අරිට්ඨ ශික්‍ෂාපද වර්ණනාව
අෂ්ටම ශික්‍ෂාපදයෙහි- ගිජුලිහිණියන් නැසූහයි ගද්ධබාධි නම් වේ. පෙර ගිජුලිහිණියන් නැසූ පුරුෂයෝ මොහුගේනුයි ගද්ධබාධිපුබ්බ නම්වේ. ගද්ධබාධිපූර්‍ව වූ ඒ ගිජුලිහිණි නසන කුලයෙහි උපන්නක්හටය යන අර්‍ත්‍ථයි.
ස්වර්‍ගමොක්‍ෂයන්ට අනතුරු කෙරෙත්නුයි “අන්තරායික” නම්වේ. ඔවුහු කම්ම, කිලෙස, විපාක, උපවාද, ආණාවීතික්කම වසයෙන් පස්වැදෑරුම් වෙත්. එහි පඤ්චානන්තර්‍ය්‍ය කර්‍මයෝ කර්‍මාන්තරායික නම් වෙත්. භික්‍ෂුණී දූෂකකර්‍මය එසේය. ඒ භික්‍ෂුණීදූෂකකර්‍මය මොක්‍ෂයටම අනතුරු කරන්නේය. ස්වර්‍ගයට අන්තරාය නොකරන්නේය. නියතමිත්‍ථ්‍යා දෘෂ්ටිධර්‍මයෝ ක්ලෙශාන්තරායික නම්වෙත්. පණ්ඩක තිරච්ඡානගත උභතො බ්‍යඤ්ජනකාදීන්ගේ ප්‍රතිසන්‍ධිචිත්තොත්පාද ධර්‍මයෝ විපාකාන්තරායික නම් වෙත්. ආර්‍ය්‍යොපවාදයෝ උපවාදාන්තරායික නම් වෙත්. ඒ අර්‍ය්‍යොපවාදයෝ යම්තාක් ආර්‍ය්‍යයන් කමා නොකරවත්ද ඒතාක්ම අන්තරායික වෙත්. කමා කරවීමෙන් මත්තෙහි ආර්‍ය්‍යොපවාදාන්තරායිකයෝ නොවෙත්. සිතා දැන පැමිණි ආපත්තීහු, ආඥාව්‍යතික්‍රමාන්තරායිකයෝය. ඒ ආපත්තීහුද යම්තාක්කල් භික්‍ෂුභාවය පිළිදන්වාද, ගරුකාපත්තියට පැමිණියේ එයින් නොනැගී සිටීද, ලහුකාපත්තියට පැමිණියේ නොදෙසාද, ඒතාක්ම අන්තරායික වෙන් ඔවුහුද භික්‍ෂුභාවයෙන් මිදීමෙන් හා පැමිණි ආපත්තීන්ගේ පාරිශුද්ධියෙන්ද මත්තෙහි ආඥාව්‍යතික්‍රමාන්තරායිකයෝ නොවෙත්.
එහි මේ අරිෂ්ට භික්‍ෂු තෙමේ බහුශ්‍රැතය. ධර්‍මකථිකය. එහෙයින් ප්‍රඥප්ති ව්‍යතික්‍රමාන්තරායිකයන් හැර සෙසු අන්තරායකරධර්‍ම දන්නේය. විනයෙහි දක්‍ෂ නොවන බැවින් ප්‍රඥප්ති ව්‍යතික්‍රමාන්තරායිකයන් නොදන්නේය. එහෙයින් රහසිගත වූයේ ‘මේ ගිහියෝ පස්කම් කොටස් වළදමින් සොතාපන්නද වෙති. සකෘදාගාමීහුද වෙති. අනාගාමීහුද වෙත්. භික්‍ෂූහුද මන වඩන, ඇසින් විඳගතයුතු රූප-පෙ-දකිත් -පෙ-කයින් විඳිය යුතු වූ පැහැසිය යුතුදෙය පහසත්. මොළොක්වූ ආස්තරණපාපුරණාදීන් පරිභොග කරත්. මේ සියල්ල පරිභොග කිරීම වටියි. එසේ නම් කුමක් හෙයින් ස්ත්‍රීරූප-පෙ-ස්ත්‍රීස්පර්‍ශ නොවටිත්ද, මොවුහුද වටිත්ය’යි මෙසේ සිතුයේය. මෙසේ අනවද්‍යප්‍රත්‍යයපරිභොග රසය හා සාවද්‍ය කාමගුණ පරිභොගරසය සසඳා ඡන්‍දදරාගසහිත වූ පරිභොගයද, ඡන්‍දරාග රහිත පරිභොගයද, එකක් කොට දළ වැහැරී සමග ඉතා සියුම්හුයක් එක්කොට ගටන්නකුමෙන්, අබැටක් සමග මහමෙර සමබවට පමුණුවන්නකු මෙන් ලාමක දෘෂ්ටියක් උපදවා ‘කිම, භාග්‍යවතුන් වහන්සේ විසින් මහමුහුද හෙයක් වසයෙන් බඳින්නකු විසින් මෙන් මහත් උත්සාහයෙන් ප්‍රථම පාරාජිකය පණවන ලද්දේ ද, මෙහි දොසක් නැත්තේයයි සර්‍වඥතාඥානය සමග ප්‍රතිවිරුද්ධ වෙමින් භව්‍යපුද්ගලයන්ගේ ආශාව සිඳිමින් ජින නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනා සඞ්ඛ්‍යාත ආඥාචක්‍රයට පහර දුන්නේය. “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි” යනාදිය එහෙයින් කීයේය.
