පළමුවන පරිජිය වර්ණනාව
භික්ෂු විභඞ්ගයට අනතුරුව යම් භික්ෂුණී විභඞ්ගයක් සඞ්ග්රහ කරන ලද්දේ ද, ඒ භික්ෂුණී විභඞ්ගය පිළිබඳ සංවර්ණනා ක්රමය යම්හෙයකින් පැමිණියේද, එහෙයින් ඒ භික්ෂුණී විභඞ්ගය පිළිබඳ පෙර නොකියූ පදවැණුම කරන්නට පාරාජිකයෙහි පළමුකොට මේ සංවර්ණනා තොමෝ වන්නීය. “තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති -පෙ- සාළ්හො මිගාරනත්තා” යන මෙහි “සාළ්හො” යනු ඔහුගේ නාමය වේ. මිගාරමාතෘ වූ විශාඛාවගේ මුණුඹුරු වේ. එහෙයින් ‘මිගාරනත්තා’යි කියනලදී. ‘නවකම්මිකං’ නවකර්මාන්ත විධානය කරන්නාවූ. “පණ්ඩිතා” පාණ්ඩිත්යයෙන් යුක්ත වූ. “ව්යත්තා” ව්යක්තභාවයෙන් යුක්තවූ, “මෙධාවිනී” පෙළගැන්මෙහි සිහිය පෙරටුකොට සිටි ප්රඥාවෙන්ද, අරුත් ගැන්මෙහි ප්රඥාව පෙරටු කොට සිටි සිහියෙන්ද යුක්තවූ. “දක්ඛා” ඡෙකවූ. නොවරදවා වහා කටයුතු කරනසුලු වූ යන අර්ත්ථයි. “අනලසා” අලස බවින් තොරවූ. “තත්රෑපායාය” ඒ ඒ කර්මයන්හි උපායභූත වූ. “විමංසාය” කටයුතු කර්ම පුනපුනා සිහිකිරීමෙන් - “සමන්නාගතා” යුක්ත වූ. “අලං කාතුං” ඒ ඒ කර්ම කරන්නට සමර්ත්ථ වූ. “අලං සංවිධාතුං” මෙසේද මෙසේද මේ කෘත්යය වේවා’යි මෙසේ සංවිධාන කරන්නටද සමර්ත්ථ වූ. “කතාකතං ජානිතුං” කරන ලද්ද නොකරන ලද්ද දැනගන්නට. “තෙ” ඔවුහු දෙදෙනය. ඒ සුන්දරීනන්දා නම් භික්ෂුණී තොමෝද, ඒ සාළහ තෙමේද යන අර්ත්ථයි. “භත්තග්ගෙ” වලදවන තන්හි “නිකූටෙ” කොන් සමාන කොට දැක්වූ ගැඹුරෙහි “විස්සරො මෙ භවිස්සති” මාගේ ස්වරය විරූපවන්නේය. විප්රකාර ශබ්දයෙක් වන්නේය යන අර්ත්ථයි. “පතිමානෙන්තී” බලාපොරොත්තුවෙමින්. “ක්යාහං”, මම “ජරාදුබ්බලා” ජරාවෙන් දුර්වල වූ. “චරණගිලානා” පාදරොගයෙන් යුක්ත වූ.
