විකප්පන ශික්‍ෂාපද වර්ණනාව
නවම ශික්‍ෂාපදයෙහි - “තසස වා අදින්නං” ඒ සිවුරු හිමියාහට පරිභොග කරව’යි හෝ අත්හරුව’යි හෝ කැමැති පරිදි කරව’යි හෝ මෙසේ කියා නොදෙන ලද්දය. “තස්ස වා අවිස්සසන්තො” යමකු විසින් විනයකර්‍ම කරන ලද්දේ ද, ඔහුගේ අවිශ්වාසයෙන් හෝ, ඔහු විසින් දෙන ලද්දක් හෝ ඔහුගේ විශ්වාසයෙන් හෝ පරිභොග කරන මහණහුට ඇවැත් නොවේ. මෙහි සෙස්ස තිංසක වර්‍ණනාවෙහි කියූ නය ඇති බැවින් ප්‍රකටමය. කඨින සමුත්‍ථානය. කායවාචායෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගනියි. ක්‍රියාක්‍රිය සමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
නවවන විකප්පන ශික්‍ෂාපදයයි
චීවරාපනිධාන ශික්‍ෂාපද වර්ණනාව
දශම ශික්‍ෂාපදයෙහි - “අපනිධෙන්ති” පහකොට සඟවා තබත්. “හස්සාපෙක්‍ඛො” සිනාසෙන අදහස් ඇතිව. “අඤ්ඤං පරික්‍ඛාරං” පෙළෙහි නො ආ පාත්‍ර පසුම්බි ආදියය. “ධම්මකථං කථෙත්‍වා” මහණහු විසින් නම් රැස්කොට තැබූ පිරිකර ඇත්තහු වීම නොවටීයයි මෙසේ ධර්‍මකථා කියා දෙන්නෙමියි තබන මහණහුට ඇවැත් නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය. ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනයි.
දසවන චීවරාපනිධාන ශික්‍ෂාපදයයි.
වර්‍ණනා ක්‍රමයෙන් සවන සුරාපානවර්‍ගය නිමි.
සප්පාණක වර්‍ගය
සඤ්චිච්චපාණ ශික්‍ෂාපද වර්ණනාව
සප්‍රාණක වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “ඉස්සාසො හොති,” ගිහිකාලයෙහි ධනුශ්ශිල්පයෙහි දක්‍ෂ ආචාර්‍ය්‍ය වූයේය. “ජීවිතා වොරොපිතා” ජීවිතයෙන් තොරකරන ලද්දාහු,
ශික්‍ෂාපදයෙහිද, “වොරොපෙය්‍ය” තොරකරන්නේය. යම්හෙයකින් මෙය ව්‍යවහාර මාත්‍රයෙක්ම වේද, එහෙයිනි. මෙහි ශීර්‍ෂාභරණ වෙන් කළ කල්හි හිස මෙන් ප්‍රාණියකු ජීවිතයෙන් තොර කළ කල්හි ජීවිතය නම් වෙන්ව නොසිටියි. එකාන්තයෙන් අතුරුදහන් වීමටම යයි. එහෙයින් ඒ අර්‍ත්‍ථය දක්වනු පිණිස පදභාජනයෙහි “ජිවිතින්‍ද්‍රියං උපච්ඡින්‍දති” යනාදිය වදාරන ලදී. මේ ශික්‍ෂාපදයෙහි තිරිසන් තැනැත්තේම “පාණ”යි දතයුතුය. ඒ ප්‍රාණිතෙමේ කුඩාවූයේද, මහත්වූයේද, මරණ මහණහුට වන ඇවතෙහි වෙනසෙක් නැත්තේය. මහත්වූ ප්‍රාණීහු කෙරෙහි යොදන උපක්‍රමය මහත් බැවින් අකුසලයෙහි මහත්බව වේ. ‘පාණෙ පාණසඤ්ඤී’ යටත් පිරිසයින් අඳපුටු පිරිසිදු කරනුයේ මකුණු බිජුවටෙක නමුදු ප්‍රාණිය යන හැඟීම් ඇතිව කරුණ රහිත බැවින් එය බිඳිමින් පහ කෙරේද, පාචිත්තිය වේ. එහෙයින් මෙබඳු තන්හි කරුණාව උපදවා අප්‍රමත්ත වූවහු විසින් වත් කටයුතුය. සෙස්ස සමුත්‍ථානාදිය සමග මනුෂ්‍යවිග්‍රහයෙහි කියූ නයින්ම දතයුතුය.
පළමුවන සඤ්චිච්චපාණ ශික්‍ෂාපදයයි.
