සත්වන සිකපද වර්ණනාව
සප්තම ශික්ෂාපදයෙහි - “භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස” මෙය පයොග දුක්කට නම. එහෙයින් හුදෙක් පිළිගැණීම නිමිතිකොටම නොවේ. පිළිගෙණ වනාහි අන්තැනකින් ගෙණඊම නිමිති කොටද, වියලීම නිමිති කොටද වැසි දිනයෙහි බැඳීම පිණිස උඳුන් සෑදීම නිමිතිකොටද කබල සෑදීම නිමිතිකොටද හැන්ද තැනීම නිමිති කොටද, දර ගෙණවුත් ගිනිකිරීම නිමිතිකොටද, කබලෙහි ධාන්ය බහාලීම නිමිති කොටද හැන්දෙන් ගැටීම් නිමිතිකොටද, කෙටීම පිණිස වනමෝල් සෑදීම් නිමිතිකොටද කෙටීම් පෙළීම් සේදීම් ආදිය නිමිති කොටද මුවෙහි තබා ගිලීම පිණිස දත්වලින් විකාද ඒතාක් සියලු ප්රයොගයන්හි දුක්කටයෝ වෙත්. ගිලින කල්හි වනාහි පිඩුගණනින් පාචිත්තියයෝ වෙත්. මෙහිද විඥප්තියද භොජනයද ප්රමාණ වේ. එහෙයින් තමන් විනවා අනිකක් ලවා බැදීම් කෙටීම් පිසීම් කරවා අනුභව කරන්නියට පවා ඇවැත් වේ. අන් එකකුලවා විනවා තමන් බැදීම් ආදියකොට අනුභව කරන්නියට පවා ඇවැත් වේ. මහාපච්චරියෙහි වනාහි මේ ආමකධාන්ය නම් මව නමුදු විනවා අනුභව කරන්නියට පාචිත්තියම වේ. නොවිනවීමෙන් ලද්දක් බැඳීම් ආදියකොට හෝ කරවා හෝ අනුභව කරන්නියට දුක්කටය වේ. අන් එකක්හුගේ විනවීමෙන් ලද්දක් තමන් හෝ බැඳීම් ආදිය කොට ඒ මෙහෙණලවා හෝ කරවා අන් එකකුලවා හෝ කරවා අනුභව කරන්නියට පවා දුක්කටයමැයි කියනලදී. නැවතද අන් එකක්හුගේ විනවීමෙන් ලද්දක්වේද, හෙද වනාහි තමන් බැඳීම් ආදිය කොට අනුභව කරන්නියට පාචිත්තියම වේ. බැඳීම් ආදිය කරවා අනුභව කරන්නියට වනාහි දුක්කටයයි කියනලදී. එය පූර්වාපරවිරොධය වේ. බැදීම් ආදිය කිරීමෙහි හෝ කරවීමෙහි වෙනසෙක් නොමඇත්තේය. මහාර්ත්ථකථාවෙහි වනාහි අන් එකකු විසින් විනවන ලද්දක් අනුභව කරන්නියට දුක්කටයයි විශෙෂයක් නොතබා කියනලදී. එය යුතුමය.
“ආබාධප්පච්චයා” ස්වෙදකර්මාදිය පිණිස ධාන්ය විනවීම නිමිතිකොට ඇවැත් නොවේ. නොවිනවීමෙන් ලබන්නක් වනාහි නවකර්මාන්ත පිණිස පිළිගැණීම වටීයයි මහාපච්චරියෙහි කියනලදී. ‘අපරන්නං විඤ්ඤාපෙති’ සප්තවිධ ධාන්ය හැර මුං, මෑ, ආදිය හෝ ලබු, කොමඩු ආදීවු හෝ අන්යවූ යම් කිසිවක් හෝ නෑ පැවරූ තන්හි විනවන්නියට ඇවැත් නොවේ. අමුධාන්යයක් වනාහි නෑ පැවරූතන්හිද නොවටියි. සෙස්ස ප්රකටමය.
චතුස්සමුත්ථානිකය. කයින් කයවචනයෙන් කයසිතින්, කයවචනසිතින්ද හටගනියි. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
සත්වන ශික්ෂාපදයයි.
