දශම සඞ්ඝාදිශේෂය වර්ණනාව
දශම ශික්‍ෂාපදයෙහි “එවාචාරා” මෙබඳු ආචාර ඇත්තාහු. තොපගේ ආචාරය යම්බඳුද, එබඳු ආචාර ඇත්තාහුය යන අර්‍ත්‍ථයි. සියලු තන්හි මෙම නයවේ. “උඤ්ඤාය” අවඥායෙන් පහත්කොට දැනීම පිණිස. “පරිභවෙන” මේ මෙහෙණෝ කුමක් කරන්නාහුදැ’යි මෙසේ පරිභවකොට දැනීමෙන්. “අක්‍ඛන්තියා” නොඉවසන බැවින් කොපයෙන් යන අර්‍ත්‍ථයි. “වෙභස්සා” බලවත් කථා ඇතිබැවින්. තමන්ගේ බලය පවසන තැති ගැන්වීමෙන් යන අර්‍ත්‍ථයි. “දුබ්බල්‍යා” තොපගේ දුර්‍වලභාවයෙන්. සියලු තන්හි අවඥායෙන්, පරිභවයෙන්යි මෙසේ සමුච්චයාර්‍ත්‍ථය දතයුත්තේය. “විචිච්චථ” වෙන්වුව මැනැවැ. සමුත්‍ථානාදීන් සමග සෙස්ස ප්‍රකටමය.
දසවන ශික්‍ෂාපදයයි.
“උද්දිට්ඨා ඛො අය්‍යායො සත්තරස සඞ්ඝාදිස්සො” මෙහි සවැදෑරුම් වූ ප්‍රථමාපත්තීන්ට අනතුරුව සඤ්චරිත්ත ශික්‍ෂාපදයද දුෂ්ටදොෂ ශික්‍ෂාපද දෙකද යන මේ ත්‍රිවිධ ශික්‍ෂාපදයෝ මහා විභඞ්ගයෙන් ගෙණ බහා ප්‍රථමාපත්තික නවයද, සිවුවැදෑරුම් වූ යාවත්තියකාපත්තීන්ට අනතුරුව මහාවිභඞ්ගයෙන්ම ගෙණ සිවුවැදෑරුම් යාවතතියක ශික්‍ෂාවන් බහා යාවතතියක ශික්‍ෂාපද අටද දතයුතුය. මෙසේ සියලුම ශික්‍ෂාපදයෝ ප්‍රාතිමොක්‍ෂාද්දෙශ මාර්‍ගයෙන් ‘උද්දිටඨා ඛො අය්‍යායො සත්තරස සඞ්ඝාදිසෙසා ධම්මා’යි මෙසේ මෙහි අර්‍ත්‍ථ දතයුතුය. පක්‍ෂමානත්තය හැර සෙස්ස ප්‍රකටමය. ඒ පක්‍ෂමානත්තය වනාහි ඛන්‍ධකයෙහි විස්තර වශයෙන් වර්‍ණනා කරන්නෙමු.
විනයවිවෘති නම්වූ සිංහල සමන්තපාසාදිකාවෙහි භික්‍ෂුණී විභඞ්ගයෙහි සප්තරසක සංඝාදිසෙස වර්‍ණනාව නිමි
3. නිසඟිපචිති
පළමු සිකපද වර්ණනාව
“තිංස නිස්සග්ගියා ධම්මා - භික්‍ඛුණීනං පකාසිතා,
යෙ තෙසංදානි භවති - අයං සංවණ්ණනාක්කමො”
මෙහෙණන්හට යම් තිංස නිස්සග්ගියපාචිත්තීහු කෙනෙක් වදාරණ ලද්දාහුද දැන් ඒ පාචිත්තියාපත්තීන්ගේ මේ සංවර්‍ණනා ක්‍රමය වේ.
“ආත්තිකාපණං” බඳුන් අමත්තයි කියනු ලැබේ. ඒ බඳුන් යම් කෙනෙක් විකුණත්ද, ඔවුහු ආමත්තිකයි කියනු ලැබෙත්. ඔවුන්ගේ ආපණය තෙමේ ආමත්තිකාපණ නම්. එය හෝ පැතිරීම කරන්නාහුය යන අර්‍ත්‍ථයි.
