සතරවන සිකපද වර්ණනාව
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - “නිකණ්ණිකං” කන්මුල කියනු ලැබේ. කන්මුල කියන්නේයයි කියන ලද්දේය. “සති කරණීයෙ” ලහබත් ආදිය ගෙණඊම පිණිස, විහාරයෙහි හෝ නොමනාව තැබූවක් තැන්පත් කිරීම පිණිස සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානිදීහු ප්‍රථම ශික්‍ෂාපදය සමානම වෙත්.
සිවුවන ශික්‍ෂාපදයයි
පස්වන සිකපද වර්ණනාව
පඤ්චම ශික්‍ෂාපදයෙහි - “ඝරං සෙධෙන්තා” ඔවුන්ට වනාහි මෙබඳු සිතෙක් වූයේය. ‘ස්ථවිරාවගේ කිසි කායිකවාචසික ව්‍යතික්‍රමයෙක් නොදක්නා ලැබේ. ගෙයද පිරිසිදු කරම්හ’යි ඉක්බිති ගේ පිරිසිදු කරන්නාහු ඒ අස්න දුටුවාහුය.
“අනොවස්සකං අතික්කාමෙන්තියා” පළමු පිය ඉක්මවන්නියට දුක්කටය වේ. දෙවන පිය ඉක්මවන්නියට පාචිත්තිය වේ. උපචාරය ඉක්මීමෙහිද මේ නයම වේ.
“ගිලානාය” එබඳු ගිලන් බවෙන් විචාරන්නට නොහැක්කීද, “ආපදාසු” ගෙයි ගිනි හෝ නැගුනේවේද, සොරු හෝ නැගී සිටියාහුද, මෙබඳු උවදුරෙහි නොවිචාරා යන්නීද ඇවැත් නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය.
කඨිනසමුත්‍ථානිකය. කායවාචායෙන්ද, කායවාචාචිත්තයෙන්ද, හටගනියි. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
පස්වන ශික්‍ෂාපදයයි
සවන සිකපද වර්ණනාව
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - “අභිනිසීදෙය්‍ය” හිඳින්නීනම්, හිඳ යන්නියට එක් ඇවැතක් වේ. නොහිඳ නිදා යන්නියට ඇවැත් දෙකක් වේ.
“ධුවපඤ්ඤත්තෙ” මෙහෙණන්ගේ ප්‍රයොජනය පිණිස නිති පනවලද අසුනෙහි. සෙස්ස ප්‍රකටමය. කඨිනසමුත්‍ථානිකය. -පෙ-ත්‍රිවෙදනයි.
සවන ශික්‍ෂාපදයයි
සත්වන සිකපද වර්ණනාව
සප්තම ශික්‍ෂාපදයෙහිද සියල්ල සවන ශික්‍ෂාපදයෙහි කියූ නයින්ම දතයුතුය.
සත්වන ශික්‍ෂාපදයයි
අටවන සිකපද වර්ණනාව
අෂ්ටම ශික්‍ෂාපදයෙහි - සියල්ල ප්‍රකටමය. ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
අටවන ශික්‍ෂාපදයයි
නවවන සිකපද වර්ණනාව
නවම ශික්‍ෂාපදයෙහි - “අභිසපෙය්‍ය” දිවිරීම කරන්නීනම්, ‘නිරයෙන අභිසපති නාම’ නිරයෙහි උපදිමි, අවීචියෙහි උපදිමි, නිරයෙහි උපදීවා, අවීචියෙහි උපදීවා’යි මේ ආදී නයින් ආක්‍රොශ කරන්නීය. “බ්‍රහ්මචරියෙන අභිසපතිනාම” ගිහිනියක් වෙමි, සුදුවත් ඇත්තියක් වෙමි, පරිව්‍රාජිකාවක් වෙමි, අන්‍යවූ හෝ මා වැන්නියක් වේවායි මේ ආදිනයින් ආක්‍රොශ කරන්නීය. මෙහි වචනයක් වචනයක් පාසා පාචිත්තිය වේ. නිරයද බ්‍රහ්මචර්‍ය්‍යද හැර බැල්ලක්, ඊරියක්, කණියක්, කුණියක් වෙමි’යි මේ ආදී නයින් ආක්‍රොශ කරන්නියට වචනයක් වචනයක් පාසා දුක්කටය වේ.
