තවද ‘ජිණ්ණෙ’ පුරාතන වූ බොහෝකල් පැවති කුලවංශ ඇත්තාවූයි කියන ලද්දේ වේ. ‘වුද්ධෙ’ සීලාචාරාදි ගුණයන්ගේ වැඩීමෙන් යුක්ත වූ ‘මහල්ලකෙ’ විභව මහත්‍වයෙන් යුක්තවූ, මහත්ධන ඇත්තාවූ, මහාභොග ඇත්තාවූ, ‘අද්ධගතෙ’ බමුණන්ගේ පිළිවෙතට පැමිණියා වූ බ්‍රාහ්මණයන් පිළිබඳ ව්‍රතචර්‍ය්‍යාදි සීමාවන් නොඉක්මවා හැසිරෙන්නා වූ, ‘වයො අනුප්පත්තෙ’ උපතින් මහලු බවට අන්තිම වයසට පැමිණියාවූයි මෙසේද මෙහි අර්‍ත්‍ථ යොජනාව දතයුතුය.
දැන් ‘අභිවාදෙති’ යන මේ ආදීහු ‘න සමණො ගොතමො’යි මෙහි කියූ ‘න’ කාරය සමග යොදා ‘න චන්‍දති වා නාසනා වුට්ඨහති වා නාපි ඉධ හොන්තො නිසීදන්තු වා එවං ආසෙන න වා උපනිමන්තෙති’ මෙසේ අර්‍ත්‍ථ වශයෙන් දතයුතුය. මෙහි වූ ‘වා’ ශබ්දය ‘රූපං නිච්චං වා අනිච්චං වා’ යනාදි තන්හි මෙන් ප්‍රකෘතිවිභාවනා සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථයෙහි වැටේ. මෙසේ කියා නැවත තමාට අභිවාදනාදිය නො කරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දැක ‘තයිදං භො ගොතම තථෙව’යි කීයේය. මා විසින් යම් වචනයක් අසන ලදද ඒ ඇසීම එසේමය. මාගේ ඒ ඇසීම හා දැකීමද සැසඳෙන්නේය. සමවන්නේය. අර්‍ත්‍ථ වශයෙන් එකීභාවයට යන්නේය. ‘න හි භවං ගොතමො -පෙ- ආසනෙන වා නිමන්තෙති’යි මෙසේ තමන් විසින් අසන ලද්ද දක්න ලද්දෙන් නිගමනයකොට නින්‍දා කරනුයේ ‘තයිදං භො ගොතම න සම්පන්නමෙව’ යනු කීයේය. ඒ අභිවාදනාදිය නොකිරීම නොසුදුසුමය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමන් හුවාදැක්වීමෙහි හා පරා හෙළාදැක්වීමෙහි දෝෂයට නොපැමිණ කරුණාවෙන් සිහිල් වූ හෘදයෙන් මොහුගේ ඒ නොදැනීම විධමනයකොට එහි යුක්තිය දක්වනු කැමැතිව ‘නාහං තං බ්‍රාහ්මණ -පෙ- මුද්ධාපි තස්ස විපතෙය්‍ය’ යනු වදාළ සේක. එහි මේ සංක්‍ෂෙපාර්‍ත්‍ථය වේ:- ‘බ්‍රාහ්මණ! මම නොපැකිළ පවත්නා සර්‍වඥතාඥාන චක්‍ෂුසින් බලනුයෙම්ද, සදෙවකාදි භෙද ඇති ලෝකයෙහි මම යමෙකුහට වඳින්නෙම් හෝ දැක හුනස්නෙන් නැගීසිටින්නෙම්. අසුනෙන් පවරන්නෙම් හෝ වෙම්ද එබඳු පුද්ගලයෙකු නොදක්නෙමි. යම්බඳුවූ මම අද සර්‍වඥභාවයට පැමිණියෙම් මෙබඳුවූ වැඳීමට සුදුසු වූ පුද්ගලයෙකු නොදක්නෙමි. මෙය ආශ්චර්‍ය්‍යයක් නොවේ. තවද මම යම්කලක උපන් මොහොතැතියෙම් උතුරුදිගට මුහුණ දුන්නෙම් සප්තපදවීතිහාරයෙන් ගොස් සියලු දශසහශ්‍රීලොකධාතුව බැලූයෙම්ද එකල්හිදු මේ සදෙවකාදි භෙද ඇති ලෝකයෙහි මම යමෙකුහට වඳින්නෙම්, දැක හුනස්නෙන් නැගී සිටින්නෙම්, අසුනෙන් පවරන්නෙම් හෝ වෙම්ද එබඳු පුද්ගලයෙකු නොදක්නෙමි. තවද කප් සොළොස්දහසක් ආයු ඇති ක්‍ෂයකළ ආස්‍රව ඇති මහාබ්‍රහ්ම තෙමේද ඇඳිලිබැඳ ‘ඔබවහන්සේ ලෝකයෙහි ජාති ගොත්‍ර කුල ප්‍රදෙශාදි වශයෙන් මහාපුරුෂවහුය, ඔබවහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි ගුණ කරණකොට අග්‍රද වහුය, ගුණ කරනකොට ජ්‍යෙෂ්ඨදවහුය, ගුණකරනකොට ශ්‍රේෂ්ඨදවහුය, සදෙවකාදි භෙද ඇති ලෝකයෙහි ඔබවහන්සේට වඩා අග්‍ර වූවෙක් ජ්‍යෙෂ්ඨ වූවෙක් ශ්‍රේෂ්ඨ වූවෙක් උත්තරීතරයෙක් නැත්තේය’යි උපන් සොම්නස් ඇත්තේ මා පිදූයේය. එකල්හිදු මම තමාට වඩා උත්තරීතරයකු නොදක්නෙම් ‘මම ලෝකයෙහි අග්‍රවෙමි, මම ලෝකයෙහි ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලෝකයෙහි ශ්‍රෝෂ්ඨ වෙමියි උත්තම වචනයක් පැතිරවීමි’යි. මෙසේ දැන් උපන් මොහොතැති මාගේ වැඳුම් පිදුම් ආදියට සුදුසු වූ කිසිම පුද්ගලයෙක් නැත්තේය. ඒ මම දැන් සර්‍වඥභාවයට පැමිණියෙම් කවරක්හට අභිවාදනය කරන්නෙම්ද -පෙ- අසුනෙන් හෝ පවරන්නෙම්ද, එහෙයින් බ්‍රාහ්මණ! ඔබ තථාගතයන් වෙත මෙබඳු වූ අභිවාදනාදී වූ ප්‍රණීපාතයක් නොපතව, බ්‍රාහ්මණ! තථාගතතෙමේ යමෙක්හට වඳින්නේ හෝ -පෙ- අසුනෙන් පවරන්නේද ඒ පුද්ගලයාගේ හිස අලුයම් කාලයෙහි පැසීමෙන් බුරුල් වූ බැඳුම් ඇති නටුවෙන් ගිලිහුනු තල් ගෙඩියක් මෙන් බෙල්ලෙන් ගැලවී සිඳී බිම හෙන්නේය’යි මෙසේ වදාළ සේක.
මෙසේ වදාළ කල්හිදු බ්‍රාහ්මණතෙමේ නුවණ නැති බැවින් තථාගතයන් වහන්සේගේ ලොකජ්‍යෙෂ්ඨභාවය නොසලකනුයේ හුදෙක් ‘නාහන්තං බ්‍රාහ්මණ!’ යනාදි වශයෙන් වදාළ ඒ වචනය නොඉවසනුයේ ‘අරසරූපො භවං ගොතමො’ යනු කීයේය. ලෝකයෙහි යම් වැඳීම් දැක නැගීසිටීම් ඇඳිලිබැඳීම් සැලකිලි දැක්වීම් සාමග්‍රි රසයයි කියනු ලැබේද එය භවත් ගෞතමයන් හට නැත්තේය, එහෙයින් භවත් ගෞතම තෙමේ සාමග්‍රී රසවිරෝධීය, සාමග්‍රී රසයෙන් තොරවූ පියවි ඇත්තේය. සාමග්‍රී රසයෙන් තොරවූ සැහැවි ඇත්තේය යනු මේ මොහුගේ අදහස වේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මොහුගේ සිතෙහි මොළොක්බව උපදවනු පිණිස සෘජුව විරුද්ධවීම දුරුකරමින් ඔහුගේ වචනයෙහි ඇති අර්‍ත්‍ථය අන්අයුරකින් තමන්වහන්සේ කෙරෙහි ඇති බව දක්වමින් ‘අත්‍ථිඛ්වෙස බ්‍රාහ්මණ පරියායො’ යනාදිය වදාළ සේක.
