත්ඇති බොහෝ මුව, මොනර, කුකුළු, වඳුරු ආදී තිරිසන්නු භාවනා කරන ගෘහස්ථානයහි හැසිරෙන්නාහ. එහි එක් වැඳිරියක කැඳ, බත්, කැවිලි ආදී වූ ආමිෂයෙන් ‘උපලාපෙත්වා’ සඞ්ග්රහ කොටයි වදාරණ ලද්දේ වේ. ‘තස්සා’ යනු සප්තමී වචනයි. ‘පතිසෙවති’ බහුල වූ සෙවනය කිරීම් ඇත්තේ වේ. දවස්පතා නිතර නිතර සෙවනය කරයි. ප්රචුරාර්ත්ථයෙහි වර්තමාන වචනයි. ‘සො භික්ඛු’ මෙවුන්දම් සෙවුමෙහි යෙදුනු ඒ මහණතෙමේ ‘සෙනාසනචාරිකං ආභිණ්ඩන්තා’ ඒ ආගන්තුක භික්ෂූහු බුදුරජුන් දකිනු පිණිස පැමිණියාහු, උදෑසනම ආගන්තුක බත් ලැබ කළ බත්කිස ඇත්තාහු, ‘භික්ෂූන් වසන තැන් බලන්නෙමු’යි ඒ ඒ තැන හැසුරුනාහ. ‘සෙනාසනචාරිකං ආභිණ්ඩන්තා’ යනු එහෙයින් වදාරණ ලද්දේය. ‘යෙන තෙ භික්ඛු තෙනුපසඞ්කමි’ එක් මහණෙකු සමග විශ්වාසයට පැමිණියාහු අන්හු කෙරෙහිද එබඳුම සිත් උපදවත්. එහෙයින් ඒ වැඳිරිය ඒ ආගන්තුක භික්ෂූන් වෙත එළැඹියාය. එළඹද තමන්ගේ විශ්වාසයට පැමිණ සිටි මහණහුට මෙන් ඒ ආගන්තුක භික්ෂූනටද ඒ විකාරය දැක්වූය.
‘ඡෙප්පං’ නගුට ‘ඔඩ්ඩි’ ඉදිරිපත්කොට තැබූය. ‘නිමිත්තම්පි අකාසි’ ඒ භික්ෂූහු යම් ලෙසකින් යම් ක්රියාවකින් මෙවුන්දම් සෙවීමෙහි අදහස දැනගනිත්ද, ඒ ලෙසින් නිමිති කළාය යන අර්ත්ථයි. ‘සො භික්ඛු’ මේ විහාරය යමක්හුගේද ඒ මහණතෙමේ. ‘එකමන්තං නිලීයිංසු’ එක් අවකාශයෙක්හි සැඟවී හුන්හ.
‘සච්චං ආවුසො’ බඩු සහිතව අල්ලාගත් සොරහු මෙන් ප්රත්යක්ෂයෙන් දැක චෝදනා කළබැවින් ‘මා විසින් කුමක් කරන ලදදැ’යි යනාදිය කියන්නට නොහැකිව ‘ඇවැත්නි! සැබැව’යි කීයේය. ‘න නු ආවුසො තත්ථෙව තං හොති’ ඇවත! ඒ ශික්ෂාපදය මනුෂ්ය ස්ත්රියක විෂයයෙහි යම්සේනම් තිරශ්චීන ස්ත්රිය විෂයයෙහිද එසේම නොවේද? මනුෂ්ය ස්ත්රියකගේ අනුරාග සහිත දැකීමද අනුරාගයෙන් අතින් ඇල්ලීමද තම සිරුරෙන් ඇයගේ සිරුර පිරිමැදීමද එයට වඩා දැඩිකොට පැහැසීමද සිරුරෙන් සිරුර ගැටීමද දුට්ඨුල්ලම වේ. තිරශ්චින ස්ත්රියක පිළිබඳවූද ඒ සියල්ල දුට්ඨුල්ලමය. මෙහි විශේෂය කවරේද? තෝ අලෙශස්ථානයෙහි ලෙශයක් අභිමුඛකොට තැබූයෙහිය.
