විකාලභොජන ශික්ෂාපද වර්ණනාව
සප්තම ශික්‍ෂාපදයෙහි “ගිරග්ගසමජ්ජො” පර්වතයෙහි කරන අග්රනෘත්යය නොහොත් පර්වතයාගේ මුදුනෙහි කරන නෘත්යයයි. ඒ නෘත්‍යය සත්වන දිනයෙහි පවත්වන්නේයයි නුවර ඝෝෂා කරනු ලැබේ. නුවර පිටත සමවූ බිම් පෙදෙසෙහි පවුසෙවෙනෙහි මහජනයා රැස් වෙති. එහි නන්වැදෑරුම් වූ සීතාහරණදි නාටක පවත්වත්. ඒ නෘත්‍ය දැකීම පිණිස මැසි පිට මැසි බඳිත්. සත්තරසවග්ගියා සත්තරසවග්ගිකයෝ. ඌනවීසති ශික්ෂාපදය පනවන්නට පෙර උපසපන් වූ තරුණයෝ. ‘ඇවැත්නි’ නෘත්‍යය බලන්නෙමු’යි ඒ සත්තරසවග්ගිකයෝ එහි ගියහ. ඉක්බිති ඔවුන්ගේ නෑයෝ ‘අපගේ ආර්‍ය්‍යයෝ ආහ’යි තුටුසිත් ඇතියෝ ඔවුන් නාවා විලවුන් ගල්වා වළඳවා අනිකුදු පූ කැවිලි ආදිය ‘වෙහෙරට ගොස් වළදනු මැනැවැ’යි ඔවුන් අතට දුන්හ. ‘මනුස්සා සත්තරසවග්ගියෙ භික්ඛු පස්සිත්වා’ යනාදිය ඔවුන් සඳහා කියනලදී.
‘විකාලෙ’ කාලය පහව ගිය කල්හි. (කාලැයයි) භික්ෂූන්ගේ භොජනකාලය අදහස් කරන ලදී. ඒ කාලය ද සියලු අන්තිම පිරිසිඳීමෙන් මද්ධ්යාහ්න කාලය ගැණේ. ඒ කාලය ඉක්මගිය කල්හි යන අර්‍ත්‍ථයි. එහෙයින්ම මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි “විකාලො නාම මජ්ඣන්තිකෙ වීතිවත්තෙ යාව අරුණුගම්මනා”යි වදාරන ලදී. සිටි මද්දහනද කාලසඞ්ග්රහයට යන්නේය. එතැන් පටන් කන්නට හෝ බුදින්නට හෝ නොහැකිය. වහාබොන්නට පමණක් හැකිය. (හැක්කේ වන්නේය. කුකුස් කරන්නහු විසින් නොකටයුතුය. කාලපරිච්ඡෙදය දැන ගනු පිණිස කල්ටැඹක් යෙදිය යුතුය. කාලන්තරයෙහි හෝ බත්කිස කටයුතුය.
“අවසෙසං ඛාදනීයං නාම” මෙහි තල කැරලි අග්ගලා ආදීවූ පූර්වාන්ත අපරාන්තධාන්යයෙන් කළ යමක් වේද, එහි කියයුත්තෙක්ම නැත. වනමුලාදි ප්‍රභෙදගත ආමිස ගතිකවූ යමක් වේද, කවරේද, යත්, කෑයුතු රුක්ලියමුල්, කෑයුතු රුක්ලිය අල, කෑ යුතු පියුම් මුල් අල, කෑ යුතු තල් පොල් ආදීන්ගේ කරටි, උක් ඈදඬු, කෑයුතු රුක්ලිය පතුරු, කෑයුතුකොල කෑයුතු මල්, කෑයුතු ගෙඩි, කෑයුතු රුක්ලිය ඇට, කෑයුතු ධාන්යාදීන්ගේ පිටි, කෑයුතු රුක්ලිය මැලියම් යන මෙද ඛාදනීය සඞ්ග්රහයටම යන්නේය.