එහි ‘පරියායො’ යනු කාරණයයි. මේ පරියාය ශබ්දය, දේශනාවාරකාරණයන්හි පවත්නේය. ‘මධුපිණ්ඩිකපරියායොත්‍වෙව නං ධාරෙහි’ යනාදි තන්හි මෙය දේශනාවෙහි පවත්නේය. ‘කස්ස නුඛො ආනන්‍ද අජ්ජ පරියායො භික්‍ඛුනියො ඔවදිතුං’ යනාදි තන්හි වාරයෙහි පවත්නේය. ‘සාධු භන්තෙ භගවා අඤ්ඤං පරියායං ආචික්‍ඛතුං යථායං භික්‍‍‍ඛු සඞ්ඝො අඤ්ඤාය සණ්ඨහෙය්‍ය’ යනාදි තන්හි කාරණයෙහි පවත්නේය මෙහිද ඒ මේ පරියාය ශබ්දය කාරණයෙහි පවතීද එහෙයින් මෙහි මෙසේ අර්‍ත්‍ථ දතයුතුය. ‘බ්‍රාහ්මණ! මේ කරුණ ඇත්තේමය, යම් කාරණයකින් භවත් ගෞතම තෙමේ සාමග්‍රී රසයෙන් තොරවූ පියවි ඇත්තේ යයි මට කියන්නාවූ පුද්ගල තෙමේ මොනවට කියන්නේය. සත්‍යවාදීයයි ගිණීමට යන්නේය. හේ කවරේදයත්: ‘යෙ තෙ බ්‍රාහ්මණ රූපරසා -පෙ- ඵොට්ඨබ්බරසා තෙ තථාගතස්ස පහීණා’යි කියන්නේය. මෙයින් කුමක් කියන ලද්දේද යත්: ජාති වශයෙන් හෝ උත්පත්ති වශයෙන් හෝ ශ්‍රේෂ්ඨයයි සම්මතවූද රූපාලම්බනාදිය රස වශයෙන් විඳගන්නාවූද සප්‍රීතික තෘෂ්ණා වශයෙන් එහි සතුටුවන්නාවූද බලවත් රාගයෙන් එහි ඇලෙන්නාවූද පෘථග්ජනයන්ට කාමසුඛාස්වාද සඞ්ඛ්‍යාත වූ යම් ඒ රූප රස, ශබ්ද රස, ගන්‍ධ රස, රස රස, ස්ප්‍රෂ්ටව්‍ය රස යන රස උපදීද යම් රසයක් මේ ලෝකය ගෙලෙන් බැඳ මෙන් අදීද වස්තු ආලම්බනාදීන්ගේ එකතුවීමෙහි උපන් බැවින් ඒ රස සාමග්‍රී රසැයි කියනු ලැබේ. ඒ සියලු රස තථාගතයන් විසින් ප්‍රහීණ කරන ලද්දේය. ‘මා විසින් ප්‍රහීණ කරන ලදය’යි කියයුත්තෙහිද මමංකාරයෙන් තමන් හුවානොදක්වමින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ ධර්‍ම දේශනා කරන සේක. මේ වනාහි භාග්‍යවතුන් වහන්සේගේ දේශනා විලාසය හෝ වේ.
එහි ‘පහීණා’ චිත්තසන්තානයෙන් පහවූවාහුය. හරන ලද්දාහුහෝය. මේ අර්‍ත්‍ථයෙහි වනාහි ‘තථාගතස්ස’ යනු කරණාර්‍ත්‍ථයෙහි සාමිවචනයි දතයුතුය. ආර්‍ය්‍යමාර්‍ග ශස්ත්‍රයෙන් සිඳහළ තෘෂ්ණා අවිද්‍යාමය වූ භවමූලය මොවුනට ඇතැයි ‘උච්ඡින්නමූලා’යි. ඒ රූපරසාදීන්ගේ වාස්තුව තාලවාස්තුවක් මෙන් කරන ලදනුයි. ‘තාලාවත්‍ථුකතා’ය. යම්සේ තල් රුකක් මුල්සහිතව උදුරාහැර ඒ තල් රුක පිහිටි පෙදෙස සමතලාකොට වාස්තුමාත්‍ර කළකල්හි නැවත ඒ තල් රුකෙහි හටගැණීමක් නොපෙනේද, මෙසේ ආර්‍ය්‍යමාර්‍ග ශස්ත්‍රයෙන් රූපාදි රසයන් මුල් සහිතව උදුරා හැර ඔවුන් පෙර උපන්විරූ බැවින් චිත්තසන්තානය වාස්තු මාත්‍රයක් කළකල්හි ඒ සියලු රූපරසාදීහු තල් වත්තක් මෙන් කරන ලදහයි කියනු ලැබෙත්. නොහටගන්නා සැහැවි ඇති බැවින් හෝ මුදුන සිඳහළ තල් රුකක් මෙන් කරන ලදහයි ‘තාලාවත්‍ථුකතා’ නම්. යම්හෙයකින් වනාහි මෙසේ තල් වත්තක් මෙන් කරන ලද්දාහු නැවත නොහට ගැනීම කරන ලද්දහු වෙත්ද, යම්සේ ඔවුන්ගේ පසුව හටගැනීමක් නොවේද එසේ කරන ලද්දහුවෙත් ‘අනභාවකතා’යි එහෙයින් වදාළ සේක. ‘අනු අභාවං කතා - අනභාවකතා’ යනු මෙහි මේ පද සිඳීමය. ‘අනුභාවගතා’යිද පාඨයි. පසුකාලයෙහි නොඉපදීම් වශයෙන් අභාවයට ගියහ යනු ඒ පදයාගේ අර්‍ත්‍ථයි. එහි ‘අනු අභාවංගතා - අනභාවගතා’ යනු පද සිඳීමය. ‘අනුඅච්ඡරියා - අනච්ඡරියා’ යනුවෙනි. ‘ආයතිං අනුප්පාද ධම්මා’ අනාගතයෙහි නොඉපදෙන සැහැවි ඇත්තාහුය. යම් ක්ලෙශ අභාවයට ගියාහුද ඔවුහු නැවත කෙසේනම් උපදින්නාහුද මෙහිලා ‘අනභාවගතා ආයතිං අනුප්පාදධම්මා’යි එහෙයින් කීහ.