“අවස්සුතා” කායසංසර්ග රාගයෙන් මැඩුණු. තින්තා තෙත්වූ යන අර්ත්ථයි. මේ ශික්ෂාපදයාගේ පදභාජනයෙහි එම රාගයම ගෙණ “සාරත්තා” යනාදිය වදාරන ලදී. එහි “සාරත්තා” යනු රඳින්යුත් වස්ත්රයක් මෙන් කායසංසර්ගරාගයෙන් ඉතා රත්වූ “අපෙක්ඛවතී” ඒ රාගයාගේම වසයෙන් ඒ පුරුෂයා කෙරෙහි පැවැති බලාපොරොත්තුවෙන් යුක්තවූ. “පටිබද්ධචිත්තා” ඒ රාගය කරණකොට ඒ පුරුෂයා කෙරෙහි බැඳ තැබූ සිත් ඇත්තියක මෙන් දෙවන පදවිභඞ්ගයෙහිද මේ නයමවේ. “පුරිසපුග්ගලස්ස” පුරුෂ සඞ්ඛ්යාත පුද්ගලයාගේ. “අධක්ඛකං” අකුයෙන් යට “උබ්හජානුමණ්ඩලං” දණමඬලින් උඩ. පදභාජනයෙහි වනාහි පදපිළිවෙළින්ම ‘හෙට්ඨක්ඛකං උපරිජාණුමණ්ඩලං’යි වදාරන ලදී. මෙහිද වැලමිටින් උඩද උබ්හජානුමණ්ඩලයෙන්ම සඞ්ග්රහ කරන ලදී. සෙස්ස මහා විභඞ්ගයෙහි කියූ නයින්ම දතයුතුය. “පුරිමායො උපාදාය” සාධාරණපාරාජිකාපත්තියෙන් පරිජීවූ මෙහෙණහු සිවු දෙන යන අර්ත්ථයි. “උබ්හජාණුමණ්ඩලිකා” මේ වනාහි මේ පාරාජිකාවගේ නාමමාත්රයෙකි. එහෙයින් පදභාජනයෙහි විචාරණය කරන ලද්දේ නොවේ.
මෙසේ උදෙසූ ශික්ෂාපදය පදපිළිවෙළින් විභාගකොට දැන් අවස්සුතාදිභෙදයෙන් ආපත්තිභෙදය දක්වන්නට “උභතො අවස්සුතෙ” යනාදිය කීය. එහි ‘උභතො අවස්සුතෙ’ දෙදෙන කායසංසර්ගරාගයෙන් තෙත්වූ කල්හි මෙහෙණගේද පුරුෂයාගේද කායසංසර්ග රාගය කරණකොට තෙත්බව ඇති කල්හිය යන අර්ත්ථයි. “කායෙන කායං ආමසති” මෙහෙණතොමෝ යම්සේ පිරිසිඳි කයින් පුරුෂයාගේ යම්කිසි කයක්, පුරුෂතෙමේ හෝ යම්කිසි කයකින් මෙහෙණගේ යම්සේ පිරිසිඳ කය ආමර්ෂණය කෙරේද, දෙයයුරෙන්ම මෙහෙණට පරිජි ඇවැත වේ. “කායෙන කායපටිබද්ධං” කියූ අයුරින්ම තමන්ගේ කයින් පුරුෂයාගේ කය පිළිබඳ වූ පුරුෂයාගේ කය ‘ආමසති’ මෙහි තොමෝ හෝ ආමර්ෂණය කෙරේවා. ඒ පුරුෂයාගේ හෝ ආමර්ෂණය ඉවසාවා ථුල්ලච්චයම වේ. සෙසු පදයන්හිද මේ නයින්ම විනිශ්චය දතයුතුය.
ඉදින් මහණෙක්ද මෙහෙණක්ද වේනම්, එහි මෙහෙණතොමෝ ආමර්ෂණය කරානම් මහණතෙමේ නිසලව සිතින් ඉවසානම් මහණතෙමේ, ඇවැතින් නොකරවිය යුත්තේය. ඉදින් මහණතෙමේ ආමර්ෂණය කෙරේනම් මෙහෙණ නිසලව සිතින්ම ඉවසානම් සිරුරු අවයවයක් නොසලන්නීද පාරාජිකක්ෂෙත්රයෙහි පාරාජිකයෙන්ද ථුල්ලච්චක්ෂෙත්රයෙහි ථුල්ලච්චයෙන්ද දුක්කටක්ෂෙත්රයෙහි දුක්කටයෙන්ද කරවිය යුත්තේය. කුමක් හෙයින, යත්:- “කායසංසග්ගං සාදියෙය්ය”යි වදාළ බැවිනි. මේ අර්ත්ථකථාවන්හි විනිශ්චයයි. මෙසේ ඇති කල්හි ක්රියාසමුත්ථාන භාවයෙක් නොදක්නා ලැබේ. එහෙයින් ඕ තත්බහුල නයින් කියන ලදැයි දතයුතුය.