දුබ්බණ්ණකරණ ශික්ෂාපද වර්ණනාව
අෂ්ටම ශික්ෂාපදයෙහි - “නවං පන භික්ඛුනා චීවරලාභෙන” මෙහි ලැබූයේයි ලභ නම. ලභම ලාභ නම්වේ. කුමක් ලැබුයේද, යත්: සිවුරෙකි. කෙබඳු සිවුරක්ද, යත්:- අලුත් සිවුරෙකි. මෙසේ ‘නවං චීවරං ලාභෙන’යි කියයුත්තෙහි නිග්ගහීතය ලොප් කොට ‘නවං චීවරලාභෙන’යි කියනලදී. ‘පිළිලද අලුත් සිවුරු ඇත්තහු විසින්’ යන අර්ත්ථයි. මැද සිටි පද දෙකෙහි ‘පන’ යනු නිපාතයෙකි. “භික්ඛුනා” යමකු විසින් ලද්දේ ද, ඔහු දැක්වීමය. පදභාජනයෙහි වනාහි පදව්යඤ්ජන නොගෙණ යමක් ලද්දේ ද, ඒ දක්වනු පිණිස “චීවරං නාම ඡන්නං චිවරානං” වදාරන ලදී: ‘චීවරං’ යන මෙහි යමක් හඳින්නට හෝ පොරවන්නට හෝ හැකිවේද, ඒම චීවරැයි දතයුතුය. එහෙයින්ම ‘විකප්පනූපගං පච්ඡිමං’යි නොවදාරන ලදී. ‘කංසනීලං’ සම්කරු නිල. මහාපච්චරියෙහි වනාහි යමල-ලොහොමල මේ කංසනීලැයි කියනලදී. ‘පලාසනීලං’ යම්කිසි නිල්පැහැති පත්යුසයෙකි. “දුබ්බණ්ණකරණං ආදතබ්බං” මෙය කප්බිඳු තැබීම සඳහා කියනලදී. නිල්පැහැ ආදියෙන් සියලු සිවුර දුවර්ණ කිරීම නොවේ. කප්බිඳු තබන්නහු විසින් සිවුර රඳන් කොට සිවු කොන්හි හෝ තුන් කොණෙක හෝ දෙකොණෙක හෝ එක් කොණෙක හෝ මොනරකුගේ ඇස්මඩල පමණට හෝ මකුණු පිටක් පමණම හෝ ඒ තැබිය යුතුය. මහාපච්චරියෙහි මැඩිල්ලෙහි හෝ ගණ්ඨියෙහි හෝ කප්බිඳු තැබීම නොසුදුසුයයි කියන ලදී. මහාර්ත්ථකථාවෙහි වනාහි ඒ වටීමයි කියන ලදී. මුතුවැල වැනි කප්බිඳු පෙළක් හෝ කර්ණිකාකාර වූ කප්බිඳු හෝ දීම් ආදිය සියලු තන්හි වළක්වන ලදී. එහෙයින් එක් වට බිඳුවක් හැර අන් කිසි විකාරයකින් කප්බිඳු නොතැබිය යුතුය.