“පත්තසන්නිචයං කරෙය්‍ය” පාත්‍රය තැන්පත් කිරීම කරන්නේය. නොඉටා හෝ විකපනය නොකොට හෝ පාත්‍රය එක්දවසක් තබන්නේ නම් යන අර්‍ත්‍ථයි. සෙස්ස මහාවිභඞ්ගයෙහි කියූනයින්ම දතයුතුය. මේ ම මෙහි විශෙෂය වේ. ඒ මහාවිභඞ්ගයෙහි දසදවසක් පරිහාරය වේ. මේ ශික්‍ෂාපදයෙහිලා එක් දවසකුදු පරිහාරයෙක් නැත්තේය. සෙස්ස එබඳුම වේ.
මෙද කඨිනසමුත්‍ථානික වේ. කායවාචායෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගණියි. අකි‍්‍රයසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
පළමුවන ශික්‍ෂාපදයයි
දෙවැනි සිකපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි - “දුච්චොලා” විරූප වස්ත්‍ර ඇතිව. දිරාගිය වත්ඇතිව යන අර්‍ත්‍ථයි. “අපය්‍යාහි” අපි අය්‍යාහි කිම, ආර්‍ය්‍යාවන් විසින්.
“ආදිස්ස දින්නං” පැමිණියෝ බෙදාගණිත්වායි කියාද, මේ සිවුර ගණයාහට, මේ සිවුර තොපට දෙමි’යි කියාද, දෙනු කැමැති බැවින් පාමුල තබා හෝ දෙන ලද්දේ ද, උදෙසා දෙන ලද්දේ නම් වේ. මේ සියල්ලම අකාල චීවරයි. “අය්‍යාය දම්මි” මෙසේ පිළිලද සිවුරක් යථාස්ථානයෙහිම එළවිය යුතුය. සෙස්ස ප්‍රකටමය.
ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශල චිත්තයි. ත්‍රිවෙදනය.
දෙවන ශික්‍ෂාපදයයි.
තෙවන සිකපද වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි - “හන්‍ද” ගණුව “සයං අච්ඡින්‍දති” එක් සිවුරක් දී එක් සිවුරක් පැහැර ගන්නියට එක් නිසගියෙක් වේ. බොහෝ පැහැර ගත්කල්හි බොහෝ නිසගීහු වෙත්. ඉදින් අකුලා තබන සිවුරු එකටම පැහැර ගණිත්ද, වස්තු ගණනින් ඇවැත් වේ. බැඳ තැබූ චීවරයන්හි එක්ම ඇවැතක් වේ. සෙස්ස ප්‍රකටමය.
ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
තෙවන ශික්‍ෂාපදයයි.
සතරවන සිකපද වර්ණනාව
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - “කයෙන” මිලයෙන් “න මෙ ආවුසො සප්පිනා අත්‍ථො තෙලෙන මෙ අත්‍ථො” මේ වනාහි ඕ තොමේ ගෙණ එනලද ගිතෙල් දී තෙල්ද ගෙන එන්නෙමි’යි සිතන්නී මෙසේ කිවූය. “විඤ්ඤාපෙත්‍වා” දන්වා ‘මෙනම් දෙය ගෙණ එව’යි ඉල්වා හෝ,
“තඤ්ඤෙව විඤ්ඤාපෙති” යමක් පළමුකොට විනවන ලද්දේද, එය ටිකවේද, නොපොහොනේද, එහෙයින් නැවත ඒ විනවූවක්ම විනවාය යන අර්‍ත්‍ථයි. “අඤ්ඤෙඤ්ච විඤ්ඤාපෙති” ඉදින් පළමු කොට ගිතෙල් විනවන ලද්දේද, ගිතෙල් හා තෙල් එක්කොට පිසියයුතු යයි වෙදහු විසින් කියූ බැවින් තෙලෙන් ප්‍රයොජන වේද, එහෙයින් තෙලෙන්ද මට ප්‍රයෝජනය’යි කහවණුවකින් ගිතෙල් ගෙනෙන ලද්දේ වේනම්, මේ මිලෙන් දෙගුණයක් තෙල් ලබයි. ඒ තෙලිනුදු මේ කිස නිපදීද, එහෙයින් තෙල් ගෙණ එව’යි මෙසේ අනුසස් දක්වා විනවයි. සෙස්ස ප්‍රකටමය.