නවවන සිකපද වර්ණනාව
නවම ශික්‍ෂාපදයෙහි - “සොකවස්සං” සලකුණු කොට එන්නාවූ පුරුෂයන්ගේ ඇතුළත ශොකය ප්‍රවෙශ කරන්නීයයි ‘සොකවස්සා’ නමු. ඒ පරහට දුක් උපදවන්නීය. එහෙයින්ම “සොකවස්සා නාම පරෙසං දුක්‍ඛං උප්පාදෙති”යි කීහ. නොහොත් ගෙට ගෙයි සැඵයක් මෙන්. මෝ තොමෝද, පුරුෂ සමාගමය නොලබන්නී ශෝකයට පැමිණෙන්නීය. මෙසේ යමකට ප්‍රවෙශ වන්නීද, එය මැයට ආවාසයක් වේයයි සොකවාසා නමු. එහෙයින් “සොකං ආවිසති”යි කීහ. “අජානත්ති” මෝතොමෝ මෙබඳු අයැකැයි නොදන්නීයය. සෙස්ස ප්‍රකටමය. ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
නවවන ශික්‍ෂාපදයයි
දසවන සිකපද වර්ණනාව
දශම ශික්‍ෂාපදයෙහි - “අනාපුච්ඡා” නොවිචාරා. මෙහෙණන් විසින් පැවිදි කරණ කල්හිද, උපසපන් කරණ කල්හිද, දෙවරක් විචාළ යුතුය. මහණුන්ට වනාහි එක්වරක් විචාළ කල්හිද වටියි.
“අජානන්ති” මාතෘ ආදීන් ඇතිබව නොදන්නී. සෙස්ස ප්‍රකටමය. මෙය පෙර නොවූ සමුත්‍ථාන ශීර්‍ෂය වේ. චතුස්සමුත්‍ථානිකය. වාචායෙන්ද කායවාචායෙන්ද වාචාචිත්තයෙන්ද, කායවාචාචිත්තයෙන්ද හටගනියි. කිසේය, යත්: අබ්හානකර්‍මාදීන් අතුරෙහි කිසියම් කටයුත්තකින් ඛණ්ඩ සීමාවෙක්හි හුන්නී ‘ශික්‍ෂමාණව මෙහිදීම ඇය උපසපන් කරන්නෙමු’යි උපසපන් කෙරේද, මෙසේ වචනයෙන් හටගණියි. අසපුවෙහි පටන් උපසපන් කරන්නෙමියි කියකියා ඛණ්ඩ සීමාවට යන්නියට කායවාචායෙන් හටගනියි. දෙතැන්හිම ප්‍රඥප්තිභාවය දැනම ව්‍යතික්‍රම කරන්නියට වාචාචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගනියි. නොඅනුදන්වා උපසපන් කරණ බැවින් ක්‍රියාක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
දසවන ශික්‍ෂාපදයයි
එකොළොස්වන සිකපද වර්ණනාව
එකාදශ ශික්‍ෂාපදයෙහි - “පාරිවාසියඡන්‍දදානෙන” විගතඡන්‍දදානයෙන්. එහි පාරිවාසිය, පරිසපාරිවාසිය - රත්තිපාරිවාසිය - ඡන්‍දපාරිවාසිය - අජ්ඣාසයපාරිවාසියයි සිවුවැදෑරුම් වේ. එහි පරිසපාරිවාසිය නම් භික්‍ෂූහු කිසි කටයුත්තක් නිසා රැස්වූවාහු වෙත්ද එකල්හි මේඝයක් හෝ නගීද බැහැර කිරීමක් හෝ කරණු ලැබේද, මනුෂ්‍යයෝ හෝ යටපත් කරමින් එත්ද, එකල්හි භික්‍ෂූහු ‘අවකාශයක් නැත්තේය, අපි අන් තැනක යමු’යි ඡන්‍දය නොහැරම නැගීසිටිත්ද, මෙය පරිසපාරිවාසිය නම්වේ. පරිසපාරිවාසියෙහි ඡන්‍දය නොහළ බැවින් කර්‍මකිරීමෙහි දොෂයක් නැත්තේය.