අටවන සිකපද වර්ණනාව
අෂ්ටම ශික්ෂාපදයෙහි - “නිබ්බිට්ඨරාජභටො” පිහිටුවනලද රජහට දියයුතු භති, අය මේ බමුණහු විසිනැයි නිබ්බිට්ඨරාජභට නම. එක් තනතුරක් අයයෙන් ගෙන එයින් ලැබූ මහත් අය ඇත්තේය යන අර්ත්ථයි. “තං යෙව භටපථං යාචිස්සාමි” රජහට දියයුතුවූ අයද දී නැවැත එම තනතුරම යාඥා කරන්නෙමි’යි සිතමින් “පරිහාසි” ඒ මෙහෙණන්හට ‘නැවැත මෙසේ නොකරවු’යි තර්ජනය කළේය.
“සයං ඡඩ්ඩෙති” මලමූ ආදීවූ සතරවස්තූන් එක් ප්රයොගයකින් දමන්නියට එක්ම ඇවැතක් වේ. වෙන් වෙන් වසයෙන් දමන්නියට වස්තු ගණනින් ආපත්තීහු වෙත්. ඇණවීම නිමිතිකොටද මෙම නයවේ. දැහැටිදඬු දැමීම නිමිතිකොටද මෙහෙණට පාචිත්තියම වේ. මහණහුට හැමතන්හි දුක්කටය වේ. සෙස්ස ප්රකටමය.
ෂඩ්සමුත්ථානිකය. ක්රියාක්රියසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
අටවන ශික්ෂාපදයයි
නවවන සිකපද වර්ණනාව
නවම ශික්ෂාපදයෙහි - “යං මනුස්සානං උපභොගපරිභොගං රොපිමං” කෙතක් හෝ වේවා, ‘නාළකෙරාදි ආරමයක් හෝ වේවා, යම්කිසි වැවිලි ඇති නිල්වන් තැනක මේ වස්තූන් දමන්නියට පෙරනයින්ම ආපත්තිභෙදය දතයුතුය. කෙතෙහි හෝ අරමෙහි හෝ හිඳ අනුභව කරන්නී උක් ආදියක් හෝ කමින් යන්නී ඉඳුල්දිය කටුරොඩු ආදිය හෝ නිල්වන් තැනක දමාද, යටත් පිරිසයින් පැන් බී මුදුන සිඳදැමූ පොලක් හෝ දමාද, පාචිත්තියම වේ. මහණහුට දුක්කටය වේ. සෑතන්හි වපුළ බිජුවටෙහි යම්තාක් අඞ්කුරය නොනගීද, ඒතාක් මහණ මෙහෙණ සියල්ලන්හට දුක්කටය වේ. නොවපුළ බිජුවට ඇති කෙත් කොන් ආදියෙහි හෝ නොහටගත් වැවිලි ඇති කෙත් ඉම් ආදියෙහි හෝ දැමීම වටියි. මිනිසුන්ගේ කසළ දමන තන්හිද වටියි. “ඡඩ්ඩිතඛෙත්තෙ” මිනිසුන් සස්ය උදුරාගිය කල්හි ඒ කෙත හළකෙත නම්වේ. එහිම වටියි. යම්තැනක කපන ලද්දාවූද, පුබ්බන්නාදිය නැවැත හටගන්නේයයි රකිත්ද, එහි යථාවස්තුක ඇවැත්ම වේ. සෙස්ස ප්රකටමය. ෂඩ්සමුත්ථානිකය. ක්රියාක්රියසමුත්ථානය. -පෙ-ත්රිවෙදනයි.
නවවන ශික්ෂාපදයයි
දසවන සිකපද වර්ණනාව
දශම ශික්ෂාපදයෙහි - “යං කිඤ්චි නච්චං” නාට්යකාරාදීහු හෝ නටත්වා, සොඬහු හෝ නටත්වා, යටත්පිරිසෙයින් මොනර, ගිරා, වඳුරු ආදීහු හෝ නටත්වා, මේ සියල්ලද නෘත්යමය. “යං කිඤ්චි ගීතං” නළු ආදීන්ගේ ගීතයක් හෝ වේවා. ආර්ය්යයන් පිරිනිවන කල්හි තෙරුවන් ගුණයුත් සාධුකීළිත ගීතයක් හෝ වේවා, අසංයත භික්ෂූන්ගේ ධර්මභාණක ගීතයක් හෝ වේවා. මේ සියල්ලද ගීතමය. “කිඤ්චි වාදිතං” තන්ත්රිබද්ධාදීවූ වාදනීය භාණ්ඩයන්ගේ වාදනයක් හෝ වේවා, කුළුබෙර ගැසීමක් හෝ වේවා, යටත් පිරිසෙයින් උදකභෙරිවාදනයක් නමුදු වේවා, මේ සියල්ලද වාදිතමය.