අටවන සිකපද වර්ණනාව
අෂ්ටම ශික්ෂාපදයෙහි - “නිබ්බිට්ඨරාජභටො” පිහිටුවනලද රජහට දියයුතු භති, අය මේ බමුණහු විසිනැයි නිබ්බිට්ඨරාජභට නම. එක් තනතුරක් අයයෙන් ගෙන එයින් ලැබූ මහත් අය ඇත්තේය යන අර්ත්ථයි. “තං යෙව භටපථං යාචිස්සාමි” රජහට දියයුතුවූ අයද දී නැවැත එම තනතුරම යාඥා කරන්නෙමි’යි සිතමින් “පරිහාසි” ඒ මෙහෙණන්හට ‘නැවැත මෙසේ නොකරවු’යි තර්ජනය කළේය.
“සයං ඡඩ්ඩෙති” මලමූ ආදීවූ සතරවස්තූන් එක් ප්රයොගයකින් දමන්නියට එක්ම ඇවැතක් වේ. වෙන් වෙන් වසයෙන් දමන්නියට වස්තු ගණනින් ආපත්තීහු වෙත්. ඇණවීම නිමිතිකොටද මෙම නයවේ. දැහැටිදඬු දැමීම නිමිතිකොටද මෙහෙණට පාචිත්තියම වේ. මහණහුට හැමතන්හි දුක්කටය වේ. සෙස්ස ප්රකටමය.
ෂඩ්සමුත්ථානිකය. ක්රියාක්රියසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
අටවන ශික්ෂාපදයයි
නවවන සිකපද වර්ණනාව
නවම ශික්ෂාපදයෙහි - “යං මනුස්සානං උපභොගපරිභොගං රොපිමං” කෙතක් හෝ වේවා, ‘නාළකෙරාදි ආරමයක් හෝ වේවා, යම්කිසි වැවිලි ඇති නිල්වන් තැනක මේ වස්තූන් දමන්නියට පෙරනයින්ම ආපත්තිභෙදය දතයුතුය. කෙතෙහි හෝ අරමෙහි හෝ හිඳ අනුභව කරන්නී උක් ආදියක් හෝ කමින් යන්නී ඉඳුල්දිය කටුරොඩු ආදිය හෝ නිල්වන් තැනක දමාද, යටත් පිරිසයින් පැන් බී මුදුන සිඳදැමූ පොලක් හෝ දමාද, පාචිත්තියම වේ. මහණහුට දුක්කටය වේ. සෑතන්හි වපුළ බිජුවටෙහි යම්තාක් අඞ්කුරය නොනගීද, ඒතාක් මහණ මෙහෙණ සියල්ලන්හට දුක්කටය වේ. නොවපුළ බිජුවට ඇති කෙත් කොන් ආදියෙහි හෝ නොහටගත් වැවිලි ඇති කෙත් ඉම් ආදියෙහි හෝ දැමීම වටියි. මිනිසුන්ගේ කසළ දමන තන්හිද වටියි. “ඡඩ්ඩිතඛෙත්තෙ” මිනිසුන් සස්ය උදුරාගිය කල්හි ඒ කෙත හළකෙත නම්වේ. එහිම වටියි. යම්තැනක කපන ලද්දාවූද, පුබ්බන්නාදිය නැවැත හටගන්නේයයි රකිත්ද, එහි යථාවස්තුක ඇවැත්ම වේ. සෙස්ස ප්රකටමය. ෂඩ්සමුත්ථානිකය. ක්රියාක්රියසමුත්ථානය. -පෙ-ත්රිවෙදනයි.
නවවන ශික්ෂාපදයයි
දසවන සිකපද වර්ණනාව
දශම ශික්ෂාපදයෙහි - “යං කිඤ්චි නච්චං” නාට්යකාරාදීහු හෝ නටත්වා, සොඬහු හෝ නටත්වා, යටත්පිරිසෙයින් මොනර, ගිරා, වඳුරු ආදීහු හෝ නටත්වා, මේ සියල්ලද නෘත්යමය. “යං කිඤ්චි ගීතං” නළු ආදීන්ගේ ගීතයක් හෝ වේවා. ආර්ය්යයන් පිරිනිවන කල්හි තෙරුවන් ගුණයුත් සාධුකීළිත ගීතයක් හෝ වේවා, අසංයත භික්ෂූන්ගේ ධර්මභාණක ගීතයක් හෝ වේවා. මේ සියල්ලද ගීතමය. “කිඤ්චි වාදිතං” තන්ත්රිබද්ධාදීවූ වාදනීය භාණ්ඩයන්ගේ වාදනයක් හෝ වේවා, කුළුබෙර ගැසීමක් හෝ වේවා, යටත් පිරිසෙයින් උදකභෙරිවාදනයක් නමුදු වේවා, මේ සියල්ලද වාදිතමය.
