අෂ්ටම සඞ්ඝාදිශේෂය වර්ණනාව
අෂ්ටම ශික්‍ෂාපදයෙහි - “කිස්මිඤ්චිදෙව අධිකරණෙ” සතර අධිකරණයන් අතුරෙහි එක්තරා එකෙක. පදභාජනයෙහි වනාහි හුදෙක් අධිකරණවිභාගය දක්වනු පිණිස “අධිකරණං නාම චත්තාරි අධිකරණානි” යනාදිය වදාරණ ලදී. සමුත්‍ථානාදිය සමග සෙස්ස ප්‍රකටමය.
අටවැනි ශික්‍ෂාපදයයි
නවම සඞ්ඝාදිශේෂය වර්ණනාව
නවම ශික්‍ෂාපදයෙහි - “සංසට්ඨා” මිශ්‍ර වූවාහු. “අනනුලොමිකෙන” පැවිද්දන්ට අනුලොම් නොවූ. “කායිකවාචසිකෙන සංසට්ඨා” ගිහියන්ගේ කෙටීම් පිසීම් සුවඳ ඇඹරීම් මල්දම් ගෙතීම් ආදීවූ කායික ක්‍රියාවෙන්ද, හසුන් ගෙන යෑම පෙරළා ගෙණ ඊමැයි කියනලද වාචසික ක්‍රියාවෙන්ද මිශ්‍රවූවාහු. ලාමක කීර්තිශබ්දය මේ මෙහෙණන්ගේනුයි පාපසද්ද නම්හ. ලාමක වූ ආජීවසඞ්ඛ්‍යාත කීර්තිය මේ මෙහෙණන්ගේනුයි පාපසිලොකා නම්හ. සමුත්‍ථානාදිය සමග සෙස්ස ප්‍රකටයමය.
නවවන ශික්‍ෂාපදයයි
දශම සඞ්ඝාදිශේෂය වර්ණනාව
දශම ශික්‍ෂාපදයෙහි “එවාචාරා” මෙබඳු ආචාර ඇත්තාහු. තොපගේ ආචාරය යම්බඳුද, එබඳු ආචාර ඇත්තාහුය යන අර්‍ත්‍ථයි. සියලු තන්හි මෙම නයවේ. “උඤ්ඤාය” අවඥායෙන් පහත්කොට දැනීම පිණිස. “පරිභවෙන” මේ මෙහෙණෝ කුමක් කරන්නාහුදැ’යි මෙසේ පරිභවකොට දැනීමෙන්. “අක්‍ඛන්තියා” නොඉවසන බැවින් කොපයෙන් යන අර්‍ත්‍ථයි. “වෙභස්සා” බලවත් කථා ඇතිබැවින්. තමන්ගේ බලය පවසන තැති ගැන්වීමෙන් යන අර්‍ත්‍ථයි. “දුබ්බල්‍යා” තොපගේ දුර්‍වලභාවයෙන්. සියලු තන්හි අවඥායෙන්, පරිභවයෙන්යි මෙසේ සමුච්චයාර්‍ත්‍ථය දතයුත්තේය. “විචිච්චථ” වෙන්වුව මැනැවැ. සමුත්‍ථානාදීන් සමග සෙස්ස ප්‍රකටමය.
දසවන ශික්‍ෂාපදයයි.
“උද්දිට්ඨා ඛො අය්‍යායො සත්තරස සඞ්ඝාදිස්සො” මෙහි සවැදෑරුම් වූ ප්‍රථමාපත්තීන්ට අනතුරුව සඤ්චරිත්ත ශික්‍ෂාපදයද දුෂ්ටදොෂ ශික්‍ෂාපද දෙකද යන මේ ත්‍රිවිධ ශික්‍ෂාපදයෝ මහා විභඞ්ගයෙන් ගෙණ බහා ප්‍රථමාපත්තික නවයද, සිවුවැදෑරුම් වූ යාවත්තියකාපත්තීන්ට අනතුරුව මහාවිභඞ්ගයෙන්ම ගෙණ සිවුවැදෑරුම් යාවතතියක ශික්‍ෂාවන් බහා යාවතතියක ශික්‍ෂාපද අටද දතයුතුය. මෙසේ සියලුම ශික්‍ෂාපදයෝ ප්‍රාතිමොක්‍ෂාද්දෙශ මාර්‍ගයෙන් ‘උද්දිටඨා ඛො අය්‍යායො සත්තරස සඞ්ඝාදිසෙසා ධම්මා’යි මෙසේ මෙහි අර්‍ත්‍ථ දතයුතුය. පක්‍ෂමානත්තය හැර සෙස්ස ප්‍රකටමය. ඒ පක්‍ෂමානත්තය වනාහි ඛන්‍ධකයෙහි විස්තර වශයෙන් වර්‍ණනා කරන්නෙමු.
විනයවිවෘති නම්වූ සිංහල සමන්තපාසාදිකාවෙහි භික්‍ෂුණී විභඞ්ගයෙහි සප්තරසක සංඝාදිසෙස වර්‍ණනාව නිමි
3. නිසඟිපචිති
පළමු සිකපද වර්ණනාව
“තිංස නිස්සග්ගියා ධම්මා - භික්‍ඛුණීනං පකාසිතා,
යෙ තෙසංදානි භවති - අයං සංවණ්ණනාක්කමො”
මෙහෙණන්හට යම් තිංස නිස්සග්ගියපාචිත්තීහු කෙනෙක් වදාරණ ලද්දාහුද දැන් ඒ පාචිත්තියාපත්තීන්ගේ මේ සංවර්‍ණනා ක්‍රමය වේ.
“ආත්තිකාපණං” බඳුන් අමත්තයි කියනු ලැබේ. ඒ බඳුන් යම් කෙනෙක් විකුණත්ද, ඔවුහු ආමත්තිකයි කියනු ලැබෙත්. ඔවුන්ගේ ආපණය තෙමේ ආමත්තිකාපණ නම්. එය හෝ පැතිරීම කරන්නාහුය යන අර්‍ත්‍ථයි.