“අග්ගලෙ” යනාදි තන්හි අලුත් රෙදි කැබලිලා මැසීම් ආදිය කප්බිඳු තැබූ සිවුරෙහි පසුව නගා කප්බිඳු තැබීමක් නැත්තේය. සෙස්ස ප්රකටමය. එළකලොම සමුත්ථානිකය. ක්රියාක්රියසමුත්ථානය නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
අටවන දුබ්බණ්ණකරණ ශික්ෂාපදයයි
විකප්පන ශික්ෂාපද වර්ණනාව
නවම ශික්ෂාපදයෙහි - “තසස වා අදින්නං” ඒ සිවුරු හිමියාහට පරිභොග කරව’යි හෝ අත්හරුව’යි හෝ කැමැති පරිදි කරව’යි හෝ මෙසේ කියා නොදෙන ලද්දය. “තස්ස වා අවිස්සසන්තො” යමකු විසින් විනයකර්ම කරන ලද්දේ ද, ඔහුගේ අවිශ්වාසයෙන් හෝ, ඔහු විසින් දෙන ලද්දක් හෝ ඔහුගේ විශ්වාසයෙන් හෝ පරිභොග කරන මහණහුට ඇවැත් නොවේ. මෙහි සෙස්ස තිංසක වර්ණනාවෙහි කියූ නය ඇති බැවින් ප්රකටමය. කඨින සමුත්ථානය. කායවාචායෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගනියි. ක්රියාක්රිය සමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
නවවන විකප්පන ශික්ෂාපදයයි
චීවරාපනිධාන ශික්ෂාපද වර්ණනාව
දශම ශික්ෂාපදයෙහි - “අපනිධෙන්ති” පහකොට සඟවා තබත්. “හස්සාපෙක්ඛො” සිනාසෙන අදහස් ඇතිව. “අඤ්ඤං පරික්ඛාරං” පෙළෙහි නො ආ පාත්ර පසුම්බි ආදියය. “ධම්මකථං කථෙත්වා” මහණහු විසින් නම් රැස්කොට තැබූ පිරිකර ඇත්තහු වීම නොවටීයයි මෙසේ ධර්මකථා කියා දෙන්නෙමියි තබන මහණහුට ඇවැත් නොවේ. මෙහි සෙස්ස ප්රකටමය. ත්රිසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. ත්රිවෙදනයි.
දසවන චීවරාපනිධාන ශික්ෂාපදයයි.
වර්ණනා ක්රමයෙන් සවන සුරාපානවර්ගය නිමි.
සප්පාණක වර්ගය
සඤ්චිච්චපාණ ශික්ෂාපද වර්ණනාව
සප්රාණක වර්ගය පිළිබඳ ප්රථම ශික්ෂාපදයෙහි - “ඉස්සාසො හොති,” ගිහිකාලයෙහි ධනුශ්ශිල්පයෙහි දක්ෂ ආචාර්ය්ය වූයේය. “ජීවිතා වොරොපිතා” ජීවිතයෙන් තොරකරන ලද්දාහු,
ශික්ෂාපදයෙහිද, “වොරොපෙය්ය” තොරකරන්නේය. යම්හෙයකින් මෙය ව්යවහාර මාත්රයෙක්ම වේද, එහෙයිනි. මෙහි ශීර්ෂාභරණ වෙන් කළ කල්හි හිස මෙන් ප්රාණියකු ජීවිතයෙන් තොර කළ කල්හි ජීවිතය නම් වෙන්ව නොසිටියි. එකාන්තයෙන් අතුරුදහන් වීමටම යයි. එහෙයින් ඒ අර්ත්ථය දක්වනු පිණිස පදභාජනයෙහි “ජිවිතින්ද්රියං උපච්ඡින්දති” යනාදිය වදාරන ලදී. මේ ශික්ෂාපදයෙහි තිරිසන් තැනැත්තේම “පාණ”යි දතයුතුය. ඒ ප්රාණිතෙමේ කුඩාවූයේද, මහත්වූයේද, මරණ මහණහුට වන ඇවතෙහි වෙනසෙක් නැත්තේය. මහත්වූ ප්රාණීහු කෙරෙහි යොදන උපක්රමය මහත් බැවින් අකුසලයෙහි මහත්බව වේ. ‘පාණෙ පාණසඤ්ඤී’ යටත් පිරිසයින් අඳපුටු පිරිසිදු කරනුයේ මකුණු බිජුවටෙක නමුදු ප්රාණිය යන හැඟීම් ඇතිව කරුණ රහිත බැවින් එය බිඳිමින් පහ කෙරේද, පාචිත්තිය වේ. එහෙයින් මෙබඳු තන්හි කරුණාව උපදවා අප්රමත්ත වූවහු විසින් වත් කටයුතුය. සෙස්ස සමුත්ථානාදිය සමග මනුෂ්යවිග්රහයෙහි කියූ නයින්ම දතයුතුය.