“දස්සනාය ගච්ඡති ආපත්ති දුක්කටස්ස” පියවර ගණනින් දුක්කටයට පැමිණීම වේ. “යත්ථ ඨිතා පස්සති වා සුණාති වා” එක් ප්රයොගයකින් බලන්නී බලාද, ඔවුන්ගේම ගීතවාදිතය අසාද එක්ම පාචිත්තියක්ම වේ. ඉදින් එක් දිසාවක් බලා නෘත්යය බලාද, නැවත අනික් දිසාවක් බලා ගායනා කරන්නවුන් බලාද, අනිත් දිසාවෙක්හි වයන්නවුන් බලාද, වෙන් වෙන් වූ ඇවැත්හු වෙත්. මෙහෙණ තොමෝ, තොමෝ නටන්නට හෝ ගයන්නට හෝ වයන්නට හෝ නොලබයි. අනිකක්හට ‘නටව, ගයව, වයව’යි කියන්නටද, නොලබයි. ‘උපාසක, චෛත්යයට උපහාර දෙවු, කියන්නටද, නුබවහන්සේලාගේ සෑයට උපස්ථාන කරම්හ’යි විචාළ කල්හි ‘යහපතැ’යි පිළිගන්නටද නොලබයි. සියලු තන්හි පාචිත්තිය’යි සියලු අර්ත්ථකථාවන්හි කියනලදී. මහණහුට දුක්කටය වේ. ‘නුබවහන්සේලාගේ සෑයට උපස්ථාන කරමුදැ’යි විචාළ කල්හි ‘උපස්ථාන කිරීම නම් යහපතැයි කීම වටියි.
“ආරාමෙ ඨිතා” ආරාමයෙහි සිට ආරාමය තුළ හෝ ආරාමය පිටත හෝ නෘත්යාදිය බලාද, අසාද, ඇවැත් නොවේ. “සති කරණීයෙ” ලහබත් ආදිය පිණිස හෝ අන් කිසි කටයුත්තක් නිසා හෝ ගොස් ගියතන්හිදී බලාද අසාද ඇවැත් නොවේ. ‘ආපදාසු’ එබඳු උවදුරකින් උපද්රතවූවා නටන තැනට පිවිසෙන්නීද, මෙසේ පිවිස බලන්නියටද, අසන්නියටද, ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය.
එළකලොමසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. අකුශලචිත්තයි. ත්රිවෙදනයි.
දසවන ශික්ෂාපදයයි
ප්රථම වූ ලසුණ වර්ගයයි
2. අන්ධකාරවර්ගය
පළමුවන සිකපද වර්ණනාව
අන්ධකාර වර්ගය පිළිබඳ ප්රථම ශික්ෂාපදයෙහි - “අප්පදීපෙ” සඳ හිරු ගිනි යන පහන් අතුරෙහි එකෙකිනුදු ආලොක රහිත තැන. එහෙයින්ම මේ ශික්ෂාපදයාගේ පදභාජනයෙහි “අනාලොකෙ”යි වදාරණලදී. “සල්ලපෙය්ය වා” ගෘහනිශ්රිත කථා කියන්නේය.
“අරහොපෙක්ඛා අඤ්ඤවිහිතා” රහසෙහි ආස්වාදාපෙක්ෂාවක් නැත්තී රහස් ආස්වාදයෙන් අන්යවිහිතවම නෑයකු හෝ විචාරද, දානයෙහි හෝ පූජාවෙහි හෝ මන්ත්රණය කෙරේ. සෙස්ස ප්රකටමය. ථෙය්යසමුත්ථානිකය. කායචිත්තයෙන්ද, කායවාචාචිත්තයෙන්ද හටගණියි. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. ද්විවෙදනයි.
පළමුවන ශික්ෂාපදයයි
දෙවන සිකපද වර්ණනාව
ද්විතීය ශික්ෂාපදයෙහි - “පටිච්ඡන්තෙ ඔකාසෙ” මෙපමණක්ම වෙනස් වේ. සෙසු සියල්ල ප්රථමශික්ෂාපදය සමාන වේ.