8. කුමාරිභූතවර්ගය
පළමු-දෙවන-තෙවන සිකපද වර්ණනා
කුමාරීභූත වර්ගය පිළිබඳ ප්රථම - ද්විතීය - තෘතීය ශික්ෂාපද තුන ගිහීගත පදයුත් පඤ්චම - ෂෂ්ඨ - සප්තම ශික්ෂාපද හා සමානයහ. යම් ගර්භිණී වර්ගයෙහි සියල්ලම ප්රථමවූ මහාශික්ෂාමාණාවෝ දෙදෙනෙක් වෙත්ද, ඒ දෙදෙන ඉකුත් විසිවයස් ඇත්තාහයි දතයුත්තාහ. ඔවුහු පුරුෂාන්තරයට පැමිණියාහු හෝ වෙත්වා. පුරුෂාන්තරයට නොපැමිණියාහු හෝ වෙත්වා, ශික්ෂාමාණාහයිම කියයුත්තාහ. ගිහීගතායි හෝ කුමාරීභූතායි හෝ නොකිය යුත්තාහ. පුරුෂාන්තරයට ගිය තැනැත්තියට දසවස් කාලයෙහි ශික්ෂාසම්මුතිය දී දොළොස් හැවිරිදි කල්හි උපසම්පදාව කටයුත්තීය. එකොළොස් හැවිරිදි කල්හි ශික්ෂාසම්මුතියදී තෙළෙස් හැවිරිදි කාලයෙහි උපසම්පදා කටයුතුය. දොළොස් තෙළෙස්, තුදුස් පසළොස් සොළොස්, සතළොස්, අටළොස් හැවිරිදි කල්හි ශික්ෂා සම්මුතියදී විසිහැවිරිදි කල්හි උපසම්පදාව කටයුත්තීය. අටළොස් හැවිරිදිකල පටන් මෝතොමෝ ගිහීගතායිද, කුමාරීභූතායිද කීම වටියි. කුමාරීභූතා තොමෝ ගිහීගතායි නොකියයුත්තීය. මහාශික්ෂමාණ තොමෝ වනාහි ගිහීගතායි කීම නොසුදුසුය. කුමාරීභූතායිද කීම නොවටියි. ශික්ෂාසම්මුතිදාන වශයෙන් වනාහි තිදෙනම ශික්ෂමාණාහයි කීම සුදුසු වේ.
පළමුවන - දෙවන තෙවන ශික්ෂාපදයෝය.
සතර-පස්-සවන සිකපද වර්ණනා
චතුර්ත්ථ - පඤ්චම - ෂෂ්ඨ ශික්ෂාපදයන්හි - සියල්ල ප්රකටමය. සියලු ශික්ෂාපදයෝ ත්රිසමුත්ථානිකහය. සිවුවන ශික්ෂාපදය ක්රියසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි. පස්වන ශික්ෂාපදය ක්රියාක්රියසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි. මෙහි වනාහි යමක් සඞ්ඝයා විසින් පිරිසිඳිය යුතුයයි කියන ලද්දේද, එය පරීක්ෂා කටයුතුය යන අර්ත්ථයි. සවන ශික්ෂාපදය ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි. මෙහි යමක් පිරිසිඳැයි කියන ලද්දේද, එය පරීක්ෂාකොටය යන අර්ත්ථයි.
සිවුවන පස්වන සවන ශික්ෂාපදයෝය.
සත්වන සිකපද වර්ණනාව
සප්තම ශික්ෂාපදයෙහි - සියල්ල ප්රකටමය. ධුරනික්ෂෙපසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
සත්වන ශික්ෂාපදයයි
අටවන සිකපද වර්ණනාව
අෂ්ටම ශික්ෂාපදයෙහි - සියල්ල ප්රකටමය. සමුත්ථානාදීහු අනතුරු ශික්ෂාපදය හා සමානම වෙත්.
