පස්වන සිකපද වර්ණනාව
පඤ්චම ශික්‍ෂාපදයෙහි “අතිගම්භීරං උදකසුද්ධිකං ආදියන්ති” ඉතා ඇතුළට ප්‍රවෙශකොට ජලයෙන් සෝදන්නී.
‘කෙසග්ගමත්තම්පි අතික්කාමෙති’ පුළුලින් තෙවන ඇඟිල්ල හෝ සිවුවන ඇඟිල්ල හෝ ගැඹුරෙන් පුරුක් දෙකකට වැඩියෙන් කෙසගක් පමණ නමුදු ප්‍රවෙශකරන්නියට පාචිත්තිය යන අර්‍ත්‍ථයි. මහාපච්චරියෙහි එක් ඇඟිල්ලක පුරුක් තුනක් ඇතුල් කිරීම නොලබයි. ඇඟිලි තුනක හෝ සතරක හෝ එකද පුරුකක් ඇතුල් කිරීම නොලබාය’යි මෙය කියන ලද්දේමය. සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානාදීහුද තලඝාතක ශික්‍ෂාවෙහි කියන ලද්ද සමානම වෙත්.
පස්වන ශික්‍ෂාපදයයි.
සවන සිකපද වර්ණනාව
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - “භත්තවිස්සග්ගං” බත්කිස පානීයෙන ච විධූපනෙන ච උපතිට්ඨිත්‍වා’ එක් අතකින් පැන්තළුව එක් අතකින් විජනිය ගෙණ පවන් සලමින් සමීපයෙහි සිට යන අර්‍ත්‍ථයි. “අච්චාවදති” පෙරද නුඹවහන්සේ මෙසේ අනුභව කළහු, මම මෙසේ උපස්ථාන කෙළෙමි’යි පැවිදි සිරිත් ඉක්මවා ගෘහනිශ්‍රිත කථා කියාය යන අර්‍ත්‍ථයි.
“යං කිඤ්චි පානීයං” පිරිසිදු දියක් හෝ වේවා, මෝරු දී මීරස කිරි ආදීන් අතුරෙහි එක්තරා එකක් හෝ වේවා, “යා කාචි විජනී” යටත් පිරිසයින් සිවුරු කොණක් නමුදු “හත්‍ථපාසෙ තිට්ඨති ආපත්ති පාචිත්තියස්ස” මෙහි සිටීම හේතුකොටම පාචිත්තිය කියනලදී. ප්‍රහාර හේතුවෙන් ඛන්‍ධකයෙහි දුක්කටය පනවන ලදී.
“දෙති දාපෙති” පැනක් හෝ සූපාදියක් හෝ මෙය පානය කරවු, මෙයින් අනුභව කරවු’යි දේද, මෙයින් පවන් සලමින් අනුභව කරවුයි තල්වැටක් දේද, අනිකකු ලවා හෝ දෙකම දෙවාද, ඇවැත් නොවේ. “අනුපසම්පන්නං ආණාපෙති” වෙත සිටිනු පිණිස හෙරණකට අණ කෙරේද, ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.
එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානිකය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සවන ශික්‍ෂාපදයයි
සත්වන සිකපද වර්ණනාව
සප්තම ශික්‍ෂාපදයෙහි - “භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස” මෙය පයොග දුක්කට නම. එහෙයින් හුදෙක් පිළිගැණීම නිමිතිකොටම නොවේ. පිළිගෙණ වනාහි අන්තැනකින් ගෙණඊම නිමිති කොටද, වියලීම නිමිති කොටද වැසි දිනයෙහි බැඳීම පිණිස උඳුන් සෑදීම නිමිතිකොටද කබල සෑදීම නිමිතිකොටද හැන්ද තැනීම නිමිති කොටද, දර ගෙණවුත් ගිනිකිරීම නිමිතිකොටද, කබලෙහි ධාන්‍ය බහාලීම නිමිති කොටද හැන්දෙන් ගැටීම් නිමිතිකොටද, කෙටීම පිණිස වනමෝල් සෑදීම් නිමිතිකොටද කෙටීම් පෙළීම් සේදීම් ආදිය නිමිති කොටද මුවෙහි තබා ගිලීම පිණිස දත්වලින් විකාද ඒතාක් සියලු ප්‍රයොගයන්හි දුක්කටයෝ වෙත්. ගිලින කල්හි වනාහි පිඩුගණනින් පාචිත්තියයෝ වෙත්. මෙහිද විඥප්තියද භොජනයද ප්‍රමාණ වේ. එහෙයින් තමන් විනවා අනිකක් ලවා බැදීම් කෙටීම් පිසීම් කරවා අනුභව කරන්නියට පවා ඇවැත් වේ. අන් එකකුලවා විනවා තමන් බැදීම් ආදියකොට අනුභව කරන්නියට පවා ඇවැත් වේ. මහාපච්චරියෙහි වනාහි මේ ආමකධාන්‍ය නම් මව නමුදු විනවා අනුභව කරන්නියට පාචිත්තියම වේ. නොවිනවීමෙන් ලද්දක් බැඳීම් ආදියකොට හෝ කරවා හෝ අනුභව කරන්නියට දුක්කටය වේ. අන් එකක්හුගේ විනවීමෙන් ලද්දක් තමන් හෝ බැඳීම් ආදිය කොට ඒ මෙහෙණලවා හෝ කරවා අන් එකකුලවා හෝ කරවා අනුභව කරන්නියට පවා දුක්කටයමැයි කියනලදී. නැවතද අන් එකක්හුගේ විනවීමෙන් ලද්දක්වේද, හෙද වනාහි තමන් බැඳීම් ආදිය කොට අනුභව කරන්නියට පාචිත්තියම වේ. බැඳීම් ආදිය කරවා අනුභව කරන්නියට වනාහි දුක්කටයයි කියනලදී. එය පූර්‍වාපරවිරොධය වේ. බැදීම් ආදිය කිරීමෙහි හෝ කරවීමෙහි වෙනසෙක් නොමඇත්තේය. මහාර්‍ත්‍ථකථාවෙහි වනාහි අන් එකකු විසින් විනවන ලද්දක් අනුභව කරන්නියට දුක්කටයයි විශෙෂයක් නොතබා කියනලදී. එය යුතුමය.
“ආබාධප්පච්චයා” ස්වෙදකර්‍මාදිය පිණිස ධාන්‍ය විනවීම නිමිතිකොට ඇවැත් නොවේ. නොවිනවීමෙන් ලබන්නක් වනාහි නවකර්‍මාන්ත පිණිස පිළිගැණීම වටීයයි මහාපච්චරියෙහි කියනලදී. ‘අපරන්නං විඤ්ඤාපෙති’ සප්තවිධ ධාන්‍ය හැර මුං, මෑ, ආදිය හෝ ලබු, කොමඩු ආදීවු හෝ අන්‍යවූ යම් කිසිවක් හෝ නෑ පැවරූ තන්හි විනවන්නියට ඇවැත් නොවේ. අමුධාන්‍යයක් වනාහි නෑ පැවරූතන්හිද නොවටියි. සෙස්ස ප්‍රකටමය.