“අත්‍ථපුරෙක්‍ඛාරාය” අර්‍ත්‍ථ කථාව කියන්නියට. “ධම්මපුරෙක්‍ඛාරාය” පෙළ කියන්නියට. “අනුසාසනී පුරෙක්‍ඛාරාය” ‘දැනුදු තී මෙබන්දියක, මැනැවි, වැළකෙව, නොවළකින්නෙහි නම්, එකාන්තයෙන් නැවත මෙබඳු වැඩකොට නිරයෙහි උපදින්නෙහිය. තිරිසන් යොනියෙහි උපදින්නෙහිය’යි මෙසේ අනුශාසනාවෙහි සිට කියන්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.
ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මය. අකුශලචිත්තයි. දු:ඛවෙදනයි.
නවවන ශික්‍ෂාපදයයි
දසවන සිකපද වර්ණනාව
දශම ශික්‍ෂාපදයෙහි - සියල්ල ප්‍රකටමය. ධුරනික්‍ෂෙපසමුත්‍ථානිකය. කායවාචාචිත්තයෙන් හටගනියි. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
දසවන ශික්‍ෂාපදයයි
ද්විතීය වූ අන්‍ධකාර වර්‍ගයයි
3. නග්නවර්‍ගය
පළමු සිකපද වර්ණනාව
නග්ග වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “බ්‍රහ්මචරියං චිණ්ණෙන” පුරුදු කළ බ්‍රහ්මචර්‍ය්‍යයෙන්. නොහොත් බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරීමෙන්ය. මෙසේ කරණාර්‍ත්‍ථයෙහි හෝ සම්බන්‍ධාර්‍ත්‍ථයෙහි හෝ ද්විතීයා වචනය දතයුතුය. “අච්ඡින්නචීවරිකාය” මෙය දියසළුව සඳහා කියනලදී. අන්සිවුරක් සඳහා නොකියන ලදය. එහෙයින් දියසළුව පැහැරගත්කල්හි හෝ නැසුනු කල්හි හෝ නග්නව ස්නානය කරන්නියට ඇවැත් නොවේ. ඉදිනුදු දියසඑසිවුර මාහැඟි වේද, හැඳ පිටතයන්නට නොහැක්කීද, මෙසේ ඇතිකල්හිද නග්නව ස්නානය කරන්නට වටියි. මෙහි සෙස්ස ප්‍රකටමය.
එළකලොම සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
පළමුවන ශික්‍ෂාපදයයි
දෙවන සිකපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි - සියල්ල ප්‍රකටමය. ෂඩ්සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
දෙවන ශික්‍ෂාපදයයි
තෙවන සිකපද වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයහි - “අනන්තරායකිනි” දශවිධ අන්තරායයන් අතුරෙහි එකද අන්තරායයකින් අන්තරාය නැත්තී. “ධුරං නික්‍ඛිත්තමත්තෙ” ධුරනික්‍ෂෙපයකොට පසුව මසානම් ඇවැත්මවේය, යන අර්‍ත්‍ථයි. සෙස්ස ප්‍රකටමය.
ධුරනික්‍ෂෙප සමුත්‍ථානිකය. අක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
තෙවන ශික්‍ෂාපදයයි
සතරවන සිකපද වර්ණනාව
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - පස්දවස පඤ්චාහ නම. පඤ්චාහයම පඤ්චාහික නම. පංචවිධ චීවරයන්ගේ පරිභොග වසයෙන් හෝ අඩු කැවීම් වසයෙන් හෝ පෙරළීම සඞ්ඝාටිචාර නම. පරිභොග වසයෙන් හෝ අවුවෙහිලා වියලීම් වසයෙන් හෝ සඞ්ඝටිතාර්‍ත්‍ථයෙන් සඞ්ඝාටියි ලැබූ නම් ඇති පංචවිධචීවරයන්ගේ පරිවර්‍තනය යන අර්‍ත්‍ථයි. එහෙයින්ම පදභාජනයෙහි “පඤ්චමං දිවසං පඤ්ච චීවරානි” යනාදිය වදාළ සේක. “ආපත්ති පාචිත්තියස්ස” මෙහිද එක් සිවුරක් නිමිතිකොට එක් ඇවැතක් වේ. සිවුරුපස නිමිතිකොට ඇවැත් පසෙක් වේ.