සප්පාණක ශික්‍ෂාපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි - “සප්පාණකං” යම් ප්‍රාණිකෙනෙක් පැන් පරිභොගය කරණ කොට මියෙද්ද, ඒ ප්‍රාණීන් කරණකොට සප්‍රාණක වේ. එබඳු ජලය දැන ගනිමින් පරිභොග කරන මහණහුට ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා පාචිත්තිය වේ. පාත්‍රයක් පුරාද නොසිඳ, එක්ම ප්‍රයොගයෙන් බොන මහණහුට එක් ඇවැතක් වේ. එබඳු දියෙන් ආමිස සහිත පාත්‍රයක් කරකවා සෝදන මහණහුටද, එබඳු දියෙහිලා උණු කැඳ පාත්‍රයක් නිවන මහණහුටද, පණුවන් සහිත ඒ දිය අතින් හෝ කෙණිස්සෙන් හෝ ගෙණ නාන මහණහුටද, ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා පාචිත්තිය වේ. ගල් පොකුණකට හෝ පොකුණකට හෝ පිවිස පිටතට නික්මෙන පිණිස රැල නංවන මහණහුටද, ගල් පොකුණක් හෝ පොකුණක් හෝ පිරිසිදු කරන්නවුන් විසින් ඒ පොකුණෙන් නගාගත් දිය දියෙහිම ඉසිය යුතුය. ලඟ දියක් නැති කල්හි කැපදියට අටක් හෝ දසයක් හෝ පැන්කළ දිය පිහිටා සිටි තැනක වක්කර, එහි වක්කරයුතුය. පෙරැළී දියෙහි වැටෙන්නේයයි රත්වූ ගලෙහි දිය නොවක්කර යුතුය. කැපදියෙන් ගලනිවා වැක් කිරීම වරද නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය.
ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි. මෙහිද පළඟැටි පණුවන්ගේ වැටීම දැනද පිරිසිදු සිත් ඇති බැවින් පහන් දැල්වීමෙහි මෙන් පණුවන් සහිත බව දැනද උදකසංඥාවෙන් පරිභොග කටයුතු බැවින් ප්‍රඥප්තිවද්‍යභාවය දතයුතුය.
දෙවන සප්පාණක ශික්‍ෂාපදයයි.
උක්කෝටන ශික්‍ෂාපද වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි - “උක්කොටෙන්ති” ඒ ඒ මහණහුගේ සමීපයට ගොස් ‘කර්‍මය නොකරන ලදැ’යි යනාදිය කියමින් මතුකොට, උගුලුවන පිහිටා තුබූ පරිදි පිහිටා සිටීමට නොදෙත්.
“යථා ධම්මං” යම් අධිකරණයක් සංසිඳීම පිණිස යම් ධර්‍මයක් වදාරන ලද්දේ ද, එම ධර්‍මයෙන් යන අර්‍ත්‍ථයි. “නිහතාධිකරණං” සංහිඳුවන ලද අධිකරණය ශාස්තෲන් වහන්සේ විසින් වදාළ ධර්‍මයෙන්ම සංසිඳුවනලද අධිකරණය යන අර්‍ත්‍ථයි.
“ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී” යම් කර්‍මයකින් ඒ අධිකරණය සංසිඳුවන ලද්දේ ද, එය ධර්‍මකර්‍මය වේනම්, ඒ ධර්‍මකර්‍මයෙහි මෙතෙමේද, ධර්‍මකර්‍මසංඥා ඇතිව සංසිඳුවා සිටියේ ඉදින් නැවැත උගුල්වා නම් පාචිත්තියට පැමිණේය යන අර්‍ත්‍ථයි. මේ නයින් සෙසු පදයෝද, දතයුත්තාහුය. මේ මෙහි සඞ්ක්‍ෂෙපය වේ. විස්තරය වනාහි “ඉමෙසං පන චතුත්තං අධිකරණානං කති උක්කොටනා” යනාදි නයින් පරිවාරයෙහි කියන ලද්දේය. අර්‍ත්‍ථකථාවන්හි ඒ සියල්ල ගෙනහැර දක්වා ඒ උක්කොටනයාගේම අර්‍ත්‍ථය වර්‍ණනා කරන ලද්දේය. අපි වනාහි ඒ උක්කොටනයාගේම අර්‍ත්‍ථය වර්‍ණනා කරන ලද්දේය. අපි වනාහි ඒ උක්කොටනය ඒ පරිවාරයෙහිම වර්‍ණනා කරන්නෙමු. මෙතැන්හි ගෙණහැර දක්වා වර්‍ණනා කරනු ලබන කල්හි ඉතා තදින් මුළාබව වන්නේයයි වර්‍ණනා නොකෙළෙමු. මෙහි සෙස්ස ප්‍රකටමය. ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දු:ඛවෙදනයි.