දුතියපවාරණ ශික්ෂාපද වර්ණනාව
ෂෂ්ඨම ශික්ෂාපදයෙහි “අනාචාරං ආචරන්ති” ප්රඥප්තිව්යතික්රමය කරයි. “උපනන්ධීති” බද්ධවෛරය උපදවමින් ඒ පුද්ගලයා කෙරෙහි තමාගේ ක්රොධය බැන්දේය. නැවැත නැවැත ක්රොධය ඉපද වූයේය යන අර්ත්ථයි. “උපනද්ධො භික්ඛු” උපදවනලද බද්ධ වෛරය ඇති මහණ තෙමේ.
“අභිහට්ඨුං පවාරෙය්ය” එළවා. ‘මහණ’ එබැවින් කවයි, හෝ අනුභව කරව’යි හෝ මෙසේ පවරන්නේය. පදභාජනයෙහි වනාහි ‘හන්ද භික්ඛු’ යනාදිය සාධාරණවම එළවීමට කළ පවාරණයෙහි අර්ත්ථ දක්වනු පිණිස “යාවතකං ඉච්ඡසි තාවතකං ගණ්හාහි”යි කියන ලදී. “ජාතං” පැවරුබව දන්නේ. යම්හෙයකින් මොහුගේ ඒ දැනීම තුන් අයුරකින් වේද එහෙයින් “ජානාති නාම සාමං වා ජානාති” යනාදි නයින් පදභාජනයෙහි වදාරන ලදී. “ආසාදනාපෙක්ඛා” ආසාදනය, චොදනා කිරීම, තෙද රහිතකරනබව අපෙක්ෂා කරනුයේ.
“පතිගණාති ආපත්ති දුක්කටස්ස” යමක්හට එළවූයේද ඔහු පිළිගන්නා කල්හි එළවූ මහණහුට දුක්කටය වේ. අනිකාට වනාහි සියලු ආපත්තිභෙදය ප්රථම ශික්ෂාපදයෙහි කියන ලද්දේය. මේ ශික්ෂාපදයෙහි වනාහි සියලු ආපත්තීහු එළවූවහුටම දතයුතුය. සෙස්ස ප්රථම ශික්ෂාපදයෙහි කියූනය ඇති බැවින් ප්රකටමය.
ත්රිසමුත්ථානිකය. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන්ද උපදී. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුසල චිත්තයි. දුක්ඛවෙදනයි.
සවන දුතිය පවාරණ ශික්ෂාපදයයි
විකාලභොජන ශික්ෂාපද වර්ණනාව
සප්තම ශික්ෂාපදයෙහි “ගිරග්ගසමජ්ජො” පර්වතයෙහි කරන අග්රනෘත්යය නොහොත් පර්වතයාගේ මුදුනෙහි කරන නෘත්යයයි. ඒ නෘත්යය සත්වන දිනයෙහි පවත්වන්නේයයි නුවර ඝෝෂා කරනු ලැබේ. නුවර පිටත සමවූ බිම් පෙදෙසෙහි පවුසෙවෙනෙහි මහජනයා රැස් වෙති. එහි නන්වැදෑරුම් වූ සීතාහරණදි නාටක පවත්වත්. ඒ නෘත්ය දැකීම පිණිස මැසි පිට මැසි බඳිත්. සත්තරසවග්ගියා සත්තරසවග්ගිකයෝ. ඌනවීසති ශික්ෂාපදය පනවන්නට පෙර උපසපන් වූ තරුණයෝ. ‘ඇවැත්නි’ නෘත්යය බලන්නෙමු’යි ඒ සත්තරසවග්ගිකයෝ එහි ගියහ. ඉක්බිති ඔවුන්ගේ නෑයෝ ‘අපගේ ආර්ය්යයෝ ආහ’යි තුටුසිත් ඇතියෝ ඔවුන් නාවා විලවුන් ගල්වා වළඳවා අනිකුදු පූ කැවිලි ආදිය ‘වෙහෙරට ගොස් වළදනු මැනැවැ’යි ඔවුන් අතට දුන්හ. ‘මනුස්සා සත්තරසවග්ගියෙ භික්ඛු පස්සිත්වා’ යනාදිය ඔවුන් සඳහා කියනලදී.
‘විකාලෙ’ කාලය පහව ගිය කල්හි. (කාලැයයි) භික්ෂූන්ගේ භොජනකාලය අදහස් කරන ලදී. ඒ කාලය ද සියලු අන්තිම පිරිසිඳීමෙන් මද්ධ්යාහ්න කාලය ගැණේ. ඒ කාලය ඉක්මගිය කල්හි යන අර්ත්ථයි. එහෙයින්ම මේ ශික්ෂාපදයාගේ පදභාජනයෙහි “විකාලො නාම මජ්ඣන්තිකෙ වීතිවත්තෙ යාව අරුණුගම්මනා”යි වදාරන ලදී. සිටි මද්දහනද කාලසඞ්ග්රහයට යන්නේය. එතැන් පටන් කන්නට හෝ බුදින්නට හෝ නොහැකිය. වහාබොන්නට පමණක් හැකිය. (හැක්කේ වන්නේය. කුකුස් කරන්නහු විසින් නොකටයුතුය. කාලපරිච්ඡෙදය දැන ගනු පිණිස කල්ටැඹක් යෙදිය යුතුය. කාලන්තරයෙහි හෝ බත්කිස කටයුතුය.
“අවසෙසං ඛාදනීයං නාම” මෙහි තල කැරලි අග්ගලා ආදීවූ පූර්වාන්ත අපරාන්තධාන්යයෙන් කළ යමක් වේද, එහි කියයුත්තෙක්ම නැත. වනමුලාදි ප්රභෙදගත ආමිස ගතිකවූ යමක් වේද, කවරේද, යත්, කෑයුතු රුක්ලියමුල්, කෑයුතු රුක්ලිය අල, කෑ යුතු පියුම් මුල් අල, කෑ යුතු තල් පොල් ආදීන්ගේ කරටි, උක් ඈදඬු, කෑයුතු රුක්ලිය පතුරු, කෑයුතුකොල කෑයුතු මල්, කෑයුතු ගෙඩි, කෑයුතු රුක්ලිය ඇට, කෑයුතු ධාන්යාදීන්ගේ පිටි, කෑයුතු රුක්ලිය මැලියම් යන මෙද ඛාදනීය සඞ්ග්රහයටම යන්නේය.