උජ්ජග්ඝික වර්‍ගය
“උජ්ඣග්ඝිකාය” මහසිනාවෙන් සිනාසෙමින් කියූ නයින්ම මෙහි කරණවචනයි.
“අප්පසද්දො අන්තරඝරෙ” මෙහි කොපමණින් අල්පශබ්දය වේද, යත්: දොළොස්රියන්ගෙයි ආදියෙහි සඞ්ඝ ස්ථවිරතෙමේය. මද්ධ්‍යයෙහි දෙවන ස්ථවිර තෙමේය. කෙළවර තෙවන ස්ථවිර තෙමේය. මෙසේ හුන්කල්හි සඞ්ඝ ස්ථවිරතෙමේ දෙවන තෙරුන් සමග කථාකරයි. දෙවන තෙරතෙමේ ඒ සංඝ ස්ථවිරයන්ගේ ශබ්දයද අසයි. කථාවද ව්‍යවස්ථා කරයි. තෙවන තෙර තෙමේ වනාහි ශබ්දය පමණක්ම අසයි. කථාව ව්‍යවස්ථා නොකරයි. මෙපමණින් අල්පශබ්දය වේ. ඉදින් තෙවන තෙරතෙමේ කථාව ව්‍යවස්ථා කෙරේ නම් මහාශබ්දය නම්වේ.
“කායං පග්ගහෙත්‍වා” කය නිසලකොට. සෘජුවූ කයින් ශාන්ත වූ ඊර්‍ය්‍යාපථයෙන් යායුත්තේද හිඳිය යුත්තේද වේ.
“ඛාහං පග්ගහෙත්‍වා” අත නිසලකොට
“සීසං පග්ගහෙත්‍වා” හිස නිසලව ඍජු කොට තබා.
ද්විතීය වර්‍ගයයි.
ඛම්භකත වර්‍ගය
“ඛම්හකතො” ඛම්හකත නම් කටියෙහි අත තබා. උකුළෙහි තැබූ අත් ඇත්තේ “ඔගුණ්ඨිතො” හිස වසා පෙරවූයේ.
“උක්කුටිකාය” යන මෙහි විළුම් දෙක ඔසොවා පා අගින් හෝ පා අග ඔසොවා විළුඹෙන්ම හෝ පොළොව පහසන්නහුගේ ගමන උක්කුටිකායි කියනු ලැබේ. කරණවචනය. මෙහි කියූ ලක්‍ෂණම වේ.
‘දුස්සපල්ලත්‍ථිකාය’ මෙහි අතින් අකවටු ඇවිලීම පිළියෙන් අකවටු ඇවිලීමැයි කියනු ලැබේ.
“සක්කච්චං” සිහි එළවා.
“ආකිරන්තෙපි” පිණ්ඩපාතය දෙන කල්හිද, “පත්තසඤ්ඤී” පාත්‍රයෙහි හැඟීම උපදවා.
සමසූපක නම් යම් තැනක බතට සිවුවන කොටස පමණවූ සූපයෙක් වේද, ඒය. මුග්ගසූප මාසසූප යන මෙහි මං කොල්ලු ආදියෙන් කළ සූපයෝද සඞ්ග්‍රහවට යෙත්මැයි මහාපච්චරියෙහි කියනලදී. “රසරසෙ” යන මෙහි මුද්ග මාසසූප දෙක හැර සෙසු ඔලොණි නම් ව්‍යඤ්ජනය පලාවලින් කළ ව්‍යඤ්ජනය. මාලුරස මස්රස යනාදිය රසරසැයි දතයුතුය. ඒ රසරසය බොහෝ කොට ගන්නා මහණහට ඇවිත් නොවේ.
“සමතිත්තිකං” ඉටූ පොහොනා පාත්‍රය තුළ මුවවිට රෙඛාව නොඉක්මවා පිරුනු මුවවිටින් යට රෙඛාව හා සමකොට පිරුනු “ථූපීකතං පිණ්ඩපාතං පතිගණාති ආපත්ති දුක්කටස්ස” මෙහි මුදුන් කරන ලද්දේ නම්, පාත්‍රය තුළ මුවවිට රෙඛාව ඉක්මවා කරන ලද්දේය. පාත්‍රයෙහි බහන ලද්දේය. කරන ලද්දේය. පුරන ලද්දේය, යන අර්‍ත්‍ථයි. මෙසේ මුදුන් කරන ලද පාත්‍රය නොපිළිගෙණ මුවවිටතුළ රෙඛාව හා සමප්‍රමාණය පිළිගත යුතුය.