‘අන්තමසො තිරච්ඡානගතාය පි පාරාජිකො හොති අසංවාසො’යි මෙසේ තිරිසන්ගියක හාද මෙවුන්දම් සෙවුමෙන් පාරාජිකම වේයයි ශික්ෂාපදය ඉතා දැඩි කළසේක. ලොකවද්ය - ප්රඥප්තිවද්යයි ශික්ෂාපදය දෙවැදෑරුම් වේ. එහි සචිත්තක පක්ෂයෙහි යමක්හුගේ සිත අකුසල්මවේද, එය ලොකවද්ය නම් වේ. සෙස්ස ප්රඥප්තිවද්යයය. එහි ලොකවද්යයෙහි අනුප්රඥප්ති උපදනී ව්යතික්රමය වළකාලන්නී ව්යතික්රමලෙශයාගේ දොර වසාලන්නී, ව්යතික්රම ස්රොතස සිඳලන්නී ‘අඤ්ඤත්ර අධිමානා අඤ්ඤත්ර සුපින්නතා’ යනු විසින් ඉතා දැඩිකරමින් උපදියි. ‘අඤ්ඤත්ර අධිමානා අඤ්ඤත්ර සුපින්නතා’ යන මෙය ව්යතික්රමයක් නැති බැවින් හා ව්යවහාරයට නොනැගෙන බැවින් වදාරණ ලද්දීය. ප්රඥප්තිවද්යයෙහි ව්යතික්රමය නොකළ කල්හි උපදින්නී, පළමුකොට සාමාන්යයෙන් පැනවූ ශික්ෂාපදය මුදාහැර තමාගේ විෂයයෙහි අනාපත්ති කිරීම් වසයෙන් ලිහිල් කරන්නී මුදාහරින්නී අනාපත්තියට දොර දෙන්නී ගණ භොජන - පරම්පරභොජනාදියෙහි අනුප්රඥප්තීන් මෙන් අපරාපර්ය්ය වශයෙන් අනාපත්ති කරමින් උපදියි. ‘අන්තමසො තඞ්ඛණිකායපි’යි මෙබඳුවූවා වනාහි ව්යතික්රමණය කළකල්හි උපන්බැවින් මුළු ප්රඥප්තියෙහිම ඇතුළත් වූවාවේ. ප්රඥප්තිගතිකම වේ. යම්හෙයකින් මේ ප්රථම ශික්ෂාපදය ලොකවද්යවේද, ප්රඥප්තිවද්ය නොවේද, එහෙයින් මේ අනුපුඥප්ති ව්යතික්රමය වළකාලන්නී ව්යතික්රම දොෂයාගේ දොර වසාලන්නී මතුමතුවෙහි ව්යතික්රම ස්රොතස සිඳලන්නී ඉතා දැඩිකරමින් උපන්නීය.
මෙසේ වස්තු දෙකක්ම සම්පිණ්ඩනයකොට මුල්සිඳීම් වසයෙන් ඉතා දැඩිකොට ප්රථමපාරාජිකය පැනවූ කල්හිද, අනුප්රඥප්තියක් පිණිස අන්යවූද වජ්ජිපුත්රක වස්තුව උපන්නේය. ඒ වස්තුවෙහි උත්පත්තිය දක්වනු පිණිස ‘එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති’ යන මෙය වදාරණ ලද්දේය. භාග්යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ ශික්ෂාපදය මෙසේ පනවන ලද්දේවේද මේ අන්ය වස්තුවකුදු උපන්නේය යනු එහි අර්ත්ථය වේ.
මක්කටීවස්තු කථාව නිමි
සන්ථත බණවර
වජ්ජිපුත්තකවත්ථුවණ්ණනා
යම් ඒ අන්ය වස්තුවකුත් උපන්නේද, දැන් එය දක්වන්නට ‘තෙන ඛො පන සමයෙන’ යනාදිය වදාළ සේක. එහිදු මේ අප්රකට පදයන්ගේ වර්ණනාය: ‘වෙසාලිකා’ විසල්පුර වැසි. ‘වජ්ජිපුත්තකා’ වැදැරට වෙසාලියෙහි කුලපුත්රයෝ. මේ ශාසනයෙහි යම් යම් උපද්රවයක් ආදීනවයක් අර්බුදයක් උපන්නේද, ඒ සියල්ල වජ්ජිපුත්රයන් නිසා උපන්නේය. ඒ එසේමය. දෙවදත්ත තෙමේද වජ්ජිපුත්රක පක්ෂය ලැබ සඞ්ඝයා බින්දේය. වජ්ජිපුත්රකයෝම භාග්යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් අවුරුදු සියයක් ගෙවී ගිය කල්හි ශාස්තෲ ශාසනය ධර්මයෙන් විනයෙන් පහවූවක්කොට දැක්වූහ. මොවුහුද ඔවුන්ගේම ඇතැම්හු වෙති. මෙසේ ශික්ෂාපදය පැනවූ කල්හිද ‘යාවදත්ථං නහායිංසු -පෙ- මෛථුනං ධම්මං පතිසෙවිංසු’ කැමතිතාක් ස්නානය කළහ. -පෙ- මෙවුන්දම් සෙවනය කළහ.