පණීතභෝජන ශික්ෂාපද වර්ණනාව
නවම ශික්ෂාපදයෙහි “පණීතභොජනානි” උත්තමභොජනයෝය. “කස්ස සම්පන්නං න මනාපං” සම්පත්තියෙන් යුක්ත දැය කාහට ප්රිය නොවේද. “සාදුං” මනාරසය.
“යො පන භික්ඛු එවරූපානි පණීතභොජනානි අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජෙය්ය” මෙහි පිරිසිදු ගිතෙල් ආදිය (ඉල්ලා ගෙන) විනවා වළඳනුයේ පාචිත්තියට නො පැමිණේ. සෙඛියයන්හි සූපොදනවිඤ්ඤත්ති දුක්කටයට පැමිණේ. ඔදනය හා හැනුනවුන් විනවා වළඳනුයේ පාචිත්තියට පැමිණේයයි දතයුතුය. මේ මෙහි අදහසය. එහෙයින්ම “පණීතානි”යි නොකියා “පණීතභොජනානි”යි සූත්රයෙහි කියනලදී. “පණීතානි”යි කියූ කල්හි ගිතෙල් ආදීන්ගේම ගැණීම වේ. “පණීතභොජනානි”යි කියූ කල්හි ප්රණීත ගිතෙල් හා හැනුනු සප්තවිධ ධාන්යයෙන් කරන ලද භොජන ප්රණීත භොජනැයි යන මේ අර්ත්ථය පෙනේ.
දැන් “විඤ්ඤාපෙති පයොගෙ දුක්කටං” යනාදිතන්හි මේ විනිශ්චය වේ. ‘ගිතෙල් සමග බත් දෙව, ගිතෙල් වක්කර දෙව, ගිතෙල් මුසුකොට දෙව, ගිතෙල් සහිතව දෙව, ගිතෙල්ද බත්ද දෙව’යි පනවන මහණහුට ඉල්ලීමම නිමිතිකොට දුක්කටය වේ. වැළදීම නිමිති කොට පාචිත්තිය වේ. ‘ගිතෙල් බත් දෙව’යි කියූ කල්හි වනාහි යම්හෙයකින් බත් මෙන් ගිතෙල් බතක් නම් නැත්තේද, එහෙයින් සුපොදන විඤ්ඤත්ති දුක්කටයම දතයුතුය.
ඉදින් ‘ගිතෙල් සමග බත්දෙව’යි කියූ කල්හි බත් දී ‘ගිතෙල් කොට අනුභව කරව’යි වෙඬරු හෝ කිරි හෝ දී හෝ දේද, ‘මේ මිලයෙන් ගිතෙල් ගෙන අනුභව කරව’යි කැප මිල හෝ දේද, යථාවස්තුකම වේ. හෙවත් ඉල්ලීම නිමිතිකොට දුක්කටයද පිළිගැනීම නිමිතිකොට දුක්කටයද අනුභව කිරීම නිමිතිකොට පාචිත්තියද වේ. ‘ගිතෙල් සමග බත් දෙව, කියූ කල්හි ‘ගිතෙල් සමග හෝ දෙන්න. ගිතෙල් නැති කල්හි පෙර නයින්ම ගවවෙඬරු ආදිය හෝ ‘මෙයින් ගිතෙල් සමග අනුභව කරවයි ගවදෙනක හෝ දේද’, යථාවස්තුකම වේ. ඉදින් වනාහි ගිතෙල් සමග යාඥා කරන ලදුයේ එළුගිතෙල් සමග දේද, අනිකක් ඉල්වූවහුට අනිකක් දුන් බැවින් විසඞ්කෙත වේ. හෙවත් විරුද්ධ වේ. මෙසේ ඇති කල්හි අනිකක් ඉල්වූවහු විසින් අනිකක් දෙන ලද්දේ නම්වේ. එහෙයින් ඇවැත් නොවේ. ‘එළු ගිතෙල් සමග දෙව’යි යනාදි තන්හිද මේ නයවේ.
‘කැප ගිතෙල් සමග දෙව’යි කියන ලද්දේ අකැප ගිතෙල් සමග දේද, විසඞ්කෙතයම වේ. ‘අකැප ගිතෙල් සමග දෙව’යි කියූ කල්හි අකැප ගිතෙල් සමග දේද, පිළිගැනීම නිමිතිකොටද පරිභොගය නිමිතිකොටද දුක්කටයම වේ. අකැප ගිතෙල් නැති කල්හි පෙරනයින්ම ‘ගිතෙල් කොට අනුභව කරව’යි අකැප වෙඬරු ආදිය දේද, අකැප ගිතෙල් සමග දෙන ලද්දේ වේ. ‘අකැප ගිතෙල් සමගැ’යි කියූ කල්හි කැප ගිතෙල් සමග දේද, විසඞ්කෙත වේ. ‘ගිතෙල් සමගැ’යි කියූ කල්හි සෙසු වෙඬරු ආදීන් අතුරෙහි එක්තරා එකක් සමග දේද, විසඞ්කෙතයම වේ. ‘වෙඬරු සමග දෙව’යි යනාදි තන්හිද මේ නයවේ. යමකින් යමකින් විනවන ලද්දේ ද, ඒ විනවනලද දැය හෝ ඒ වස්තුව පිළිබඳ කැප මිල හෝ ලද කල්හි ඒ ඒ විනවන ලද දැය ලද්දේම වේ.
ඉදින් පෙළෙහි ආවා වූ හෝ නොආවා වූ හෝ අනිකක් දෙත්ද, විසඞ්කෙත වේ. පෙළෙහි ආවාවූ වෙඬරු ආදිය හැර අන් වෙඬරු ආදියකින් විනවන මහණහුට දුක්කටය වේ. යම්සේ ‘ගිතෙල්බත් දෙව’යි කියූ කල්හි හැල් බත් මෙන් ගිතෙල්බත් නැති බැවින් සූපොදන විඤ්ඤත්ති දුක්කටයම වේයයි කියනලදී. ‘වෙඬරුබත් දෙව’යි යනාදි තන්හිද මෙසේය. පිළිවෙළින් එකක් එකක් විස්තර කොට කියනු ලබන කල්හි මේ අර්ත්ථයම කියයුතු වන්නේය. එද සැකෙවිනුදු දැන ගන්නට හැක්කේය. එහි විස්තරයෙන් කිම, ‘එස නයො නවනීතෙන දෙහීති ආදිසුපි’යි එහෙයින් කියනලදී.
ඉදින් සියලු ගිතෙල් ආදිය සමග එක් තැනෙක්හි හෝ නොයෙක් තන්හි හෝ විනවා පිළිලද්දක් එක් බඳුනෙක්හි වක්කර එක් රසයක් කොට එයින් තණගින් නමුදු දිවගෙහි එක් බින්දුවක් තබා අනුභව කෙරේද, පාචිත්ති නවයකට පැමිණේ.
“කායිකානි න වාචසිකානි - සබ්බානි නව නානාවත්ථුකානි
අපුබ්බං අචරිමං ආපජ්ජෙය්ය එකතො - පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා”
අපුබ්බං අචරිමං ආපජ්ජෙය්ය එකතො - පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා”
කයින් සිදුවෙත්, වචනයෙන් සිදුනොවෙත්, සියල්ලෝම ගිතෙල් වෙඬරු ආදීන්ගේ වසයෙන් නානාවස්තුක වෙත්. ඒ නව පාචිත්තියට එක්වර පැමිණෙන්නේය. මේ ප්රශ්නය දක්ෂයන් විසින් සිතිය යුතුය’යි පරිවාරයෙහි මෙය කියන ලදී.