එහි මුදුන්කරන ලද්දේනම් ඔදනාදිපංචවිධ භොජනයන්ගෙන් කරන ලද්දේයයි අභය ස්ථවිරතෙමේ කීයේය. ත්‍රිපිටක චූළනාග ස්ථවිරතෙමේ වනාහි ‘පිණ්ඩපාතොනාම යාගුපි භත්තම්පි ඛාදනීයම්පි චුණ්ණපිණ්ඩොපි දන්තකට්ඨම්පි දසිකසුත්තම්පි, මේ සුත්‍රය දක්වා දාවලුහයක් නමුදු මුදුන් කරන ලදුයේ නොවටීයයි කීය. ඒ තෙරුන්ගේ වාදය අසා භික්‍ෂූහු රුහුනට ගොස් චූලසුම්ම තෙරුන් අතින් ‘ස්වාමීනි’ මුදුන් කරනලද පිණ්ඩපාතය කුමකින් පිරිසිඳින ලද්දේදැයි විචාළාහුය. ඒ තෙරුන්ගේ වාදයද සැලකළහ. චූලසුම්ම ස්ථවිර තෙමේ එය අසා ‘අනේ, චූළනාගතෙමේ සසුනෙන් ගිලිහුනේය. මම මොහුට සත්වරක් විනය කියවනුයෙම්, කිසිකලෙකත් මෙසේ නොකීමි. මෙතෙමේ කොයින් ලැබ මෙසේ කියාදැයි කීය. ඉක්බිති භික්‍ෂූහු ‘ස්වාමීනි’ දැන් කියනු මැනැවැ, කුමකින් පිරිසිඳින ලද්දේදැයි තෙරුන්ගෙන් ඉල්ලූහ. ස්ථවිර තෙමේ ‘ඇවැත්නි’ යාවකාලිකයෙකැ’යි කීහ. එහෙයින් යම්කිසි කැඳබතක් හෝ කුදුමහත් ඵලයක් හෝ ඉටීමට පොහොනා පාත්‍රයෙහි යටිමුව රෙඛාව නොයික්මවාම ගතයුතුය. එද ඉටීමට පොහොනා පාත්‍රයකිනි. අනික් පාත්‍රයකින් වනාහි මුදුන් කරන ලද්දේ ද වටියි. යාමකාලික සත්තාහකාලික යාවජීවිකයෝ වනාහි ඉටීමට පොහෝනා පාත්‍රයෙහිද, මුදුන් කරන ලද්දාහු වටිත්. පාත්‍ර දෙකක බත් ගෙණ එකක පුරවා වෙහෙරට යවන්නට හැකියයි මහාපච්චරියෙහි කියන ලදී. පාත්‍රයෙහි මුවපිටින් මතුකොට මැදබහන යම්පූ උක්කැබලි කුදුමහත් ඵලාදිය වටින් ඉඩ ඇති බැවින් අතින් සොලොවන ලදුව යටට බසීද, එය මුදුන් කරන ලද්දේ නොවේ. පූවැලක් තබා පිණ්ඩපාතය දෙත්ද, මුදුන් කරන ලද්දේම වේ. මල්කැන් තකුල් කුළු පලාදිකැන් ලබා දෙන ලද්ද මුදුන් කරන ලද්දේ නොවේ. බත් මතුවෙහි තල්ලක් හෝ පාත්‍රයක් හෝ තබා පුරවාගණීද මුදුන් කරන ලද්දේ නම් නොවේ. කුරුන්‍දියෙහිද තළුවෙක හෝ පත්‍රයක හෝ බහා එය පාමතුවෙහි තබා දෙත්ද, වෙන්වෙන් බදුන වටීය’යි කියන ලදී.