නැවැත භික්‍ෂූහු ‘උපොසථාදිය කරන්නෙමු’යි රාත්‍රියෙහි රැස්ව යම්තාක් සියල්ලෝ රැස්වෙත්ද, ඒතාක් ධර්‍මය අසන්නෙමු’යි එකක්හට ආරාධනා කෙරෙත්ද, ඔහු ධර්‍මකථාව කියත්දීම අරුණ නගීද, ඉදින් චාතුද්දසී පොහොය කරන්නෙමු’යි හුන්නාහු පණ්ණරසියයි කිරීම වටියි. ඉදින් පණ්ණරසී පොහොය කරන්නට පෑළවියලත් අනුපොසථ දිනයෙහි පොහොය කිරීම සුදුසු නොවේ. අන්‍යවූ සඞ්ඝකෘත්‍යය කිරීම වරද නොවේ. මෙය රත්තිපාරිවාසිය නම්වේ.
නැවැත භික්‍ෂූහු ‘අබ්හානාදීවූ කිසි සඞ්ඝකර්‍මයක් කරන්නෙමු’යි හුන්නාහු වෙත්ද, එහි එක්නැකත් කියන මහණෙක් ‘අද නැකත දරුණුය, මේ කර්‍මය නොකරවු’ය මෙසේ කියයි. ඒ භික්‍ෂූන් ඔහුගේ වචනයෙන් ඡන්‍දය හැර එහිම හුන්නාහු වෙත්. එකල්හි අනිකෙක් අවුත් ‘අර්‍ත්‍ථය තෙමේ නැකත් පුදන කියන බාලයා ඉක්ම යන්නේය’යි කියා ‘නැකතින් කිම, කරවු’යි කියයි. මේ ඡන්‍දපාරිවාසිය නම්වේ. අජ්ඣාසය පාරිවාසිය නම්දවේ. මේ පාරිවාසියයෙහි නැවැත ඡන්‍දපාරිශුද්ධිය නොගෙණ කර්‍ම කිරීම සුදුසු නොවේ.
“වුට්ඨිතාය පරිසාය” ඡන්‍දය හැර කයින් හෝ වචනයෙන් ඡන්‍දය හැරීම් පමණකින් හෝ පිරිස නැගී සිටිකල්හි
“අනාපත්ති අවුට්ඨිතාය පරිසාය” ඡන්‍දය නොහැර නොනැගිටි කල්හි ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය. ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
එකොළොස්වන ශික්‍ෂාපදයයි
දොළොස්වන සිකපද වර්ණනාව
ද්වාදශ ශික්‍ෂාපදයෙහි - “උපස්සයො න සම්මති” වසන අවකාශය නොපොහොනේය. සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානාදීහු අනතුරු ශික්‍ෂාපදය හා සමානම වෙත්.
දොළොස්වන ශික්‍ෂාපදයයි
තෙළෙස්වන සිකපද වර්ණනාව
ත්‍රයොදශ ශික්‍ෂාපදයෙහි - “එක වස්සං ද්වෙ” එක් අතරක පැවැති එක් අවුරුද්දෙක්හි දෙදෙනක උපසපන් කෙරේද, සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානාදීහු කියන ලද්දහු හා සමානම වෙති.
තෙළෙස්වන ශික්‍ෂාපදයයි
අෂ්ටමවූ කුමාරීභූත වර්‍ගයයි
9. ඡත්තුපාහනවර්‍ගය
පළමු සිකපද වර්ණනාව
ඡත්‍ර වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “සකිම්පි ධාරෙති ආපත්ති පාචිත්තියස්සා” මග යෑමෙහි එක් ප්‍රයොගයෙන්ම සත් හා පාවහන් දවසක් නමුදු දරානම් එක්ම ඇවැතක් වේ. ඉදින් මඩ ඇති තැනට පැමිණ වහන් මුදා ඡත්‍රයම දරමින් යේද දුක්කටය වේ. නැවතද ගස්වැල් ආදිය දැක ජත්‍රය බැහැරකොට වහන් නැගමයේද, දුක්කටයම වේ. ඉදින් ඡත්‍රයද බැහැර කොට, වහන්ද මුදා, නැවැත දරානම් නැවැත පාචිත්තිය වේ. මෙසේ ප්‍රයොග ගණනින් ආපත්තීහු දතයුත්තාහ. සෙස්ස ප්‍රකටමය. එළකලොම සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.