පරිමණ්ඩල වර්‍ගය
යානි සික්‍ඛිතසික්‍ඛෙන - සෙඛියානීති තාදිනා
භාසිතානි අයංදානි - තෙසම්පි වණ්ණනාක්කමො
චතුර්විධ මාර්‍ගයෙන් ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හික්මුනාවූ මුළුමනින් නිමවූ කටයුතු ඇති අෂ්ටලොකධර්‍මයෙන් කම්පිත නොවන අර්‍ත්‍ථයෙන් තාදීවූ භාග්‍යවතුන් වහන්සේ විසින් හික්මිය යුතු යයි යම් ධර්‍ම කෙනෙක් වදාරන ලද්දාහුද, දැන් ඒ හික්මිය යුතු ධර්‍මයන්ගේද, මේ මතු ප්‍රකාශ වන්නේ වර්‍ණනා ක්‍රමය වේ.
ඒ සෙඛියාධිකාරයෙහි - “පරිමණ්ඩලං” හාත්පසින් වටකොට “නාභිමණ්ඩලං ජාණුමණ්ඩලං” නැබමඩලින් උඩ, දණමඩලින් යට. වසන්නහු විසින් දණමඩලින් යට දඟ ඇටය පටන් අටඟුලක් පමණ අඳනය යටට බස්වා හැන්ද යුතුය. ඉන් පහත බස්වා හඳින මහණහුට දුක්කටයයි මහාර්‍ත්‍ථකථාවෙහි කියනලදී. යම් පරිද්දෙකින් හුන්නහුගේ දණමඩලින් යට සතරඟුලක් පමණ ප්‍රතිච්ඡන්න යයි මහාපච්චරියෙහි කියනලදී. මෙසේ හඳින මහණහුට වනාහි හඳනය පමණ ඇතිව වටියි. එහි මේ පමණය: දිගින් මුෂ්ටිපංචකයෙකි. හෙවත් සිවුරියනක් හා එක් මිටි රියෙනෙකි. පළල දෙරියනක් පමණද දණමඩල වැසීම පිණිස වටියි. නැබමඩල සිවුරෙන්ද වසන්නට හැකිය. එහි එක් පටක් ඇති සිවුර මෙසේ හඳනා ලද්දේ ද හැන්දාසේ නොසිටියි. දෙපට සිවුර වනාහි හැන්දාසේ සිටියි.
“ඔලම්බෙන්තො නිවාසෙති ආපත්ති දුක්කටස්ස” මෙහි හුදෙක් ඉදිරියෙන්ද, පස්සෙන්ද, එල්වා හඳින මහණහුටම පමණක් දුක්කටය නොවේ. ‘තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්‍ඛූ ගිහීනිවත්‍ථං නිවායෙන්ති: හත්‍ථිසොණ්ඩකං මච්ඡවාළංකං චතුක්කණ්ණකං තාලවණ්ටකං සතවල්ලිකං නිවාසෙන්ති’ යනාදි නයින් ඛුද්දකවත්‍ථුක්‍ඛන්‍ධකයෙහි යම් අන්‍යවූ නිවාසනදොෂයෝ කියන ලද්දාහුද එසේ හඳින මහණහටත් දුක්කටයම වේ. ඒ සියලු දොෂයෝ කියූ නයින් හාත්පසින් වටකොට හඳින මහණහුට නොවෙත්. මේ මෙහි සඞ්ක්‍ෂෙපයයි. විස්තරය වනාහි ඒ ඛුද්දකවත්‍ථුක්‍ඛන්‍ධකයෙහිම පහළ වන්නේය.
“අසඤ්චිච්ච” ඉදිරියෙන්ද පස්සෙන්ද එල්වා හඳින්නෙමි’යි මෙසේ නොසිතා. එතකුදු වුවත් හාත්පසින් වටකොටම හඳින්නෙමි’යි වැරද නොපිරිමඬුලු කොට හඳින මහණහුට ඇවැත් නොවේ. “අසතියා” අන්‍යවිහිතව ඉදිරියෙන් හා පස්සෙන් එල්වා. එසේ හඳින මහණහුට ඇවැත් නොවේ. “අජානන්තස්ස” මෙහි හඳින වත නොදන්නා මහණහුට ඇවැතින් මිදීමෙක් නැත්තේය. හඳිනවත මැනැවින් උගතයුතුමය. ඒ හඳිනවත නොඉගෙණීමම මෙයට අනාදරය වේ. ඒ අනාදරය දැන නොඋගන්නා මහණහුටම යෙදේ. එහෙයින් උගත් වත් ඇත්තාවූද යම් මහණෙක් තෙමේ සිවුර උස්වූ බව හෝ සිවුර පහත් වූ බව හෝ නොදනීද, ඒ මහණහුට ඇවැත් නොවේ. කුරුන්‍දියෙහි වනාහි හාත්පසින් වටකොට හඳින්නට නොදත් මහණහුට අනාපත්තියි කියන ලදී. යම් මහණෙක් කෘශ වූ දඟ ඇත්තේ හෝ මහත් පිඩුමස් ඇත්තේ හෝ වේද, ඒ මහණහු සරුපබව පිණිස දණමඩලින් අටඟුලට වැඩිවද යටට බස්වා හැඳීම වටියි.
“ගිලානස්ස” දඟෙහි හෝ පයෙහි හෝ ව්‍රණයෙක් වේද, එකල්හි නගා හෝ බහා හැඳීම වටියි. “ආපදාසු” ව්‍යාල මෘගයෝ හෝ සොරු හෝ ලුහුබැඳ එත්ද, මෙබඳු විපත් ඇතිකල්හි උස්පහත් කොට හඳින පොරවන මහණහුට ඇවැත් නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය.
ප්‍රථම පාරාජික සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශල චිත්තයි. දුඃඛවෙදනයි. ඵුස්සදෙව ස්ථවිරයන් වහන්සේ සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. ත්‍රිවෙදනයයි කීහ. උපතිස්ස ස්ථවිරයන් වහන්සේ වනාහි අනාදරය නිසා කියූ බැවින් ලොකවද්‍යය. අකුශලචිත්තය. දුඃඛවෙදනයයි කීහ.
“පරිමණ්ඩලං පාරුපිතබ්බං” ‘තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්‍ඛූ ගිහීපාරුතං පාරුපන්ති’යි මෙසේ කියනලද නන්වැදෑරුම් වූ ගිහි පෙරවීම් නොපොරොවා මෙහි කියූසේම දෙකොණ සමකොට පොරෝනා වත පුරන්නහු විසින් හාත්පසින් වටකොට පෙරවිය යුතුය. මේ ශික්‍ෂාපද දෙක විශෙෂයක් නොතබා වදාරන ලද්දේය. එහෙයින් විහාරයෙහිද ඇතුළුගමෙහිද හාත්පසින් වටකොටම හැන්ද යුත්තේද, වේ. පෙරවිය යුත්තේද, වේ. ස්ථවිරවාදය සමග සමුත්‍ථානදීහු ප්‍රථම ශික්‍ෂාපදයෙහි කියූ නය ඇත්තාහුය.