එහි ආමිසගතිය සලකනු පිණිස මේ මුඛමාත්ර නිදර්ශනයයි. කෑයුතු මුල්හි මූලපලාමුල්, කරමුල්, කොලොම්වැන්න මුල්, තම්පලා මුල්, සුලුකැරමුල්, මහකැරමුල්, කිහිසුමුල්, ලිහිකොළමුල් යන මේ ආදීවූ සූපයට ගතයුතු කොළමුල් ආමිස ගතිකවේ. මෙහිද නිහිසුමුලෙහි දිරා මැලිවූවක් කපා හරිත්ද එය යාවජීවික වේ. අනික් මුල්ද මේ නයින්ම දතයුතුය. මුලපලා මුල් කරමුල් ලිහිකොළමුල් යන මුල්වල දිරා මැලිව ගිය තැන්ද ආමිස ගතිකමැයි කියන ලදී. පෙළෙහි -
කහ ඉඟුරු වදකහ හෙළවදකහ අතිවිඩයන් කුළුරෑණ සුවඳහොට වම්මුතු යන යම් මුල් බෙහෙත් වේනම් එද, යම් අනික් මුල්බෙහෙතක් කෑයුතු දැයෙහිලා කෑමෙහි ප්‍රයොජනය නොසපයාද, බිදියයුතු දැයෙහිලා බිදීමෙහි ප්‍රයොජනය නොසපයාද, එද අනුදනිමියි,
වදාරන ලදද, ඒ බෙහෙත්ද, යාවජීවික වේ. ඔවුන් අතුරෙහි සුලුපස්මුල මහපස්මුල යනාදිනයින් ගණිනු ලබන්නවුන්ගේ ගිණීමෙහි කෙළවරක් නැත්තේය. කෑයුතු දැයෙහිලා බිදිය යුතු දැයෙහිලා නොසැපයෙනබවම ඔවුන්ගේ ලක්ෂණය වේ. එහෙයින් යම් කිසි මුලක් ඒ ඒ ජනපදයන්හි ප්‍රකෘති ආහාර වශයෙන් මිනිසුන්ගේ කෑයුතු දැයෙහිලා බුදිය යුතු දැයෙහිලා සැපයේද එය යාවකාලික වේ. හෙවත් අරුණ නැගීම පටන් මද්දහන දක්වා අනුභව කටයුත්තේ වේ. එසේ ආහාර පිණිස නොසැපයෙන අනික් මුල් යාවජීවිකැයි දතයුතුය. ඉතා බොහෝ කොට කියාද මේ ලක්ෂණයෙහිම සිටිය යුතුය. නම්සන් කියනු ලබන කල්හි ඒ ඒ නම් නොදන්නවුන්ට එහිලා, බලවත් මුළාබවෙක්ම වේ. එහෙයින් නම්සන්හි ආදරය නොකොට ලක්ෂණයම දක්වන ලද්දේය.
මුලෙහි යම්සේද, එසේ අලදළු ආදියෙහිද යම් ලක්ෂණයක් දක්වන්නෙමු නම් ඔවුන්ගේම වසයෙන් විනිශ්චය දතයුතුය. පෙළෙහි කහ ආදීන්ගේ වසයෙන් අටවැදෑරුම් වූ ඒ යමක් වදාරන ලදද, එහි කඳන් පතුරුමල් ගෙඩිද යන සියල්ලද යාවජීවිකැයි වදාරන ලද්දේය.
කෑයුතු අලයෙහි දිග් අල, කොට අලැයි අල දෙවැදෑරුම් වේ. නෙළුම් කැල ආදී වූ අලද, උපුල් කෙකටිය ආදීවූ අලද යන යමක් ගටැයි කියත්ද, එහි සියලු අලවල දිරා මැලිවූ තැන්ද පතුරුද සියුම් මුල්ද යාවජීවික වෙත්. මේරූ සුවසේ අනුභව කට හැකිවූ සල්කලණ ලාඅල කැලලා අල අඹරැල්ල අල වැටකේ අල මාලුවා අල භිසැයි කියූ පියුම් හෙළපියුම් අල පිණ්ඩල වැල්ලල ආදීවූ වැල්අලද, කටුඅල මුරුංගා අල තල්අල නිලුපුල්, රතුපුල්, හෙළපුල්, හෙල්මැලි අල, කෙහෙල් අල, හුණ අල, කෙකටිය අල යන මේ ආදී වූ ඒ ඒ ජනපදයන්හි ප්‍රකෘති ආහාර වශයෙන් මිනිසුන්ගේ කෑයුතු දැයෙහිලා බුදියයුතු දැයෙහිලා නැපයෙන අල යාවකාලික වේ.