අටවන ශික්ෂාපදයයි
නවවන සිකපද වර්ණනාව
නවම ශික්ෂාපදයෙහි - “සොකවස්සං” සලකුණු කොට එන්නාවූ පුරුෂයන්ගේ ඇතුළත ශොකය ප්රවෙශ කරන්නීයයි ‘සොකවස්සා’ නමු. ඒ පරහට දුක් උපදවන්නීය. එහෙයින්ම “සොකවස්සා නාම පරෙසං දුක්ඛං උප්පාදෙති”යි කීහ. නොහොත් ගෙට ගෙයි සැඵයක් මෙන්. මෝ තොමෝද, පුරුෂ සමාගමය නොලබන්නී ශෝකයට පැමිණෙන්නීය. මෙසේ යමකට ප්රවෙශ වන්නීද, එය මැයට ආවාසයක් වේයයි සොකවාසා නමු. එහෙයින් “සොකං ආවිසති”යි කීහ. “අජානත්ති” මෝතොමෝ මෙබඳු අයැකැයි නොදන්නීයය. සෙස්ස ප්රකටමය. ත්රිසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
නවවන ශික්ෂාපදයයි
දසවන සිකපද වර්ණනාව
දශම ශික්ෂාපදයෙහි - “අනාපුච්ඡා” නොවිචාරා. මෙහෙණන් විසින් පැවිදි කරණ කල්හිද, උපසපන් කරණ කල්හිද, දෙවරක් විචාළ යුතුය. මහණුන්ට වනාහි එක්වරක් විචාළ කල්හිද වටියි.
“අජානන්ති” මාතෘ ආදීන් ඇතිබව නොදන්නී. සෙස්ස ප්රකටමය. මෙය පෙර නොවූ සමුත්ථාන ශීර්ෂය වේ. චතුස්සමුත්ථානිකය. වාචායෙන්ද කායවාචායෙන්ද වාචාචිත්තයෙන්ද, කායවාචාචිත්තයෙන්ද හටගනියි. කිසේය, යත්: අබ්හානකර්මාදීන් අතුරෙහි කිසියම් කටයුත්තකින් ඛණ්ඩ සීමාවෙක්හි හුන්නී ‘ශික්ෂමාණව මෙහිදීම ඇය උපසපන් කරන්නෙමු’යි උපසපන් කෙරේද, මෙසේ වචනයෙන් හටගණියි. අසපුවෙහි පටන් උපසපන් කරන්නෙමියි කියකියා ඛණ්ඩ සීමාවට යන්නියට කායවාචායෙන් හටගනියි. දෙතැන්හිම ප්රඥප්තිභාවය දැනම ව්යතික්රම කරන්නියට වාචාචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගනියි. නොඅනුදන්වා උපසපන් කරණ බැවින් ක්රියාක්රියසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
දසවන ශික්ෂාපදයයි
එකොළොස්වන සිකපද වර්ණනාව
එකාදශ ශික්ෂාපදයෙහි - “පාරිවාසියඡන්දදානෙන” විගතඡන්දදානයෙන්. එහි පාරිවාසිය, පරිසපාරිවාසිය - රත්තිපාරිවාසිය - ඡන්දපාරිවාසිය - අජ්ඣාසයපාරිවාසියයි සිවුවැදෑරුම් වේ. එහි පරිසපාරිවාසිය නම් භික්ෂූහු කිසි කටයුත්තක් නිසා රැස්වූවාහු වෙත්ද එකල්හි මේඝයක් හෝ නගීද බැහැර කිරීමක් හෝ කරණු ලැබේද, මනුෂ්යයෝ හෝ යටපත් කරමින් එත්ද, එකල්හි භික්ෂූහු ‘අවකාශයක් නැත්තේය, අපි අන් තැනක යමු’යි ඡන්දය නොහැරම නැගීසිටිත්ද, මෙය පරිසපාරිවාසිය නම්වේ. පරිසපාරිවාසියෙහි ඡන්දය නොහළ බැවින් කර්මකිරීමෙහි දොෂයක් නැත්තේය.