“අට්ඨිකඞ්කපලූපමා” යනාදි තන්හි මඳ රසවිඳගැනීම් ඇති අර්‍ත්‍ථයෙන් ඇට සැකිල්ලකට බඳු උපමා ඇතියහ. “මංසපෙසූපමා” බොහෝ දෙනාට සාධාරණාර්‍ත්‍ථයෙන් මස්වැදැල්ලකට බඳු උපමා ඇතියහ. ‘තිණුක්කූපමා’ අනුපායප්‍රති පත්තියෙන් දැන්ද මතුද දවන අර්‍ත්‍ථයෙන් තණසුලකට බඳු උපමා ඇතියහ. “අඞ්ගාරකාසූපමා” මහත්ව තැවීමට කරුණු වන අර්‍ත්‍ථයෙන් අඟුරු වළකට බඳු උපමා ඇතියහ. “සුපිනකූපමා” මඳකලක් එළඹ සිටීම් අර්‍ත්‍ථයෙන් සිහිනයකට බඳු උපමා ඇතියහ. “යාචිතකූපමා” තාවකාලිකාර්‍ත්‍ථයෙන් ඉල්වාගත් දෙයකට බඳු උපමා ඇතියහ. “රුක්‍ඛඵලූපමා” සියලු අඟපසඟ බිඳීම් අර්‍ත්‍ථයෙන් රුක් ඵලයනට බඳු උපමා ඇතියහ. “අසිසූනූපමා” කෙටීම් අර්‍ත්‍ථයෙන් කඩුව හා මස්ලොඹුකට බඳු උපමා ඇතියහ. “සත්තිසුලූපමා” විනිවිද යන අර්‍ත්‍ථයෙන් සැත්හුලකට බඳු උපමා ඇතියහ. “සප්පසිරූපමා” සැක බිය සහිතය යන අර්‍ත්‍ථයෙන් සප්හිසකට බඳු උපමා ඇතියහ. මෙහි මේ සඞ්ක්‍ෂෙපයයි. විස්තරය වනාහි ප්‍රපඤ්චසූදනී නම්වූ මද්ධ්‍යමනිකායාර්‍ත්‍ථකථාවෙන් ගතයුතුය. “එවං ව්‍යා ඛො” මෙසේ මෙන්මය. මෙහි සෙස්ස පෙර කියනලද නය ඇති බැවින් ප්‍රකටමය.
සමනුභාසනසමුත්‍ථානිකය. කායවාචාචිත්තයෙන් හටගනියි. අක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශල චිත්තයි. දුඃඛවෙදනයි.
අටවන අරිට්ඨ ශික්‍ෂාපදයයි.
උක්ඛිත්තසම්භෝග ශික්‍ෂාපද වර්ණනාව
නවම ශික්‍ෂාපදයෙහි- “අකටානුධම්මෙන” ඇවැත නොදැක්මෙහි හෝ පැමිණි ඇවැත සඳහා පිළියම් නොකිරීමෙහි හෝ ලාමක දෘෂ්ටිය නොහැරීමෙහි හෝ ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘ ශාසනයෙන් උත්ක්‍ෂෙපණීය කර්‍මයෙන් බැහැර කරන ලද්දහුගේ අනුලොම්වත දැක කළ ඇතුළත් කිරීම අනුධර්‍මැයි කියනු ලැබේ. ඒ (ඇතුළත් කිරීමයි කියූ) ඔසරණාසඞ්ඛ්‍යාත අනුධර්‍මය තෙමේ යමක්හට නොකරන ලද්දේ ද, මෙතෙමේ නොකළ ඔසාරණය ඇත්තේ නම. එබන්දකු සමග යන අර්‍ත්‍ථයි. එහෙයින්ම මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි “අකටානුධම්මො නාම උක්‍ඛිත්තො අනොසාරිතො”යි වදාරන ලදී.